Sunday, July 5, 2015

වික්ටර්-කොදෙව්ව-මම සහ ඇය (තවත් හිරකරගෙන ඉන්න බැරි කතාවක්)

සමහර මතක ඈතට යවන්න බැහැ.
මරලා දාන්න බැහැ. 

හිතට එන හැම දේම උනත් බොහොම නිදහසෙන් අත ඇරෙන මේ බ්ලොගේට පවා, ගැලපෙයිද නොදන්නා, නමුත් හිතේ හිර කරගන්න රිසි නොවෙන සටහනක්, අද. 
පෞද්ගලික සටහනක්.



පහු ගිය තුන් වැනිදා ආචාර්ය වික්ටර්, ඇනස්ලි සහ කසුන් එක්ව මවපු කිඳුරු කොදෙව්වේ වේදිකා පසුතල නිර්මාණයේ සංකල්ප නිර්මාණකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වීමේ "කලාකරු" වැඩෙත්, ඒ සංකල්ප නිර්මාණය යථාවක් කිරීමේ "කම්කරු" වැඩත් කල බව හැබෑව. 

නමුත් මේ සටහන ඒ ගැන නෙවෙයි.


විනෝදාංශයක් වුනත් එයිනුත් යම් ආර්ථික වාසියක් ලබන ආධුනික සේයා රූ ශිල්පියෙකු වුනත්, බාරගත් වගකීමෙන් එපිට එදා හදිසියේ කරන්න සිද්ධ වුන ඡායාරූපකරණය ඒ හැන්දෑව හිත එකලස් කරගන්න අමාරු කල බවත් හැබෑව.

මේ කතාව, ඒ හිත එකඟ කරගන්න අමාරු වුන ඒ හැන්දෑවේ වගේම දවස පුරා මගෙ හිත නැවතෙන්න තීරණය කරපු එකම තැන ගැන.

යම් වගකීමකට මැදි වුනත්, එදා දවසම මගෙ හිතේ හොල්මන් කරපු සිතිවිලි මාත්‍රීය පුද්ගල චරිතය සමග මගෙ සිතිවිලි දුවපු පරාසය එක්ක මම කරපු සටන ගැනයි, මේ සටහන.

කතාවේ මුල,අවුරුදු ගණනාවක් එහාට දිව යනවා.

"මල් ගීය"

අවුරුදු තුනකට එහා ඉඳන් බුකියට ලියවුන මගෙ කවි නිසඳැස් අකුරුවල ප්‍රධාන මාතෘකාව, මල් ගීය.

"මගෙ ගැන ලියන හැම එකම ෆේස්බුක් දාන්න එපා"
"ඔයා ලියන ඒවා අනිත් අයට පෙන්නන්න කලින් මට පෙන්නන්න"

අහින්සකියෙකුගේ අහිංසක ඉල්ලීමකට, මම ඉඩ දුන්නා,හැකි හැම විටම.

අන්තිමේ ඒ වචන එකතුවෙන් පලවෙනි කොටස පුංචි අත්පිටපතක් වුණා, "ගිම්හානයට මත්තෙන්" - ඒ පුංචි එකතුවට නම් තැබුණේ එහෙමයි.

අන්තිම මොහොත වෙනකන් මේ තරම්දෝ යි නොදැන උන්නත්, මම "මල් ගීය" ගැන පුංචි පුංචි සටහන්, කවි කෑලි ෆේස් බුකියට ලියනකන් බලන් ඉඳපු තවත් අය, මගෙ වටේ ඉඳලා. 
මතකයේ රැඳුනු එකක්

කරූ-මල් ගී ගැන කවි කමෙන්ටු කොටන්න, කවියෙන් නිසදැසෙන් සුබ පතන්න තව අයත් එකා දෙන්නා එකතු වුනා. කරූ-මල් ගී කතාව ජනප්‍රිය වුනා කිව්වොත් හරි, හැබෑවටම ඒක හිට් වුනා.

කාලයා ගත වුනා.

"ඇයි දැන් මල් ගීය ගැන ලියන්නේ නැත්තේ?" මාස ගානක මල් ගී සටහන්වල නිහැඬියාවක් ඇති වුන තැන, එකා දෙන්නා අහන්න පටන් ගත්තා. මම මුනිවත රැක්කා, හිනා වුනා.

