Tuesday, April 9, 2019

අ යන්න! කියන්න ලොවටම ඇහෙන්න!!


මගේ නම කුමක්දැයි අසන ප්‍රශ්නයට පමණක් දෙවෙනි වෙන, මගෙන් මීළඟට වැඩිපුරම ඇසෙන පැනයක් තිබේ නම් එය “ඔය අදහස් ඔළුවට එන්නේ කොහෙන්දැයි” මගෙන් අසන ප්‍රශ්නය විය යුතු ය. බොහෝවිට ඔය ප්‍රශ්නය මුලින්ම පැන නැගෙන්නට ඇත්තේ අම්මාට ය.

දවස මට අකුරු කියවූ දිනය ය. අකුරු කියවීමේ සුබ කටයුත්තට අන් කිසිවෙකුට ආරාධනා නොකරම තමන්ම එය සිදු කිරීමට තීරණය කර තිබුණේ අම්මා ය. ඉතින් සුබ මොහොතින් දරුවා ද හෝඩි පොත ද ලං කරගෙන අයන්නට ඇඟිල්ල තබා “අ යන්න” යැයි කියා තිබුණේ  මගෙන් ද ඒ දෙය පුනරුච්චාරණය වෙතැයි බලාපොරොත්තුවෙන් ය. “අ යන්න” යැයි කීම කෙසේ වෙතත් “කියන්න ලොවටම ඇහෙන්න” යනුවෙන් මිස “අ යන්නක්” නම් මා ලවා කියවා ගැනීමට අම්මාට එදා හැකි වී නැත!

අකුරු කියවීම එසේ ‘කොට-උඩ’ ගිය ද, පළමුවන වසරට බාරදෙන විටත් මට හොඳින් භාෂා දෙකම කියවීමේ සහ කතා කිරීමේ හැකියාව තිබිණ. සියල්ලන් තතන තතනා හෝඩිපොත හඬ නගා කියවද්දී මා කිසිදු ගැටලුවක් නොමැතිව ශබ්ද නොනගා කියවීමේ හැකියාව ළඟා කරගෙන තිබූ බව මට මතක ය. පාසලේ දෙවන වසරට එළඹෙන විට මා බලා සිටින්නේ ඉරිදා සිළුමිණ නිවසට පැමිනෙණ තෙක් ය. ඒ රසඳුන අතිරේකයේ තිබූ “බුවාලන්තයේ සිට” ලිපියත්, පුන්කළසේ තිබූ නෙළුම් විල පාඨක ලිපිවල තිබූ රස කතා සහ තේරුණ බවක් සිතුවත් තේරුම්ගොස් නොතිබූ කෙටි කතාවත් කියවීමටත් ය. බුවාලන්තයේ බුවාලාගේ සහ බුවීලාගේ කතා රස වින්ද ද, බැලූනයක් වෙන්නට ඇතැයි සිතා සිටි බුවාලන්තයේ ලෝගෝවේ තිබුණේ හුලං ගසා පුම්බන ලද ලංකා සිතියමක් ඔළුවෙන් හිටුවා බව මා තේරුම් ගන්නා විට මා සිටියේ තුන වසරේ ය. එකී සොයාගැනීමෙන් පසුව බුවාලන්තය යනු අපේ ලංකාවම බව මට ටිකෙක් ටික තේරෙන්නට ගත් හැටි මට මතක ය. මගේ ‘ෆේමස් ෆයිව්’ පොත් එකතුව එකතු වීමට ඇරඹෙන්නේ දෙක වසරේ සිටියදීම ය. පසුව මට අනගිරත්නයන්ගේ ‘නරලොව හොල්මන්’ ද Roald Dahl හමු වූ දවස ද මතකය, එතැන් පටන් මගේ ජීවිතය ෆුල් මාවලස් ය!

