Saturday, June 1, 2013

කවිය නුඹ.. දොරට වැඩුම අදයි..



මිතුරෙකුගේ කවි පොතකට පෙර වදනක් එක් කරන්න කියන ඉල්ලීම නිසා කරූ කොලුවාට ටිකක් පුදුමයි. "ඇඃ මං මොනා කියල  ලියන්නද හප්පේ" කරූ කොලුවා කල්පනා කළා.කොහොමින් හරි අන්තර්ජන්ජාලෙන් පිටපතේ නිර්මාණ කීපයක් ගෙන්නාගෙන බැලුවාම කරූටත් මාර හැපී ඈ.. හිතට දැනෙන අදහස් ටික වචන කීපෙකට ගොනු කරලා පෙර වදනක් සපයා දෙන්න කරූ පොරොන්දු වුනා.අපේ මේ කිවිඳිය කොළඹින් බැහැර ඉන්න නිසා ජාතික පුස්තකාලෙන් ISBN අංකය වෙන්කර දුන්නෙත් මේ සත් ගුණවත් ඉලන්දාරියාම තමා. මේ කවිකාරි වෙන කෙනෙක් නෙවේ, "මොනරු" නවකතාවට බ්ලොග් ගඩොල් බඳින  අරුණි කළුපහන. ඉතිං අද දවසේ දොරට වැඩියේ ඇයගේ කුලුඳුලේම එලි දකින කාව්‍ය සංග්‍රහය වන "කවිය නුඹ-සුළඟ සේ විත්"


පෙරවදන...


  අරුණි කළුපහන සොයුරිය විසින් පබඳින්නට යෙදුන "කවිය නුඹ" කාව්‍යමය සිත්තම වෙනුවෙන් වචනයක් එක් කරන්නේ ඉමහත් සතුටකිනි. මව්කුස පටන් වෘධ විය අවසානය දක්වා ගැහැණියකගේ දිවිය සිසිර,වසන්ත,ගිම්හාන,සරත් යන සෘතු විපර්යාස තුලින් විනිවිද දුටු කාව්‍යකරණ ආයාසයක් ලෙස කවිය නුඹ නිර්මාණ පෙළහර හැඳින්වීමට පුළුවන. කවිය නුඹ සිරස තුලින් ඇය ගම්‍ය කරවීමට උත්සහ දරන ගැහැණියකගේ ජිවිතයම කවියක් ය යන පණිවුඩය ඇයටම හුරු ආරකින් සහෘදයා වෙත ඉදිරිපත් කිරීමට අරුණි සමත්ව සිටින්නී ය.මනා සංකේතාත්මක යෙදුම්වලින් පිරි ඇයගේ නිර්මාණයන් භාව රූප ගොඩනංවමින් නිර්මාණයේ යෙදෙන අතරතුර ඇය ගමන්ගත් පථය ඔස්සේම සහෘදයා කැටුව යාමට සමත්ව තිබීම සැබවින්ම ප්‍රශංසනීය ය.
   කවිත්වය යනු උපතින් හිමි වන්නක් මෙන්ම නිතැතින් නිරන්තරයෙන් හුරු කොට ගත යුත්තකි. වදන් මගින් සහෘදයා තුල සිත් රූ මවාලිය හැකි අපූරු හැකියාව ඇය තමන්ගේ නිරන්තර හුරුව කොටගත් බව මෙම නිර්මාණ එකතුව තුලින් කදිමට පෙනී යයි.  විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ කඩඉම ජය ගැනීමට වෙර දරන කාර්ය බහුලත්වය අතරතුර හුදෙක් තමන්ගේ ආත්මතෘප්තිය වෙනුවෙන් ලියවෙන ලද මෙම නිර්මාණ ගොන්න ග්‍රන්ථයක් ලෙස පාඨකයා වෙත සමීප කරවන මොහොත වෙත දායක වන්නට ලැබීම මට සතුටු කාරණයකි.අණුක සුත්‍ර ශ්‍රිත ප්‍රස්තාර අතර සිරවී නොසිට ලද විවේකයන් අතරතුරදී  තව තවත් මෙවන් රසබර කවිකම් කිරීමට අරුණි කළුපහන සොයුරියට දිරිය ශක්තිය ලැබේවා යි මම ඉතසිතින් ප්‍රර්ථනා කර සිටිමි. 