"අපි වෙන් වුනා" අන්තිමේදී පලවෙනි වතාවට මම ප්‍රසිද්දියේ කිව්වා.

ඒ වචන අහපු තැන ඇස්වලට කඳුළු ආපු ගැහැණුත්,පිරිමිත් මගෙ වටේ උන්නා.

කාලයාත් එක්ක මල් ගීය ගැන, කරූ ගැන හැමෝටම අමතක වෙලා යන්න මම ඉඩ ඇරියා. 

හිතට දරාගන්නම බැරි වේදනාවක් දැනුන තැන, ආයෙත් මම විටින් විටෙ ලිව්වා. 

" ඔය වගේ ඒවා ලියන්න එපා මල්ලි, කියෙව්වට පස්සේ හිත හිර වෙනවා වගේ දැනෙනවා."

" ඇයි බං උඹ අපිව හැමදාම අඩවන්නේ? "සෙට් වෙලා ඉද්දි පොඩි දේටත් සැර බයිට් දෙන එකට ඉන්න එකාලා පවා එහෙම කියලා ප්‍රයිවෙට් මැසේජ් දැම්මා.

අන්තිමේ ඒකත් අත ඇරියා.



ඇයි මේ හදිසියේම පරණ කතා?

මම සින්දු අහපු කෙනෙක් නෙවෙයි, මම කැමති සින්දු අහන්න පහසුමක් තිබුන කෙනෙකුත් නෙවෙයි.

පොඩි කාලේ මගෙ ලෝකේ තිබුනේ රේඩියෝවේ ළමා පිටිය, සින්දු අහනවා නම් අප්පච්චිගේ 60 දශකයේ ඉංගිරිසි සින්දු කැසට් සෙට් එක සහ අර විදුලියෙන් දුවන තැටි දාන මැෂිම.

ඔව්, මම 90 දශකයේ මුල ඉපදුන එකෙක් තමයි! හැබැයි ඊට වඩා පට්ටම වින්ටෙජ් ජීවිතයක් මට තිබුණා, වාසනාවට!

මම කැමති සින්දුවක් තෝරාගෙන මම කැමති විදියට අහන්න මට පහසුකම් ලැබෙද්දී මම සාමාන්‍ය පෙළ පන්තිවලට ඇවිත්. හැබැයි කොහෙන් හොයාගෙන මොනා අහන්නද මම දැනගෙන උන්නේ නෑ, සංගීතයෙන් මිනිස්සුන්ට විඳින්න පුළුවන් දේ ගැන ලොකු හැගීමක් තිබුනේ නෑ. පොඩි කාලේ ඉඳන් අදටත් ආස ක්ලැරන්ස්ගේ සින්දු ඇරෙන්න, එතනින් එහා දෙයක් හොයන්න ලොකු උනන්දුවක් තිබුනෙත් නෑ.


ඔය අතරේ දැන් පැරණයි කියන්න පුළුවන් "අලුත් හින්දි සිංදු" වල රසය කියලා දෙන්නේ අදටත් මගෙ ලඟින් ඉන්න මගෙ හොඳම මිතුරා,ඉස්කෝල බඩියෙක්.

මම ඔය සම්බන්ධයෙන් එක තැන රැඳෙද්දී තමයි, මල් ගීය මගෙ ජීවිතේට එන්නේ.


ඈ, සින්දු පිස්සියෙක්!


අපේ පරම්පරාවේ වෙන කිසිවෙකු නොකළ තරම්, අපි ලියුම් ලියන්න ඇති. දුරකථන නොතිබී නෙවෙයි, නමුත් හසුනක රසය කවදාවත් sms වලින් ලබන්න බැරි බව දන්න අන්තිම පරම්පරාවට පස්සේ ඉන්න දුර්ලභ ජීවී දෙපලක්, අපි දෙන්නා.