මගේ නිවසේ රූපවාහිනී බලන මිනිසුන් අවසන් වරට සිටියේ 1998 අවුරුද්දේ ය. රූපවාහිනිය ලංකාවට පැමිණි මාසයේම වාගේ අප්පච්චී මිලට ගත් එම රූපවාහිනී යන්ත්‍රය කැඩී ගිය පසු කිසිවෙකු එය යථා තත්ත්වයට පත් කිරීමට උනන්දු වූයේ නැත. ඉන් අවුරුදු 14ක් ගත වෙන තුරු නිවසේ රූපවාහිනියක් නොවූ අතර, 2012 දී නිවසට රූපවාහිනියක් ගෙන ආ පසුව ද රූපවාහිනී රසිකයන් අපේ ගෙදර සිටියේ නැත. රූපවාහිනියේ නික්ම යාමේ පටන් ඒ අඩුව පිරවූයේ රේඩියෝව ය. සැමදා සවස ස්වදේශීය සේවයේ ළමා පිටිය ද, හවස හතට කවි නිසදැස් සමගින් එන ස්වදේශීය සේවයේ 'එළිවැට' ද, බදාදා ලක්හඬ ගුවන් විදුලියේ මුවන්පැලැස්ස ද අප්පච්චීගේ ටේප් රෙකෝඩරයේ රෙකෝඩ් කිරීම මගේ පුරුද්දක් වී තිබිණ. වයස අවුරුදු දා හතක් වන තුරුම මගේ මනසට ලැබුණු සියලුම දත්ත ලැබුණේ අකුරු සහ ශබ්ද ලෙස ය. සියලුම “රූප” මට ලැබුනේ දෑස්වලින් නොව එම අකුරු සහ ශබ්ද ඔස්සේ මෙහෙයවූ සිතුවිලි ඔස්සේ ය. ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ “කොළඹ ආනන්දයේ ළමා ශිල්පීන්” යනු මට ඒ කාලයේ රෝල් මොඩල් ය, මා ආනන්දයට පැමිණෙන්නට ඒ ද එක හේතුවක් බව කිව හැකි ය.

පාසලේ හත වසරේදී මට හුරු වූ අපූරු පුරුද්දකි. විවේක කාලයට සීනුව වදිදීම පන්තියෙන් මාරුවන මා නැවත පන්තියට එන්නේ හය වැනි කාලච්ඡේදයේ මැද ය. එතෙක් ඕල්කට් පුස්තකාලයට වී දිනයේ සියලුම පුවත්පත් කියවා, හෙල සිසු හවුලේ සහ මුවර් ගොඩනැගිල්ල පාමුල දහය ශ්‍රේණියේ පන්තියකින් පවත්වාගෙන ගිය බිත්තිපුවත්පත ද යවත්කාලීන වී ඇති නම් ඒවා ද කියවා පැමිණීමට මම පුරුදු වුණෙමි. මේ පුරුද්ද නිසා නවය වසරේ සිටියදී දිනක් මා ගුටි කෑමෙන් ගැලවුනේ, විවේක කාලයේ සියලුම සිංහල මාධ්‍ය පන්ති එකතු වී මුවර් ගොඩනැගිල්ලේ හතරවෙනි මාලයේ තිබූ අපේ පන්තියට අම්මා මෝ නැතිව පහර දී, බත් පාර්සල්වලින් සහ වතුර බෝතල්වලින් ද දමා ගසන අයුරු පහල ඕල්කට් පුස්තකාලයේ කොරිඩෝවේ හිඳ බලා සිටීමෙනි. අපේ උන් ද පන්තියේ දොර වසා දමා, පසුව දොර මදක් ඇර, ඒ කුඩා ඉඩකඩෙන් රිංගා ගැනීමට වෙර දරන දහයක් පහලවක් අනික් උන් අතරින් එකෙකු බෙල්ලෙන් ඇද ඇතුළට දමාගෙන ඌට හොඳ හැටි සලකා, නැවත දොර ඇර එළියට දමා තව එකෙකු ද ඒ අයුරින් ඇතුළට ඇදගන්නා සංදර්ශනය මම පහත සිට හොඳ හැටි රස වින්දෙමි!

පුස්‍තකාලයේ තිබී අහම්බෙන් හමුවන “කුණුහරප පොත්” ගැන පුස්තකාලයාධිපති දැනුවත් කරන්නේ ඒවා හොඳ හැටි රස විඳ, උපුටාගත් රසබර තැන් අනෙක් සගයන්ට ද පෙන්වා බෙදා ගැනීමෙන් අනතුරුව ය. ඒ වර්ගයේම හමුවූ “ගෙදර බුදුන්” නම් රසබර පොතක් පාසල් වේලාවේ තලු මරමින් සිටියදී කවුදෝ තලත්තෑනි කටහඬක්  කෑ ගසනු මට හීනෙන් මෙන් ඇසිණ.

“ඕයි! ඕයි ගෙදර බුදුන්!! ඕයි ගෙදර බුදුන්..!!!” මම නිකමට වාගේ හිස එසවීමි. මුලු පන්තියේම නැගිටසිටි කොල්ලන්ගෙ සුදු කොට කලිසන් පස්සා අතරෙන් ගුරු මේසෙට එහා පැත්තෙ හිටගෙන උන්න රණසිංහ සර් මගේ මූණට රවනු පෙනෙයි. කොල්ලෝ මා දෙස හැරි හැරී බලමින් සිනාසෙති. මම පන්තියේ අන්තිම පෝලිමේ තනිවී කකුල් දෙක ද උඩ දමාගෙන හරි බරි ගැසී ‘ගෙදර බුදුන්’ගේ දුව චීත්තය උණා එරමිණියා ගාලක වනා වත්තේ මහත්තයා සමග හැමිණෙන අයුරු අසූ එක්වෙනි වාරයටත් කියවමින් සිටියෙමි.........

