Friday, June 19, 2015

ජීවිතයේ ගිම් නිවූ අව්‍යාජ සටහනකට පසු වදනක්

මෑතකදී මට හමුවුණ අව්‍යාජ නාට්‍යමය ගීතයකින් ගොඩ නැගුණු, මගේ යට ගියාවට නෑකම් කියන සටහනක්. හිතේ පිරුණ සෙනෙහස වෙනුවෙන් වන කෘතගුණයක සුවඳ පෙම්වත් කවියෙකු අතින් ලියැවී, ඒ වදන්තුල ගැබ් වූ සෙනෙහසේ බුහුමන්වල හිමිකාරිණියගේ හඬින් ගැයෙන, වෙනස්ම ආරක ගීතයක් විදියට මේ නිර්මාණය මගේ හද වැළඳ ගත්තා. මේ ගීතයේ වදනින් වදන, අදහසින් අදහස සියුම්ව සොයා යද්දී හමුවන  අව්‍යාජත්වය,  රාගික ඇලීම්වලින් යටපත් වීමට ඉඩ නොදුන් සෙනෙහසක අරුත ප්‍රේමවන්තයාගේ වදනින් ලියැවී, ඇයගේ හඬින් ගීතවත් වන්නට ආරාධනා ලබන්නේ මේ අයුරින්..


සඳ මඬල නුඹම විය
ගණ අඳුරු රැයේ මට
පන්හිඳක රැඳුන නුඹ
ගීතයක් විය... නොදැනීම..
අවදි කරනු මැන ඔබ හඬින්..
මා සිතුම් ලොව...

ඔහුගේ අතින් ලියවී ඇය අතට පත්වුණ ඒ වදන් පෙළ, ඇය ඇගේ හඬින් මේ අයුරින් ඉදිරිපත් කරනවා. 


කුමුදුනිය ඔබයි මගේ
   පිපුණු හද විලේ 
කුමුදු මල මගේ...
නැගුණු සඳ ඔබයි රැයේ 
අඳුරු විජිතයේ...
සඳ එලිය වගේ 
සඳවතිය මගේ

ඔහු එතෙක් සැරි සැරූ ලෝකය අඳුරක්, කොහි යන්නේද නොදැන, සිටින්නේ කොයිබද නොදැන අඳුරේ අතපත ගෑ ඔහු ජීවිතයට අරමුණක් ඇති කරගන්නේ ඇය ඔහුගේ ජීවිතය තුල දැල්වූ එළියෙන්. 
 ඉමක් කොනක් නැති ජීවිතයක අරමුණු විරහිතව සැරිසරණ ඔහු වෙත එන ඇය ඔහුට දිගු කරන සෙනෙහසේ දෑත, ඔහුගේ ජීවිතයේ අඳුරට සිසිලැල් සඳ එළියක් වනවා. ඔහු, ඒ සිසිලැල් සඳ එලියට කරන ගෞරවනීය පැසසුම ඇගේ හඬින් මෙලෙස ශබ්ද මාධුර්යයන් මවනවා.

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

ඇය ඔහුගේ අබිමුව හිඳ ගායනා කරනවා. ලියවී ඇති වදන් අද්දර ඇය නැවතත් මොහොතකට ගොළු වනවා. "ඉතිං කියන්න..." සංගීතය අතරින් ඔහු නැවතත් ආරාධනා කරනවා. ඒ ආරාධනයෙන් ඇය තව දුරටත්, ඔහුගේ සිතුම් වැල් ගීතයට නගනවා. "ඉතිං කියන්න..." ලජ්ජා ශීලී ඇයගේ සිතුම් වදනට නොනැගෙන ගොළු වූ මොහොතක කෙරෙන මේ ඇරයුම,නාට්‍යාකාරයෙන් මා අතීතයට රැගෙන යනවා.

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ-නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ


තමන් වෙනුවෙන් කෙනෙකුගේ හිතේ මැවෙන අදහස්, සෙනෙහස මේ තරන්ම අව්‍යාජ බවින් පරිපූර්ණව කෙනෙකුට අහන්න ලැබෙනවා නම්, ඒ කොයි තරම් වාසනාවක් ද? හීන පිරුණ එවන් අත්දැකීමක දිග පළල කොතෙක් වේ දැයි හිතාගන්න බැරිව, මම ගීතය අද්දර කල්පනාබර වෙනවා.

ඈ වෙනුවෙන් කෙතරම් දේ ලියුවත්, කිසිම දාක මෙවැන්නක් මගේ අතින් ලියවුනේ නැහැ. අද මම කවුද,ඉන්නේ කොතන ද, ඈ ඊට හේතුවක්. මගේ නම ලියුවත්, ඈ ඒ තුලත් ඉන්නවා. කාගේවත් වරදක් නොවූ අපේ වෙන්වීමේ අවෑමෙන්,ඈ නොරට ඉගිලෙන දා අලුයම මේ ගීතයේ පදවැල් ඊ තැපෑලෙන් මම යැවුවේ, මට යවන්න මීට වඩා සුදුස්සක් නොවුන නිසා. 

මේ ගීතයට සවන් දී බලන්න, විස්තර කල නොහැකි හැගීමක ඔබ අතරමං වෙනවා නිසැක යි.





7 comments:

  1. සින්දුව පසුව අසමි..

    ReplyDelete
  2. වැඩිය මොකුත් නොකියමි..

    පට්ටයි !!!!

    ReplyDelete
  3. මගේ හිතත් දොඩමළු වුනා.වෙන මුකුත් නොකියමි

    ReplyDelete
  4. මේක අද තමයි දැක්කේ...හරිම නිර්ව්‍යාජ සටහනක්..ඔබට සුබ පැතුම් මල්ලි 👍🤗💗

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...