මම ලියපු දිගම ලියුම, මගෙ මතක හරි නම් ෆුල්ස්කැප් පිටු දහ සයක්! සින්දු කෑලි, අපි දෙන්නගේ කවි කෑලි,නිසඳැස්, සතියේ මාසයේ දින චර්යා සැලසුම්,දවස ගෙවුණ හැටි, චිත්‍ර, බණ දේශනා,බැනුම්,ඊරිසියාබර අහිංසක කතා ඒ අස්සේ රසායන විද්‍යාව, එකී මෙකී නොකී හැම දේම මේවාගේ තිබුණා. ඇත්තම කිව්වොත් අපේ ලියුම්, හරිම සුන්දර කළා නිර්මාණ! අපේ ගෙදර නම් බලන්න අය නොහිටියට, ඒ පැත්තේ නම් අම්මා පවා ඉඳ හිට ඕවා රස කරලා තිබුණා.
මගෙ වෙද ෆොන්ට් එකක්

ඈ ලියා එවූ සමහර සින්දු මං අහලවත් තිබුන ඒවා නෙවෙයි. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ ඇගේ ප්‍රියතම තෝරා ගැනීම් වුණා.

මං වෙනුවෙන් ඈ තෝරා ගත් ගීත කොටස් මම සොයා ගියා, මමත් ඈ පසු පස්සෙන්ම සින්දු පිස්සෙක් වීමේ සුන්දර ගමනක් ගියා.

පෞද්ගලිකව පුද්ගල චරිත ගැන ප්‍රසාදයක් නැතත්, නිර්මාණ වශයෙන් වික්ටර් සුනිල් වැන්නවුන් මගේත් ප්‍රියතම තේරීම් වුණා.


පාසලේ දහය වසරට එනකන්ම කවි ලියන්න හිතිලා නොතිබ්බ මට, දොළහ වසරේදී කවි සඳැල්ලේ  ලේකම් පුටුව ලැබෙද්දී, කවි පොත් එළිදැක්වීම්වල ආරාධිත කතා පවත්වන්න ලැබෙද්දී, කවි පොත්වලට පෙරවදන් සපයන්න සිදු වෙද්දී, කවියෙන් ආපු ගමනක සිව් පදයට පමණක් සීමා වෙද්දී සංගීතය ගැන ඇල්මක් ඇති කරපු ඒ සොඳුරු හමු වීම මල් ගීයම ඇර වෙන කිසිවෙකු නෙවෙයි.

මල් ගීය, මට ජීවිතේ සොඳුරුම දේවල් බොහොමයක් මුලින්ම පෙන්නලා දුන්නා.

මගේ හිතවත් සේම හොඳම මිතුරෙකුගේ පියා වෙන සංගීත කථිකාචාර්යවරයෙකු අතින් ලියවෙන සංගීතය පිලිබඳ පොත් මාලාවක ස්වර රටාවලට පද එකතු කරන්න ලැබුන හිතවත් ආරාධනාව ලැබූ මොහොතේත්, ඒ කටයුත්තේ යෙදෙන මොහොතක් පාසාත්, මුහුණේ කිසිම හැගීමකින් එලියට නො ආපු මගෙ සිතිවිල්ල, මල් ගීය.

ඇයත් එක්ක කැළණි විහාරයට ගිය දවසක් ගැන ලියවුන කවි පන්තිය කලින් ඈට පෙන්නලා තිබුනත්, කොලයක ලියලා මම ඈට දීලා තියෙන්නේ අපි පෙම්වතුන් විදියට හමුවන අන්තිම දවසේ විත්තිය අපි එදා දැනගෙන උන්නේ නැහැ. ඒ නමුත් ලියන හැම අකුරම මුලින් ඈට පෙන්නන පුරුද්ද තවත් යම් කාලයක් වෙනකන් රැඳුනා. 

"සෙන්පතියාගේ ප්‍රේම ගීතය" විදියට හඳුන්වන්න පුළුවන් යම් ගේය පද පෙළක් මගෙ අතින් ලියවුනා, නිර්මාණය අවසන් වෙලා බිහි වෙන තුරු කිසිම තැනක පල නොකරන්න අවවාද ලැබුන ඒ නිර්මාණය මුලින්ම ඇසට පත් පුද්ගලයාත් ඇයම යි. ඒ පදවැල් හිටපු කථිකාචාර්යවරයෙක් සේම ගීත රචකයෙකු වන මගෙ ගුරුවරයෙකුගේත්, සංගීත කථිකාචාර්යවරයෙකුගේත් වගේම කළාවට ලැදි මම ගරු කරන කිහිප දෙනෙක්ගේත් නොමද ඇගයීමට ලක් වුණා.  ඉදිරියේදී, තවමත් පද රචනයෙන් නැවතී තිබෙන ඒ නිර්මාණයත් නිසි කලට කලබලයකින් තොරව එලියට ඒවි, ඒ පදවැල් වෙනුවෙන් මගෙ වගේම අපේ බලාපොරොත්තුවේ හඬ සුනිල් එදිරිසිංහයන්. 


