Tuesday, June 9, 2015

අනුරාගයේ මතක වස්තුව සමරමි...

හාදුවක්.. උණුසුම්ම උණුසුම් හාදුවක්.. මොහොතක විරාමයක් ඇතුලේ, කල්ප කාලාන්තරයක් අරගෙන හෙමින් හොරෙන් ලං වෙලා පුදන, අනුරාගයේ මතක වස්තුවක්.. තව මොහොතකින් දෑඟිලි අතරින් ලිස්සා යන මේ ගතවෙන මොහොත, අනාගතයේ කිව නොහැකි දවසක සිදු වන්න ඉඩ ඇති වෙන් වීමක් අද්දර වුණත්, සදා කල් මතකයේ රදවන, මේ ගෙවන මොහොතට ජීවය පොවන, අනුරාගයේ මතක වස්තුවක්..

හාද්ද....!


ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දෑසට දෑස බලන් ලං වෙලා, සිනහ වෙනුවෙන් පිපෙන දෙතොල් මල් රොන් සොයන මොහොතේ, නොදැනීම පියවෙන ඇස්, ඒ හීන නිද්‍රාව වෙනුවෙන් පියවෙද්දී දකින සිහිනය, "සසර සැරි සරණ තෙක්-ඔබ මගේ ඔබ මගේ" හැරෙන්න, අන් කවරක් ද?

පියවුන දෑස්, තදින් වෙලී ගිය දෑත් වෙළුම් ලුහු වද්දී, තරු නිවී ගිය තෙරක් නොපෙනෙන අහස සයුර අද්දර, අප දෙදෙනා විතරක්ම, තට්ට තනියම තනි වෙලා. ඒ දෙතෙර එක්නොවෙන නොදන්නා ඉම දිහා, කළුවර ඇතුලෙන් නෙත් යොමනවා.. ලිහිල් වුන වෙළුම්, සෙමින් විවර කල දෑසින්, ඔබේ නුවන් කෝ කොයි ද? අදත් මං සොයනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ හීනය, දෑස් පියාගත් සැන්දෑවක, ආයේ ආයෙත් දකින්න...


හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

දුටුවනම මා වෙනුවෙන්, නොපිපෙන ඒ හසරැල් විල, පූදින්න වෙනුවෙන් කල කී දෑ අනන්තයි. කොළ පාට නා අතු, රතු පාටින් දළු දමද්දී, ඒ අද්දර ඉඳගෙන සුපුරුදු බටනලාව වයන්න, ඒ නාදළු රඟන රිද්මයට ඒකාත්මික වන්න, වෙලාවකට මට නොහිතෙනවා නෙවේ.. ඒ අද්දර, රතු පැහැයෙන් ලෙලෙන නාදළු දකිනකොට, මං වෙනුවෙන් නොපිපුණත් පිපෙනු වෙනුවෙන් වෙර දරාපු සුදු පාට නා මල් දකිනකොට, අනුරාගයේ මතක වස්තුව, ආයේ ආයෙමත් හිත ඉල්ලනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ සිහිනය, යලි යලිත් දකින්නට...


නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



අනුරාගයේ මතක වස්තුව.. කල-කී අන් සියල්ලේ යට ගියාවට උඩින්, මතකයේ රැඳී එකම වස්තුව! ඇයි මේ? මම පාලමක්, දෙගොඩ යා කරන, එගොඩටත් මෙගොඩටත් අයිති නැති, නිර්වචනයක් තවම නැති මම. යා කල දෙගොඩ මැද, මතකයේ රැඳී එකම වස්තුව, අනුරාගයේ මතක වස්තුව! පුදුමයි, පුදුමයි..  

යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...


ඔබ ඉන්න අහස යට, පොලව පමණක් මගේම වෙලා.. මං ඉන්න මහ පොලව, ඒකවත් මගේ නෙවෙයි ද, මං වෙලාවකට හිතනවා.. සියොලඟම තැවුනත්, තවත් මං ඉන්නවා, තවත් මං ඉන්නවා.. අනුරාගයේ මතක වස්තුව තනිකඩව, මතක සැමරුම් සමරනවා..

අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
මට බලා ඉන්න බෑ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...



සසර සැරි සරණ තෙක්.. මේ ගනුදෙනුව ආයේ ආයෙම නැවත සිද්ධවෙන බව, මේ පලවෙනි අවස්තාව නොවන වග, වෙලාවකට මම කල්පනා කරනවා...

ඉතිංසසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...




BMICH? mistaken? yeah mistaken, just forget about that buddy (:


14 comments:

  1. මෙවන් හාදු ගනුදෙනු ඔක්කොම බලාගෙන , මේ වගේ විසල් ගොඩනැගිලි කරබාගෙන ඉන්න එකම මදැයි...

    ReplyDelete
    Replies
    1. එහෙම බලාගෙන ඉන්ට බැරි තැන තමයි අර ටෙන්ට් එකක් අහිංසක ළමයෙක් පිට වැටුනේ.

      Delete
    2. හොඳ වෙලාවට ඒ සිද්ධිය අවුරුදු හතරට වඩා පරණයි :D නැත්තම් මේ අහක ඉන්න මාව ඕවට අල්ල ගනී! :3 :D

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. එහෙනම් ගොය්යෝ වැඩේ දරුණුයි.... අවුරුදු හතරක් තිස්සේ එහෙනම් ඒ මතකය ගුලිකරගෙන උන්නා නේද? අවුලක් නැත්තම් මේක කියෝනවද? ( ඔන්න මම මේක හිට්ස් ගාන වැඩිකරගන්න කියල දාපු ලින්ක් එකක් එහෙම නෙවෙයි හරිද? අන්න එහෙමයි රැවුලයි, කොණ්ඩෙයි දෙකම බේරාගන්නේ! හුහ් )

      හාදුවක් කියන්නේ දරුණු කටුවක්... විසගතිය දැනෙන්නට නම් කල් ගතවෙනවා. පිටින් තුවාලේ හොඳ උනත්, දන්නවනේ තුවාලේ ඔඩුදුවන තරම??

      Delete
    5. http://upekshad.blogspot.com/2015/05/blog-post_22.html

      Delete
    6. මොහොතකි යලිත් නොම එන
      කටුවකි දැන්ද කකියන..

      අනුරාගයේ මතක වස්තුව.. මතක වස්තරේ පූජා කරලා අවශේෂ ඔක්කොම ගංගා නම් නදියට හැලුවත් අන්තිමට ඉතිරි වෙච්ච මංඩි ටික වගේ තමයි ඕක..

      ලින්කුවට තුති උපේක්ෂා, මටම ලිව්වා වාගේ..


      //සිරවුනි මගේ උගුරත්
      වටපිට කිසිත් නෑසිත්//

      උගුර හිර කරගෙන කෙල ගුලියක්ම ගිලුනා ඒ කෑල්ල කියවද්දී..

      Delete
  2. ප්‍රේමකිර්ති ගේ අපුරු සිතුවිලි වලට වික්ටර් රත්නායකයන් පණ පොවන යුරු හරි අපුරුයි.මම කැමති ගීතයක්.

    ReplyDelete
    Replies
    1. බොළඳයි, පස්සේ දාක ඇනෙන කටුවක් වගේ මතකයක් මේකෙන් ඇවිස්සෙන දවස උදා වෙනකන් බොළඳයි..

      :)

      මමත් හරිම ආස කල, කාලයක්ම අහන්නේ නැතුව ඉඳලා හදිසියේම අද උදේ අහපු ගීයක්..

      Delete
  3. සඳ කුසුම මත පතිත- මුදු බඹර විත සලා
    රොන් සුවඳ එකළු කල- මතක මත විඳිනවා
    මට බලා ඉන්න බෑ- සුවඳ නිදි බිඳිනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ..

    ReplyDelete
    Replies
    1. හපොයි!
      අන්න අද දාපු ඒක අයින් කළා.. හෙක් හෙක්!
      ඊයේ උදේ පාන්දරම එකතු කරපු මේ මතකය අවුරුදු ගානක් පරණ එකක්, ඊයේ දාපු ජින්ජිබිරිස් එක ඊයේ හවස සිද්ද වුන එකක්..

      මෙන්න මගෙනුත් එකක්!


      සඳ තුසර බිම පතිත- තුරු යටින් පිය නගා
      ඔබෙ සුරත මුදු වෙළුම-මා වෙලී කී කතා
      මට බලා ඉන්න බෑ- ඔබෙ ස්වරය ඇසෙනවා
      සසර සැරි සරණ තුරු-ඔබ මගේ ඔබ මගේ


      Delete
  4. Replies
    1. කමෙන්ට් එක නම් පෙන්නේ නෑ.. ආයුබෝන්!

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...