පුංචි කතා දෙකක්.. ඔබ අවධානයෙන් සිටින්නේ නම්, සීමා මායිම් පරයමින් ඔබේ සිතුවිලි වෙනස් කරාවි.
කතාව අංක එක..
මගේ පුංචි ලේන්නු දෙන්නා. මගේ කිව්වට මගේ නෙවෙයි, අයිතිය මගේ හිමිකාරකමත් කියන ස්වභාවධර්මයටමයි. වෙන කිසිම කෙනෙක්ට ලං නොවෙන මේ දෙන්නා මටත්,මගේ අම්මටත් විතරක්, බය සැක නැතිව ලං වනවා. කෑම කන වෙලාවට නොවරදවාම ලඟට එන්නේ කන්න දෙයක් වරදින්නේ නැති බව දන්නා නිසායි.
වෙලාවකට මගේ කාමරේ, අදත් එක සිනි බනිසේ බෙදාගෙන අපි තුන් දෙනා කෑවේ. කාලා ඉවර වෙලා එලියට ගියා, එක තුන් ඉරි අප්පු කෙනෙක්, නෑ වැරදුනා. තුන් ඉරි මැණිකේ කෙනෙක්. ඔන්න අම්ම කෙනෙක් වෙන්නයි ලෑස්තිය.

ලේනෙක් වෙලා උපන්නත්, උඹත් මව් රැජිනක් තමයි. මෙට්ටේ කපනවා දැක්කේ මං හින්දම හොඳයි.මට හිතුනා.
කතාව අංක දෙක..
අහම්බෙන් හම්බුන වීඩියෝවක්.. ඔබ දුකෙන් සිටින්නේ නම්,මෙය ඔබේ මුවට සිනහවක් ගෙනේවි. හෙඩිමේ තිබ්බේ එහෙමයි.සැවානා තණ බිමක්. සුපුරුදු විදියටම කැලෑ හරක්, සීබ්රාවන්, සිංහයන්,චීටාවන් හා හයිනාවන්.අපේ කතා නායකයා මොහොතක වයස ඇති කැලෑ හරක් පැටියෙක්.
අපේ කතා නායකයා මවු කුසින් අපේ සැවානා කරලියට එනවා. විනාඩි කිහිපයක අවෑමෙන්, ඔහු ඇවිදින්නට ඉගෙන ගන්නවා. ගොදුරු සොයා ඇදෙන විලොපිකයන්ගේ අරමුණ,පහසු ඉලක්කයක්.අලුත උපන් අපේ කතා නායකයා,හයිනා රැලකගේ ඉලක්කය බවට පත් වෙන්නේ අන්න ඒ නිසයි.
හයිනාවන් ප්රහාරය අරඹනවා, ගව රෑන පැවැත්ම වෙනුවෙන් දිවයද්දී අවසානයේ මව් ගව දෙනත් ඊට එක් වෙනවා. පහසු ඉලක්කය වශයෙන් අපේ කතා නායකයා ඉතිරි වද්දී කොහේදෝ සිටි සිංහ ධේනුවක් කරලියට පැමිණෙනවා.ඇය හයිනා ග්රහණයෙන් ගව පැටියාව මුදා ගනු ලබනවා.
ඇය පැටවාව සපා බලනවා. තවමත් කලලාවාරික තරලයෙන් මේ පැටියා තෙත බරිතයි. සිංහ දෙන ගව පැටියාව ලෙව කනවා. තමා සමග සිටින්නා ගැන කිසිම හැඟීමක් නැති ගව පැටියා,නොපෙනෙන මානයේ සිටින තම වර්ගයා අමතක කොට සිංහ දෙනගේ ඇඟේ දැවටෙමින් ඇය හා යනවා.
ඔහුට බඩගිනි, කිරි බිඳක් නැතිව පැය ගණනකට පසු දළු කොළ උලා කන්නට ගව පැටියා උත්සහ දරනවා. සිංහ දෙන අසලම මේ දෙස නෙත් යොමනවා.
නැවතත්, ගව රැල තණබිම් වෙත පැමිණෙනවා. පුදුමයකට මෙන්, සිංහ ධේනුව පටවා ගව රැල වෙත යොමු කරනවා. පැය විසි හතරක් තිස්සේ තමා අතුරේ සිටි ගව පැටවාට මෙන්ම,ගව රැලටත් ඇයගෙන් තර්ජනයක් හෝ සිදු වන්නේ නෑ.
සිදු වූ සන්තැසිය ගැන කිසිදු අදහසක් නැති ගව පටවා දන්නේ බඩගින්න පමණයි. තමන්ගේ මව කොහීද,ඔහු විපරීත වන්නට ඇතී.පැටවෙකුට කිරි දෙන මවකගේ කිරි දිය වෙනුවෙන් ඔහු යොමු වෙනවා. නොපහන් පිළිගැනීමක් ලබන ගව පැටියාව අංවලින් ඇනීමෙන් පලවා හැරෙනවා.
දෛවය, කෙසේ හෝ ගව පැටියාව මව වෙතම යොමු කරනවා. මව්-පුතු හමුවෙන් දෙදෙනාගේම පිපාසාවන් සන්සිදෙනවා.
සිංහයා කැලයේ රජා වුනත් කැලයේ සතුන්ව රකිනවාද? මං ඉස්සර එහෙම හිතුවේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා.
කතා දෙක මෙතනින් ඉවරයි,කතා දෙකක් වගේ පෙනුනත් මෙතන තියෙන්නේ එකම කතාවයි.
සබදතා කිසිවක් අසම්මත නෑ. සම්මතයට පිටින් තිබුනාට අසම්මත වෙන්නෙත් නෑ. ඔබ විශ්වාස කරනවා නම්, ඔබ ජිවත් වන සමාජය කුමක් වුනත්,ඔබේ සිතුවිලි ඔබගේ ජීවිතය ලස්සන කරාවි.
අදට එපමණයි.
-අල්තයීර්