බී.පී.කරුණාරත්න
ලේකම්
අනද කවි ගී සඳැල්ල
ආනන්ද විද්‍යාලය-කොළඹ 10.
ප.ලි. උපුටා ගැනීම් පසුවට බලාපොරොත්තු වන්න. ( අරුණිගේ කොපි රයිට් මෙව්වා එක ඇපෘ වෙන්න එපායෑ)

17 comments:

  1. ඈහ්.. බලන් ගියාම උඹත් ලේසි පාසු පොරක් නෙමේනෙ.. අපිටත් ආඩම්බරයි !

    ReplyDelete
    Replies
    1. තාම මම දණ ගානවා සෙන්නා සහෝදරයා.. පොරක් නෙවේ,සංවේදී මනුස්සයෙක් වෙන්න ඇත්නම්,,මට ඕනේ අන්න ඒක.. මේ පැත්තේ ආවට ස්තුතියි සෙන්නා..

      Delete
  2. අරුණිගේ "මොනරු" බ්ලොග් එකත් මම මාර ආසාවෙන් කියවන්නේ. මේ කවි පොතත් සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ පැතුමට මමත් එක වෙනවා ධාරා..

      Delete
    2. බොහොම ස්තුතියි ධාරා.. අපේ ඊලග එලි දැක්වීම මොනරු නවකතාව :) බලාපොරොත්තු වන්න :)

      Delete
    3. ඇඃ මෙන්න මොනරි ඇවිත් ;) (දන්නේ නැද්ද මේ දවස්වල වහිනවනේ,හැම තැනම මඩ ;) )

      එකෙන්ම මම සහය දෙනවා මොනරුටත් :D

      Delete
    4. මඩ පිසදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු කියනවනේ :D මොනරුන්ටත් එතින් මොන කතා ද ;)

      Delete
  3. බොහොම ස්තුතියි බුද්ධි.. මිතුරෙකු වශයෙන් ඔබේ අගය කිරීම මට විශාල හයියක්..

    ReplyDelete
  4. එකෙන්ම! ජය වේවා අරුණි!!

    ReplyDelete
  5. ඔබේ පෙරවදන අනගියි. අරුණි ගේ කුළුදුල් ප්‍රයත්නයට සුබ පැතුම්. පොත ගැන ප්‍රචාරාත්මක උදව්වක් කළ හැකියි විස්තර මගේ මේලයට ලැබෙන්න සලස්වන්න. මගේ මේලය බ්ලොගේ උඩම ඇති.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියගේ පණිවිඩය අරුණි වෙත යොමු කළා, බොහොම ස්තුති නලීන් අයියේ..

      Delete
    2. ස්තුතියි නලින් මාමේ.. ඔබේ සහය මට විශාල හයියක් :)

      Delete
  6. අද තමයි මේ පැත්තෙ ආවේ අලුත් පොතටත් ඔබේ බ්ලොග් කෙරුවාවටත් සුබපතනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ජෝන්! ඔබත් සහෝදර සුලොහිතයෙක් බව කොහෙන්දෝ දුටුවා මතකයි :D මේ පැත්තේ ආයෙමත් එන්නකෝ.. ජය ශ්‍රී!

      Delete
  7. කරූගේ භාෂා භාවිතය ගැන මම වෙනදා වගේම විශ්මයට පත්වෙලා ඉන්නේ. පොඩි කොල්ලෙක් වුනාට භාෂාව නම් හරිම ඉහලයි. අරුණි ගේ නිර්මාණයටත් සාහිත්‍ය ලොව නොමැකෙන සලකුණක් තබන්නට හැකි වේවා.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියගේ ප්‍රාර්ථනයට මමත් එක් වෙනවා.. මම නිකමට ඔහේ කොටනවා අයියේ, එක එක වීදිවලට ලිය ලිය ට්‍රයි කරන්නයි කල්පනා කරන්නේ.. ඕලෙවල් කාලේ ඉවර වෙනකං ඉතිං ලිව්වේ විචාරයි රචනායි විතරනේ.. මේකට මම අලුත්, මං බ්ලොග් ලියන කබ්බෙක්නේ :D ඉස්සරහට දියුණු කරගන්න පුළුවන් වේවි :D

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...