Sunday, August 23, 2015

විඳීම-විඳවීම-වයික්කාලේ බෝගන්විලා පඳුර සහ ඉරටු රටා

උළුවලට ප්‍රසිද්ධ එක්තරා ප්‍රදේශයක පිහිටි කුඩා උප දුම්රිය ස්ථානයක් අද්දර පිහිටා තිබෙන පුංචි කුටියක්. පුංචි කුටියක් කියලා මම හිතුවට කෙනෙකු හෝ පුංචි පවුලක් මේ පුංචි කුටිය නිවහනක් කරගෙන තිබෙනවා වෙන්නත් පුළුවන්.
දිනපතා කාර්යාල දුම්රියේ පැය එක හමාරක ගමනක යෙදෙන මට මේ පුංචි කුටියේ මුළු වහලයම වසාගෙන පැවති දැවැන්ත බෝගන්විලා පදුර පුරාවට පිපුණු දම් පාට මල් ගොන්න නෙත පිනවන අපූරුතම දසුනක්.

මේ පුංචි කාමර කෑල්ලට ඇතුළු වෙන දොර පලුව ගාවින් බිම පුංචි කොහු ලණු පාපිස්සක් දාල තිබුනේ ඇයිද කියන කාරණය ගැන වෙලාවකට මට හරිම ගැටළුවක්. මිදුල පුරා ඉහිරුණු දම්පාට බෝගන්විලා පෙති, මම පරක්කු වෙලා දුම්රියේ එන දවසට අතුගාලා තියෙන එක ගැන සමහර වෙලාවට මම දුම්රිය ගමන පුරාවටම කල්පනා කරනවා. බොහෝ දෙනාට විවේකී ඉරිදාවේ හිස් වුන කාර්යාල දුම්රියේ අසුනක් මත කකුලක් තබාගෙන මගේ සිතිවිලි ගමනේ අංශු මාත්‍රයක් මේ විදියට සටහන් තබන්නේ දිනයේ වැඩකටයුතු හමුවේ එය මගේ මනසින් සැඟවී යාමට මත්තෙන්.

පිළිවෙලක් නැතිව ඉහිරුණ දම්පාට බෝගන්විලා පෙති, පිළිවෙලක් ඇතිව ඇඳපු ඉදලක ඉරටු රටාවකට හිලව් කරගන්න එක අපේ මිනිස්සු උපතින්ම ගේන පුරුද්දක්දෝ යි මං වෙලාවලට කල්පනා කරනවා. හුළගේ පාවෙලා ඇවිත් බිම පුරා ඉහිරුණ අපූරු දම් පාට මල් පෙති, පාට වියැකිලා අවපැහැයෙන් දුඹුරට හැරෙන හැටි, ගොමස්කඩ කොහු ලණු පාපිස්ස වෙනුවට කකුලේ දැවටුන මල් පෙති පිටින් මනුස්සයෙක් ගෙට ඇතුල් වෙන හැටි බලන්න ආසා කරන්න තරම් දුම්රිය මගීන් කී දෙනෙක්ට මාත් එක්ක එකතු වෙන නිස්කලංකකම තියේද හිතමින් මම වට පිට බලනවා. පොතකට, කචබචයකට නැති නම් නින්දකට යටවුන කාර්යබහුල හිස් ගෙඩි දිහා බලලා මං මාත් එක්කම හිනා වෙන්න දුම්රිය කවුළුවෙන් පිටතට එබෙනවා.

ඒ අතරේම කවුළුවෙන් පිටතට එබුන මොහොතක හුළඟත් එක්ක පියාබන්න තරම් තිබුන අඟල් පහ-හයක කෙස් වැටිය, අද සෙන්ටි මීටර් කීපයකට සීමා වී තිබීම ගැන, හිත ඇතුලෙන් මමත් දුක් වෙනවා.


විඳීම, විඳවීම හා දම්පාට බෝගන්විලා පඳුර වටේ ඉරටු රටාවට මැදි වුන මමත් , ආපහු කෙස් වැටියක් වවන්න හීන දකිනවා. 

