Friday, June 12, 2015

යකා මැරීම සහ ප්‍රේක්ෂක මල යකා නැගිටීම

බොහොම එක ළඟ වේදිකා නාට්‍ය දෙකක් නැරඹුවා නම් ඒ පුංචි සන්දියේදී සුබ සහ යස නාට්‍යයේ උදෑසන පාසල් දර්ශනය සහ සවස මහජන දර්ශනය යන දෙකම  බැලුව වතාව වෙන්න ඕනෑ. නමුත් මාසයක් තුල වේදිකා නාටක දෙකක් බැලුවා නම් ඒ පසුගිය දවසක බලාපු ලෝරන්ස්ගේ මනමාලි අපූරු නාට්‍යය සහ ඊයේ සවස බලාපු යකා මලා පමණක් වෙන්න ඕනෑ! තුන වසරේදී හෝ හතර වසරේදී නැරඹු සුබ සහ යස නාටකයේ මට නොතේරුණු හරි අපූරු දෙබසක් තාමත් මතක එළිපත්තේ යාන්තමට අත වන යි. කොහොම නමුත් නාට්‍ය බලාපු අවධියේම පුස්තකාලෙන් හම්බුන සුබ සහ යස නාට්‍ය පිටපතෙත් තිබුන ඒ අපූරු දෙබසේ තේරුම කාගෙන්වත් අහන්න නම් හොඳ නැති විත්තිය මගේ ළමා මනසට නිකමට තේරිලා තිබුනා!

 මං ඔබේ... ලද බොළඳ.... සුකුමාල...... දේවිය!!! දූෂණය කළා!!!! 


කොහොම නමුත් නොදැන උන්න දූෂණයක් නිසා එදා  මගේ ළමා රසික හිත සසල කර නොගත්තට, මෙදා පොටේ මල යකා නම්, මං ටවර් රඟ හලෙන් එලියට එනකොටත් රැඳුන සතුටු හිනාවක් ලබා දෙන්න සමත් වුනේ නෑ. 

කාලීන සංවාදශීලී මාතෘකාවක් අරබයා ලියවුන "යකා මලා" නාටකයේ අරමුණ වත්මන් දේශපාලන කඩපිලේ හෙට්ටු කරන, ගණන් උස්සන වගේම කුණු කොල්ලෙට විකිනෙන, වෙන්දේසිවල හෙන්චයියලා සහ උන්ට ලංසු තියන අපේම ඇස් ඇරවීම වෙනුවෙන් වීම නාට්‍ය පිටපතේ මා වඩාත්ම අගය කරන කාරණය යි. එකී ප්‍රධාන අරමුණ ඔස්සේ මෙහෙයවමින් හරි අපූරු දෙබස් රචනා වී තිබුණත්, ඒ දෙබස්වල පැවති ජීවයට සාධාරණයක් කරන්නට, වැදගත් සේ සැලකිය යුතු චරිත කිහිපයකම අභිනය සමත් නොවූ බව මගේ අදහස යි.

එලෙසින්ම, නාට්‍යය තුල ප්‍රේක්ෂකයෙකු වශයෙන් මා දුටු ප්‍රධානතම දුර්වලතාවය නම්, නාට්‍යය කතා රසයෙන් හීන වීමයි. ප්‍රේක්ෂකයා මීළඟ මොහොත වෙත ඇද බැඳගන්නා අවස්තා ගොඩ නැගීමෙන්, ප්‍රේක්ෂකයා තම අසුන මත හෙමි හෙමින් පහලට-පහලට ලිස්සා දෑඟිලි බැඳ, අඩවන් දෑසින් කකුල් දෙක දික් කර ගැනීම වලක්වා ගත හැකි මට්ටමේ නාට්‍යෝචිත අවස්ථාවලින් හීන වූ බව මගේ කල්පනාව යි. නමුත් ඒ ඒ මොහොතේ දිව යන කතාංග ස්වභාවයක් ගත් නාටකයේ දෙබස් තුලින් සිතන්නට යමක් ඉතුරුකළ බව, අනිවාර්යෙන් සඳහන් කල යුත්තක්.