ජීවිතය වෙනස් කල හමුවීමක්, මල් ගීය.

ඉතිං ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පළමු කිඳුරු කොදෙව්ව වෙනුවෙන් ශ්‍රමය සලසපු ඒ දින කීපය ඇතුලේ, විශේෂයෙන්ම ඒ සවස් යාමය පුරාවටම සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා ඈ මතක් වීම පුදුමයක් නෙවෙයි.

දින කීපයක් මේ වෙනුවෙන් සහ තවත් ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙහෙස වෙලා, නිදහසේ ඒ සැන්දෑව ගත කරන්න හිතපු අන්තිම මොහොතේ සුපුරුදු කැමරාව බාරගන්න වුණාට, මේ අවුරුද්දේ ගත වුන මාස හත ඇතුලේ තුන් වෙනි දවසටත් මගෙ දෙඇස් මටම දොස් කියන්න පටන් ගත්තා.

මල් ගීය අද ලංකාවේ නැහැ. මගෙ අසුනට යාබදව ඒ හැන්දෑව විඳගන්න කියලා නොපැතුවත්, ඇයත් ඒ ගැලරියේ කොහේ හෝ තැනක ඉඳ ඒ අත්පොලසන් අතර තවත් එක් හඬක් වුනා නම්, ඈ කොයි තරම් නම් ප්‍රීති වෙයිද? එය මට කොතරම් සතුටක් ද? මම දහස් වතාවක් කල්පනා කළා.

එක වසන්තයක
එක රාත්‍රියක
දැනුනා මතකයි
මට ඉබේම වාගේ
ඔබේ සුවඳ

එක හුස්මක් වත්
ගන්නට ඉඩ නැති තරමට
දැනුනා විතරක්
මතකයි...


හද ලුහුබැඳ ඉව කරනා
පෙර ස‍සරක සුපුරුදු සුවඳ
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොඳුර...



පුදුමාකාර කඳුළු ගොන්නක් මගෙ ඇස්වල ගොඩ ගැහිලා තිබිලා තියෙන වග මම එවෙලේ දැනගත්තා. මම උපැස් යුවල හෙමිහිට ගලවලා කමිසයේ උරහිස හෙමිහිට කම්මුලකට තද කර ගත්තා.




දයාබර මල් ගීය,

හමුවනු මැනවි මතු භවයේදිත්
සොයා යන කලෙක, මං කවුද 
සොයා දී මා මටම, ඔබ යන්න ඔබ ගමන.
ඒ තුති මල, නුඹටයි-නුඹටමයි.

මල් ගීය, නුඹම විය,  නුඹම විය,  නුඹම විය.

-කරූ.




     (පසු කාලීනව කල බ්ලොග් අවකාශගත කිරීමක්)








කිඳුරු කොදෙව්ව මගේ උප නෙතින්


 





2 comments:

  1. //මම 90 දශකයේ මුල ඉපදුන එකෙක් තමයි! // මේ පොඩි වයසට උඹ 'අත්දැකීම් බහුල' වැඩිහිටියෙක් වෙලා මල්ලී..
    පසුතල නිර්මාණය හරිම අගෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ..

      සමහරවිට බොහොම ඉක්මනින් සමාජයත් එක්ක ගැටෙන්න වටපිටාවක් ඉස්කෝලෙන් හදලා දුන්න නිසා සහ බාහිර සමාජයත් අපිත් අතරට තුන් වැනි පාර්ශවයක් නාපු නිසා ඉගෙනගන්න හම්බුන දේවල් නිසා වෙන්න ඇති අයියේ..

      Delete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...