11 comments:

  1. සුන්දරයි ලියැවිල්ල

    ReplyDelete
  2. මරු සිතුවිල්ල. ඔය මල් පඳුර දැක්කා නම් මටත් ඔය විදියටම හිතේවි. ඔය මල් ජාතියේ නම ඉංග්‍රීසියෙන් කියන හැටි අල්තයීර් කොලුවා දන්නවද? ඔන්න ගෙදර වැඩකට ඒක තියාගනිං.

    කොණ්ඩෙ කැපුවද? එන්න ඒකේ ෆෝටෝ එකක් දාපං කොල්ලෝ. දකින්නත් ආසයි. ඔලු ගෙඩියට මාර කූල් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව කියවපු කෙනෙක්ගෙන් ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා, ඕක දිහා අවුරුදු ගණන් බලන් උන්න කෙනෙක්, ඔය වටේ තියෙන ඉරටු රටාව අඳින්නේ ආච්චි කෙනෙක්ය කියලා තමයි කිව්වේ....

      Bougainvillea කියලා තමයි ගූගල් දෙයියා කිව්වේ, හිතේ සැකේ එක්ක ගහපු අකුරුවල අන්තිම ඒ අකුර මම හලලා තිබ්බේ...

      ඔලු ගෙඩියට සනීපයි ඩූඩ් අයියේ, මේ ටිකේම ඉතිං ඇවිත් උයලා පිහලා නාද්දී රෑ වෙලා.. ඉතිං කැපුවා කොන්ඩේ... ෆොටෝ එකක් දාන්නම්කො අදම!

      Delete
  3. කොණ්ඩේ වවන්න මමත් හරිම ආසාවෙන් හිටියේ බං.එත් කොණ්ඩේ වැවිගෙන එනකොට අවුල් වගේ.ඔන්න ගිහින් ටික වෙන්න කපනවා.ටිකක් කිව්වාට බාබරයා ගොඩක් කපනවා.ඔන්න ඉතින් හිතනවා ආයෙමත් වවන්න.වැවිගෙන එනකොට කපන්න යනවා.දැන්නම් කොණ්ඩේ කපනවාට එක්කෙනෙක් තහංචි දානවා.ඒ නිසා පොඩ්ඩක් වවනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් මටත් කොටටම කපන්නයි, පහු ගිය ටිකේ උන්නා වගේ තරම් (කොන්ඩේ නාන ගමන් කටේ දාගෙන හප හප ඉන්න පුළුවන්!) දිගටයි වවන්න දුන්නේ නෑ ;) දැන් නම් කොන්ඩේ ඌට ඕනේ විදියට වැවෙනවා, කැපුවේ නම් නෑවම වේලන්න වෙනම වෙලාවක් යන නිසා..

      මටත් ඔය පුරස්නේ තිබ්බා ඉස්සර, දැන් නම් මම කියන්නේ කතුරෙන් කපන්න සෙන්ටි මීටර් මෙන්න මෙච්චරක්ය කියලා, එතකොට කොටස කොටස අතට අරං හෙමීට කපනවා..

      Delete
  4. දම්පාටද රෝසපාටද

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්, ඔය උඩ දාලා තියෙන පොටෝවේ පාටමයි, තද රෝසක් වගේත් තමයි ඒ පාට නේද? අනේ මන්ද, රෝස නොකියා දම් කිව්වේ ඉතිං, රෝස කියන වචනෙට එච්චර ආස නෑ ;)

      Delete
  5. කැපුවම දුකයි! වැවුවම කරදරයි බන්!
    උඹ සෑහෙන කාලෙක ඉදලා මගේ fb ෆ්‍රේන්ඩ් කෙනෙක්! මම මේ ලගදී දැනගත්තේ මේක ලියන්නේ උඹ කියලා!

    ReplyDelete
  6. රහ ලියවිල්ලක්. මට මැවිලා පෙනුනා. :)

    ReplyDelete
  7. බෝගන්විලා මල් පඳුරට මගෙත් හිත ගියා... කෙටි වුනත් රසවත් පෝස්ට් එකක්..

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...