අකුරුවලින් වදන්වලින් ගෙතුන දෙබස් රචනය වෙනුවෙන් සාධාරණයක් ඉටු වී නොමැති බව හුදී ප්‍රේක්ෂකයාට දැනෙන්නට බලපෑ ප්‍රධානම හේතුව නම්, කෙනෙකු, දෙදෙනෙකුගේ හෝ අවස්ථා සුලුතරයක හෝ හැරෙන්නට බොහෝ අත්‍යවශ්‍ය අවස්ථාවල රඟපෑම්වල තිබූ ටෙලි නාට්‍යමය ස්වභාවය යි. ටෙලි නාටකයක හෝ සිනමා තිරයක අවශ්‍ය රාමු කපා වෙන් කර ගැනීම තුලින් අවක්ෂේප කර ගන්නා සාරය වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයා විසින් විඳ ගත යුත්තේ මුළු වේදිකාවම තමන් ඉදිරිපස වන අචල රාමුවක් සේ පවතිද්දී ය. වේදිකා නාට්‍ය ශිල්පියාගේ අභිනය, තාත්වික ස්වභාවයෙන් ඔබ්බට එසවී පැවතිය යුත්තේත්, වේදිකාවේ සිටින්නේ තනි ශිල්පියෙකු වුවද ඔහුගේ හෝ ඇයගේ ජවය සහ අභිනය මුළු වේදිකාවම අත්පත් කරගෙන ඇති බව ප්‍රේක්ෂකයාට දැනිය යුත්තේ, පෙර කී මුළු වේදිකාවම නොවෙනස්වන තනි දර්ශන තලයක්සේ පවතින මොහොතක ප්‍රේක්ෂකයාට උපරිම රසය උකහා ගත හැකි වීම වෙනුවෙන් බව ප්‍රේක්ෂකයෙකු ලෙස මම විශ්වාස කරමි.


නාට්‍ය පිටපතෙහි දෙබස් වෙනුවෙන් සිදු වුන තවත් අසාධාරණයක් නම්, දෙබස් උච්ඡාරණයේ පද බෙදීමේදී යම් යම් තැන්වල අවබෝධ වූ "ලියා ඇති දෙයක් කියවන්නා සේ" වූ හැගීම යි. ඇතැම් තන්හී කනට ඇසෙන දෙබස්, හිතින් මෙන්න මේ අයුරින් පද බෙදී මේ අයුරින් හඬ උච්චාවචනය වූවා නම් අගනේ යැයි, ප්‍රේක්ෂකයාට දැනුන සාධාරණ අවස්ථා යම් ප්‍රමාණයක් ද විය.

මෙම නාටකය ලියවී ඇති අරමුණ අනුව, මෙය විකට නාටකයක් කරවීම සේම සාම්භාව්‍ය මට්ටමේ නිර්මාණයක් බවට පත් කිරීම ද සුදුසු බව මගේ අදහස වුණා. නාට්‍යයේ කතාවේ(plot) ස්වභාවය අනුව එය වඩාත් ගැලපුනේ, මෙම නිර්මාණයට වඩා වෙනස් අයුරකින් දෙබස් ලියවිය යුතු, ඇඳුම් ආයිත්තම්, වේශ නිරූපණයේ පටන් සියල්ලම වෙනස් ආරක ගත් නිර්මාණයකට ය.  නමුත් මේ නාටකයේ පණිවුඩය ගෙන යා යුතු හුදී ජනයා වෙනුවෙන් මෙය නිර්මිත නම්, සිදු විය යුත්තේ ඒ අයුරින් නොවන බව පිලි ගනිමි. නමුත්, අරමුණු කල ප්‍රේක්ෂක කුලකය ඇද බැඳ තබා ගැනීමට නාට්‍යයේ කතා රසය සහ අභිනය ප්‍රමාණවත් නොවුන බව, අවසාන වශයෙන් සඳහන් කල යුතු ය.