අදටත්, ශරීරයෙන් මෙතැන සිටිය ද මගේ සිහිය තියෙන්නේ සැතපුම් සිය ගාණනක් එහා වෙනම මනස්ගාත ලෝකයක ය. මා කුඩා කාලයේ තොරතෝංචියක් නැතිව ඇසූ හැම පැනයකටම, අම්මා වාගේ "ඔව්වා ඔයාට තේරෙන්නේ නෑ" නොකියා, ලබා දිය යුතු නිවැරදිම පිළිතුර ලබා දෙමින් කිසිදු විටෙක මගෙන් වෙහෙසට පත් නොවූ අප්පච්චි වාගේම, සෑම විටම සිත සිතා ඉන්නට යමක් මගේ ජීවිතයට එකතු කල කියවූ සෑම අකුරක්ම ඊට හේතු වූවායැයි මම කල්පනා කරමි. පාසල් කාලයේදී සිංහල භාෂාව වෙනුවෙන් වූ සම්මානය දිනා ගත් මා දන්නා එකම ඉංග්‍රීසි මාධ්‍ය සිසුවා වීම, කලා විෂයන් වාගේම විද්‍යා විෂයන් ද ආනන්දයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඇගයීමට ලක්වීමේ තැන පටන්, අදට ද මගේ වෘත්තිය ජීවිතට පදනම් වී ඇත්තේ මා ජීවත්වන හිතනලන්තය මිස, උසස්පෙළ සිට මා තෝරාගත් විද්‍යා විෂයන් හෝ කාගේ හෝ විෂය නිර්දේශයකට අනුව ඉගෙනගත් කිසිම දෙයක් නිසාවෙන් නොවන බව මම සිතමි. බොහෝ දෙනාගේ කුතුහලයෙන් පිරී ගිය, සෑම දෙයම ප්‍රශ්න කෙරෙන කුඩා දරුවා බොහෝ අඩු වයසකින් මියැදෙද්දී, දෙමාපිය ගුරුවරුන් එකතු වී මරා දමද්දී, මගේ කුතුහලය බිඳකුදු අඩු නොවී රැඳුනේ, අදටත් සෑම සියලු දෙයම ප්‍රශ්න කරන්නේ මේ හේතූන් නිසා වන්නට ඇති බව මම තරයේ අදහමි.

මිනිසුන් විවාහ වන්නේ සහ දරුවන් ලබන්නේ ඇයි දැයි යන්නට තවම සාධාරණ පිළිතුරක් මා සතුව නැත. නමුත් එවැනි සිතුවිලි ඇති බොහෝ දෙනෙකුට අවසානයේ සිදුවන අයුරින් දිනෙක බලාපොරොත්තු නොවූ ලෙස මා ද දරුවෙකුගේ පියෙකු වුවහොත්, ඌට මා මෙන් වන්නට යැයි බල නොකරන නමුත්, කැමති නම් මං වාගේ වෙන්නට ඕනෑ පසුබිම ඌට සලසා දෙන්නෙමි යි මම කල්පනා කරමි.  ඌ ද කවුරුන් හෝ “අ යන්න” කී විට එයම නැවත නොකියන, “කියන්න ලෝකෙට ඇසෙන්න” යැයි කිව හැකි අවුට් ඔෆ් ද බොක්ස් එකෙකු වේ නම් මම ඊට ඇලුම් කරමි. මිනිසුන් උපදින්නේ අවුරුදු විසි පහේ සිට මියෙන තුරු උදේ සිට රෑ වන තුරා කාර්‍යාලයක ජීවිතකාලය ගත කීරීමට නොවන බව ඌ ද තේරුම් ගතහොත්, ඊට වඩා සතුටක් තවත් මට නොමැතිබව ද දනිමි.

Monday, March 25, 2019

අලුත් බ්ලොග් එක...

"Escapist Rider" කියල කියන්නේ 2016 මාර්තු වගේ ඉඳන් හෙමි හෙමින් පටන් ගත්ත මගේ සිංහල/ඉංග්‍රීසි බ්ලොග් අඩවියක්. හෙමි හෙමින් කිව්වේ, තුන් අවුරුද්දක් සම්පූර්ණවෙන මේ මාසෙට තමයි මේ බ්ලොග් අඩවියේ පෝස්ට් විස්සක් සම්පූර්ණ වෙන්නේ...

