Friday, January 22, 2016

මගෙ ජනේරුව! දෙදාස් පහලවට නැවත ගියෙමි!!

දෙදාස් පහලව අවුරුද්දේ ජනේරුව,පෙබරවාරිය සහ අවසාන වශයෙන් මාර්තු මාසයේ දිනපොතේ තියලා තියෙන සටහන් එක්ක බලද්දී ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් එක්ක තියලා තියෙන සටහන් ගැන දැනෙන්නේ පුදුම සතුටක්. නිවාඩු ප්‍රශ්නයක් නිසා රස්සාව නැතිවෙන තැනටම වැඩ කෙරිලත්, අන්තිමේ ඒක බේරුණ ඒකෙන් මම පුදුම විදියට ඔලුව ඉස්සුවා. :) බේරුනා නෙවෙයි ඇත්තටම,බේරලා දුන්නා. ඉතිං ඒකත් ලොකු හේතුවක්, ආයතනික වශයෙන් නැතත් ඔතන මානව සම්පත ගැන මම බැඳීමක් ඇති කරගත්තා නම්..


කවදාද කියලා දැනගන්න කිසිම සටහනක් දිනපොතේ නැතත්, වේගෙන් ඔලුව බිත්තියේ ගහගෙන හයියෙන් කෙඳිරි ග-ගා උන්නු අගෝස්තු මාසයේ දවසකුත්, ඔක්කොම දමලා ගහලා රෑ දොළහට විතර රේල් පාර දිගේ හෙමීට ඇවිදන් ගිහින් හිත එකලස් කරගත්ත ජුලි මාසේ දවසකුත් වගේම පුංචි එක සටහනක් ඉතුරු කරලා තිබුණු, බස් එකේ යන ගමන් හරියටම කටුනායකදී ඇහැරිලා නොදැනීම දිග හුස්මක් එලියට පැනලා විසි වුනු මාර්තු දාහතර-වෙනිදාවකුත් ඇරෙන්න දවසකට දෙකකට වඩා එක දිගට හිතේ දුකක් රැඳුන දවසක් නම් ගිය අවුරුද්දේ තිබුනේ නෑ. කැළණි වෙහෙර ළඟ බෝ මළුවේ කොයි තරම් ඉන්න ආසා කලත්, එතනට වඩා කිසි පින්වතකමක් රැඳිලා නැති වුනත් ඊට වඩා නිස්කලංකකම රැඳුන, මඩත් එක්ක මිනිස්සු විසි කරපු කුණු රැඳිලා තියෙන කැළණි ගඟ අයිනේ රැඳිලා තියෙන නිස්කලංකකම, ගිය අවුරුද්ද පුරාවටම මගේ ඔලුව ඇතුලේ තිබ්බා. මිනිස්සු විසි කරන කුණුත් එක්කම, සමහර විට මානව වර්ගයා පරිනාමය වෙන්නත් කලින් ඉඳන්ම ඒ ගඟ ගලාගෙන ගිය විදියටම වෙන්න ඇති, දැනුත් ඒ ගඟ ගලන්නේ, මං කල්පනා කළා.



නිස්කලංකකම ජීවිතේට එකතු කරන වටිනාකමක් නෑ, ඉතිං මනුස්සයෙක් විදියට නම් ගිය අවුරුද්දේ මම ඉස්සරහට ගියා හිතන්න අමාරුයි. සමාජ ජීවියෙක් විදියට හරියට කළුවර මුල්ලක ගුලි වුන කලුපාට බලු කුක්කෙක් වගේ පොඩ්ඩක් නොපෙනී ඉන්න ගතියක් පෙනුනා වගේම නිතර දෙවේලේ ආශ්‍රය කරන රවුම නොසෑහෙන්නම පුංචි වුණා. පුංචි රවුම් හරි අපූරුයි, ආදරනීයි. මම හැමතිස්සෙම ඒ ගැන කල්පනා කරන්නත් ආඩම්බර වෙන්නත් පටන් ගත්තා. හැබැයි මගේ ජිවිතේ ඕන රහසක් මෙන්න මූ දන්නවා කියන්න තරම් කෙනෙක්, කොහෙත්ම ලං වුනේ නෑ. උන්නු එවුන් ටික පණ වගේ ලං වුණ එක විතරක් සිද්ධ වුණා.


ගිය අවුරුද්දේ උපන්දිනේට ජීවිතේ පලවෙනි වතාවට කේක් එකක් කැපුවා! ඉතිං එහෙම දෙයක් වුනේ මං දැනුවත්ව නෙවෙයි, හැබැයි මතක් වෙන ගානේ පුදුමාකාර හිනාවක් මගේ මූණේ ඇඳෙන අපූරු දවසක් එදා මට හම්බුණා. 'අද මගේ උපන්දිනේ' විත්තිය හැන්දෑවේ හය වෙනකන් මතක් නොවුණු උපන්දිනයක් වගේම, දවසෙම බුම්මගෙන රවාගෙන උන්නු උපන්දිනයක් වගේම මේ වගේ උපන්දිනෙකුත් තියෙන්නම එපැයි! මං කල්පනා කළා.