පසුගිය දින ලෝරන්ස්ගේ මනමාලී නැරඹීමට පැමිණීමට නොහැකි වූ මිතුරෙකුට, ෆේස්බුක් හී පළ කල මගේ අදහස් අවසානයේ කනගාටුව පල කල විට, මගේ ලියමන නිසා නාට්‍යය නැරබීමට පැමිණීමට නොහැකි වීම ගැන තිබු කනගාටුව විලාපයක් බවට පත් වූ බව සඳහන් කළා. මෙවරද නාට්‍යය නැරබීමට පැමිණීමට නොහැකි වූ ඔහුට දුර ඇමතුමකින් මෙදා පොටෙත් දෙන්නම් යැයි පාරම් බෑවද, මල යකා මගේ සිහින සුන් කල බව, කණගාටුවෙන් වුවද සඳහන් කල යුතු ය! 

එමෙන්ම වේදිකා නාට්‍ය පිස්සන් රැලකට නොමිලයේ  ප්‍රවේශපත් ලබා දීමට කාරුණික වූ මගේ මිත්‍රයාගේ  හිතවතියට තුති මල් මිටක්!









8 comments:

  1. එළ..මෙවැන් දේ වේදිකා නාට්‍ය කලාවට කරන සෙවයක් සේම සලකමි..

    ReplyDelete
    Replies
    1. එල මචං, ඉගෙනගත්ත/ගන්න කිසිම විෂය ක්ෂේත්‍රයකට නාට්‍ය සෘජුව සම්බන්ධ නැහැ, නමුත් ප්‍රේක්ෂක ඇහැකින් මං වගේම බහුතරයක් හුදී ප්‍රේක්ෂක ඇහැකින් දකින මේ වගේ දේවල් ලියන්න කැමතියි ඉස්සරහටත්, ස්තුතියි දේශකතුමෝ..

      Delete
  2. යකා මළා කියල හිතුවට මළ යකා ආයිම ගේන්න පොරකන හිවල්ලු මැරිල නැති එක ගැන මොකුත් කියවෙන්නේ නැද්ද? හැක්..
    බයි ද වේ, මේ ඉරිද අපි බ්ලොගා ල සෙට් එකක් යකාගේ මළගෙදරට 'මල් වඩම් අනවශ්‍යයි' බලන්න රොක් වෙන්න හිතං ඉන්නවා.. සැට් වෙමුද? (බයි ද වේ කියුවට ටොයි-බයි හැමෝම..)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නාට්‍ය ගැන ලිව්වට නාට්‍යයේ අරමුණ සහ පණිවිඩය ගැන ලියන්න හැකි දේ බොහොමයක් මෙතන අඩුයි, හැබැයි මල යකාගේ බිරින්දෑ පුටුවට ගේන්න පක්ෂ නායක තුමා මළගෙදර පදිංචි උනා ගෙදර උන්දාටත් නොකියම ඇවිත්!

      අපේ කට්ටිය නම් මල්වඩම් බලන්න ගියා මං නැතුව, අඩේ හෙටත් එන්න බැරි වෙනවා එහෙනම් :'(

      Delete
  3. ස්තුතියි මේ ලියවිල්ලට. මම හැමදාමත් වේදිකා නාට්‍ය පිස්සියක්. ඒක මට සුව නොවන රෝග වලින් එකක්. මම දුටු අනර්ඝතම වේදිකා භාවිතය එන්නේ සෞම්‍ය ලියනගේ වේදිකාවට එන මොහොතවල් වලදියි. එය ඇත්තටම විශ්මයජනකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නුවර කුමාරියේ, හපොයි මෙන්න තව එකෙක් ! වේදිකා නාට්‍ය කියන්නේ චිත්‍රපටයකින් කොහොමත්ම ලබන්න බැරි අත්දැකීමක්..

      Delete
  4. මාත් චූටි කාලේ වේදිකා නාට්‍යය බලලා තියෙනවා.තාමත් ආසයි.ඒත් යන්න විදිහක් නෑනේ

    ReplyDelete
    Replies
    1. හපොයි, ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යෙන් යන්න, සතියට එකක් හරි බලන්න හිතෙනවා හිතෙනවමයි. වෙලාවත් නිකංම එනවා ඒ වගේ දේවල්වලට, කොච්චර වැඩ තිබුණත්! හරියට අන්දරේ කිරි කෑවා වගේ තමා! හැබැයි හොඳ එකකින් පටන් ගන්න අනිවාර්යෙන්!

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...