Friday, October 7, 2016

තවමත්, ජීවතුන් අතර ය! - Yes I'm still alive!

මේක ලිය ලියා හිටපු එකා තවමත් ජීවතුන් අතර ය. පහු ගිය ටිකේ ලියන්නට බැරි වුණේ, ජීවතුන් අතර සිටිය  ද ජීවත් වෙන්නට අමතක වූ නිසා  ය.

දෙදාස් දහසය වසර අවසානයට තව මාස තුනකි. ගත වුන මාස දහය තුල සේවය කල ආයතන දෙකකට පොල්ල තබා අවසන් ය. තුන්වැන්නට පොල්ල තැබීමට ඉතිරි මාස තුන ඕනෑවටත් වඩා වැඩි ය. එම පොල්ලට ද මේ වන විට සියලු පිඹුරුපත් සකසා සාක්කුවේ හිඳ එබිකම් කරයි. කිසිදු නිළ දැන්වීමකින් තොරව, හිත මිතුරන්ට ද නොදන්වා සේවය අතහැර යාම වැලක්වීමට රැකියාව ස්ථිර රැකියාවක් වීම ප්‍රභල හේතුවක් නොවී ය. ඉතින් මා කරන්නට තීරණය කලේ, කල දුටු කල වල ඉහගෙන ලියාපදිංචි තැපෑලෙන් පැමිණෙන ලිපි මාලාව සේවය අත්හිටුවීමේ ලිපිය ලැබෙන තුරුම රස විඳීම ය. 

පත්තරකාරයෙකු වීමේ චයිල්ඩ්හුඩ් ෆැන්ටසිය ද, පත්තරකාරයෙකු බව කියද්දී දිව අග පොපියන මහාමානය ද ආර්ථික වශයෙන් වඩා වාසිදායක සැලසුම් ඉදිරියේ පදිරි වී ගියේ එහෙම ය.මම වාසි අතට හෝයියා වූයෙමි. තව දුරටත් සමාජ තත්ත්වය සහ කාගේ හෝ අනුන්ගේ නමුත් පිළිගත් ආයතනයක යහපත් තනතුරක් දැරීම 'මගේ ක්‍රමය' නොවිය යුතු බවට මම තීරණයක් ගෙන සිටියෙමි.

ආයතනවලට පොලු තැබූව ද, ජීවිත කාලයටම වාර්තා වූ  ඉහලම ආදායම් වාර්තා වූයේ මේ වසරට ය. හුදෙක් ජීවිත කාලයේම සෙවූ මුදල් ප්‍රතිඉපයීමට මට ගත වූයේ දිනකට පැය දෙකක් නිදි මරා ගත කල සති කිහිපයකි. ඒ නමුත්, කිලෝ මීටර විසි පහකට පෙට්‍රල් ලීටරයක් වැය කිරීමට තවමත් ලෝබ සිතෙන බව කිව යුතු ය. සැලසුම නම් පෙට්‍රල් වෙනුවට ඩීසල්වලට මාරු වී, එය ද ලීටරය කිලෝ මීටර පහකට කැප කිරීමට හැකියාව උදා කර ගැනීමට බවත් කිව යුතු ය.. 

කරන කියන දේ සතුටට හිලව් කල මම, එයින් මිදී හැකියාව මාකට් කිරීමේ දැඩි ප්‍රතිපත්තියකට එළඹ සිටියෙමි. නමුත් තව දෙයක් කිව යුතු ය. ඒ, මම ජීවතුන් අතර සිටිය ද, ජීවත් වීමට අමතක කර ජීවත් වූ බව ය.


මීළඟ පියවර තවත් ආයතයක සේවකයෙකු වීමට නොවේ ය. හෙට අනිද්දා කොළඹට නුදුරේ මගේ ම,අපේ ම කාර්යාලයක් විවෘත වීමට නියමිත ය. එය වැඩ කටයුතු අඩු කිරීමක්, ජීවත් වීමට වැඩ වඩා ඉඩ ලබා දීමක් නොවන බව ද කිව යුතු ය. එය තව තවත් ජීවත් වීම ජීවිතයට අමතක කරවන්නක් බව ද, මම පිළිගත යුතුම ය.

තවමත් සීත අරණේ සුපුල් නාමල ට පෙම් බඳිමි.. තවමත් කසුන්ගේ "එක වසන්තයක" ගීය කවදත් සේම අදටත් එක සේ මා හඬවන්නට සමත් ය. තවමත් කැමරාව බෙල්ලේ ය. සාක්කුවේ පෑනක්  නැතත් නිතර පිරී යන ඩිජිටල් අකුරු සටහන් ජන්ගමයා මතින් තවමත් සටහන් වෙනවා ය. නමුත් එකම වෙනස, එකී අකුරු ආත්ම තෘප්තියට වඩා මූල්‍යමය තෘප්තිමත් භාවය පළමු අරමුණ කොට මෙහෙයවනු ලැබූ ඒවා වීම ය.




3 comments:

  1. ඇත්ත. මූල්‍යමය අවශ්‍යතා විසින් අපිට අපේ ජිවිත අමතක කරලා. අපි මුදල් උපයන්නෙ ජීවත් වෙන්න. එත් දැන් අපි මුදල් උපයනවා ජීවත් වීම පැත්තක දාලා. අපි අපේ හීනත් ඒත් එක්කම අතැරලා දාලා.

    ReplyDelete
  2. ඇයි එහෙම වෙන්න ඉඩ දෙන්නේ, හීන අත්නොහැර ජීවිතය නොමරා ලද පමණින් සෑහි ජීවිතය විඳින්න බැරි ඇයි...

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...