කියන්න එපැයි, දෙදාස් දාහතරේ අග අම්බ බේබද්දෙක් වීමේ ලක්ෂණ පහල වෙලා දෙදාස් පහලවේ කටේ තියාගෙන ගහන එකෙක් බවට පත් වෙලා, සමහර දාට එක රැයට සිගරැට් 15ක් උරණ එකෙක් බවටත් පත්වෙලා අන්තිමේ මම'ම ගැලවුනා! මොන බොරු වැඩක්ද මේ? මං කල්පනා කරන්න පටන් ගත්තා. ඇබ්බැහි වෙනවා?? හිත තමයි හැමදේටම, මේ මංහොඳට ඉන්නේ මුකුත් නැතුව? මං හැමෝගෙන්ම අහනවා දැන්!


දෙදාස් දාසය උදා වුනේ මගේ ජන්ගමයා මට ආයුබෝවන් කියාගේනමයි. මුල් දවස් ටික මොනා වෙන්න යනවද හිතාගන්න බැරි මට්ටමක තිබ්බත්, දෙදාස් දාසය නම් අපූරු අවුරුද්දක් වෙනවා කියලා අදට ගෙවුන සති තුනේ හොඳටම දැනුනා. කවුද දන්නේ, මේ අවුරුද්ද සමහර විට ජීවිතේ වෙනස්ම අවුරුද්දක් වෙන්න පුළුවන්!

රෑ දොළහා එක පනිද්දී හිතේ එකතුවෙන දේවල් 'පාපොච්චාරණය' වෙනවා හොඳටම වැඩියි, ඉතිං ඔන්න ඔහේ බුකියට මේ විදියට අත ඇරලා දැම්මා.. :)



6 comments:

  1. අඩේ ඔය ඩයරි ලියන එක නං මට සෙට් වෙන්නෙම නැති වැඩක් බං.. හොදම දේ හිතෙන දේ බුකියෙ දාලා පස්සෙ ඉතින් ටයිම් ලයින් එක දිගේ පහු ගිය අවුරුද්දට යන එක.. ගොඩාක්ම පෞද්ගලික දෙයක් නං ඉතිං ඔන්ලි මී කරල දාන්ඩ බැරියැ... කෝම උනත් මට නං ඔය ඩයරි වැඩේ සෙට් වෙන්නෙම නෑ.. මම ට්‍රයි කලා.. එනිවේ සුභ 2016ක් ඈ

    ReplyDelete
  2. හැම දෙයක්ම ජීවිතේ ගැන උගනන්වන දෙවල් අල්තයිර් කොල්ලෝ

    ReplyDelete
  3. පෙරලෙන පිටුවක නෛ ගෙවෙන්නෙ ජීවිතය. රහක් නෑ කියල හිතෙන ඒත් ඇත්තටහ රහ තැන් මගෑරෙන අමුත කලාවක්

    ReplyDelete
  4. අදට ගෙවුන සති තුනේ හොඳටම දැනුනා. කවුද දන්නේ, මේ අවුරුද්ද සමහර විට ජීවිතේ වෙනස්ම අවුරුද්දක් වෙන්න පුළුවන්!
    එකනම් හරියටම හරි.... ඔබ මා නොහඳුනත් ඔබ කවුද කියා දනිමි. අප සැමවිට ඔබ සමගයි එය අමතක නොකරන්න . ඒ ඔබ මට එක හා සමාන ලැබෙන අනඳ මැණි සරණයි. තරුණ ඔබ සේම මැදවිය පසුව ඇති අපත් ඔය පහුරේම උඩු ගන් තරණයක යෙදෙන්නන්ය.

    ලියන්න ...ඔක්කොම දමලා ගහලා රෑ දොළහට විතර රේල් පාර දිගේ හෙමීට ඇවිදන් ගිහින් හිත එකලස් කරගත්ත ජුලි මාසේ දවසකුත් වගේම....... නමුත් අනතුරක් වෙන්න /කරගන්න තරම් අවාසනාවත්ත නොවුන් එක ගැන දැන් සතුටුවන්න

    නිතර දෙවේලේ ආශ්‍රය කරන රවුම නොසෑහෙන්නම පුංචි වුණා. පුංචි රවුම් හරි අපූරුයි, ආදරනීයි. මම හැමතිස්සෙම ඒ ගැන කල්පනා කරන්නත් ආඩම්බර වෙන්නත් පටන් ගත්තා අනිවාර්යෙන් සතුටු වෙන්න
    උන්නු එවුන් ටික පණ වගේ ලං වුණ එක විතරක් සිද්ධ වුණා. පුංචි රවුම් ඉන්නන් හරිම විරලයි මේ කාලේ අප සැමවිට ඔබ ගැන අවදියෙන් .

    ReplyDelete
  5. ඔන්න අල්තහීර් කොල්ලෝ මාත් ආවේ.

    ReplyDelete
  6. මං දිනපොත්වල ලියන්නෙ දිනසටහන් ම නෙමේ. නොයෙක් දේවල්. කුඩා කුඩා ප්‍රකාශ.

    ...හැම වසරක ම අලුත් වීම තමා වැදගත්..))

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...