ඉතින් මම හිතුවා ඒක ගැන පොඩි පබ්ලිසිටියන් මෙතනින් දෙන්න ;) මොකද මම මේ අලුත් බ්ලොග් එකේ 'ලින්ක්' මෙතෙක් ශෙයා නොකරපු නිසා. මේ අලුත් බ්ලොග් අඩවියේ සිංහල භාෂාවෙන් වගේම ඉංග්‍රීසියෙන් ලියවෙන පෝස්ට් පලවෙනවා.

සමහරවිට දැනට අවුරුදු හතක වගේ ඉඳන් ලියාගෙන එන වත්මන් බ්ලොග් අඩවිය බොහෝ දුරට මම අතෑරලා සම්පූර්ණයෙන්ම අලුත් බ්ලොග් අඩවියට මාරු වෙන්න ඉඩ තියෙනවා. හේතුව මුකුත් නෙවෙයි, ඇත්තටම දැන් ඉන්නේ මේක ලියපු මනුස්සයා නොවෙන නිසා, දැන් දැන් ලියවෙන දේවල් මේකේ දාන්න ඒ තරම් ගැලපෙන්නේ නෑ කියලා හිතෙන නිසා.

ඉතින් වෙලාවක් තිබුණොතින්, ගිහින් බලන්න ඒ පැත්ත.

මෙන්න ලින්ක් එක
https://escapistrider.wordpress.com/




Tuesday, February 12, 2019

මොටෝසයිකල් දිනපොත 03 - පැච් කතා


වෙනත් කුමන වාහනයකින් නුවර එළිය ගොස් තිබුණ  කිසිවක් වින්ඩ්ස්ක්‍රීනය පවා ඉවත් කල ජීප් රථයකින් හෝ යතුරුපැදියකින් නුවර එළිය වෙත යන ගමන වාගේ අගේ නොවන වග මගේ අදහස ඔබ වටා මෙන්ම ඔබේ හිසට ඉහළින් ඇති හිස්අවකාශය අප්‍රේල් මාසයේ නිල්බර අහසෙන් සහ හීතල සුළඟෙන් වට වී තිබීමේ ආස්වාදය නොඅඩුව විඳින්නට නම් යා යුත්තේ විවෘත්ත රථයකිනි.. දුම්‍රියේ නැගී නුවර එළිය වෙත යන ගමනමෝටර් රියක නුවර එළිය වෙත යන ගමනට වඩා හාත්පසින්වෙනස් වනවා තරමට යතුරු පැදියේ නුවර එළි ගමන  වෙනම තලයක ඇති අත්දැකීමකිකෙටියෙන්ම කිවහොත් හිරු නැගඑන හෝරාවේ යතුරු පැදියකින් රටේ මධ්‍යම කඳුකරයේ කඳු අතර හුදෙකලා විම යනු ඔබව වෙනම ලෝකයට ගෙන යන්නකි
දිගටම පණගැන්වූ එන්ජිමෙන් උණුසුම් වෙමින්

රාත්‍රී අටට කිරිබත්ගොඩින් පිටත් වූ ගමනට තරමක බාධාවක් එල්ල වන්නේ හරියටම අලුයම දෙකට පුස්සැල්ලාවේදී පසුපසරෝදයේ හුළං යෑමෙනිමහනුවර - නුවර එළිය ප්‍රධාන මාර්ගයේ තේ වත්තක් මැද මොටෝසයිකලය නවතා එන්ජිම නිවා දැමූපසු හාත්පසම පැතිර ගියේ අසල සිටින්නාව  නොපෙනෙන කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයකිකිලෝ ගණනක් බර කැමරාඇඳුම් සහ අත්‍යවශ්‍ය ආම්පන්න මොටොසයිකලයට පටවා තිබියදීම එය නැවතත් කඳු බෑවුම ඔස්සේ ආපහු පහළට තල්ලුකරගෙන  පසු ටයර් කඩයක් සොයා ගැනීමට අපට හැකි වියමොටෝසයිකල ගමන්වලට “මැජික් නම්බරය අංක දෙක” යැයිමා කියන්නේ මේ හේතුව නිසා එක්කෝ යතුරු පැදි දෙකක් ගමනට එකතු විය යුතු නැතිනම් එකම යතුරු පැදියේදෙදෙනෙකු ගමන් කල යුතු බොහෝවිට සුමට නොවන මොටෝසයිකල ගමන්වල මුහුණ දීමට සිදුවන අවදානම්වලටසූදානම් විය යුත්තේ එසේ නමුත් යතුරු පැදි දෙකකට වඩා සහභාගීවන ගමන් බිමන් සඳහා මගේ උනන්දුවක් නැත්තේ අවශ්‍යතැනක කැමති නම් පැය ගණනක් හෝ ගමන නවතා අවට පරිසරය නිස්කලංකව ගවේෂණය කිරීමේ නිදහස මා සතු කරගැනීමට පසුව අකුරු අමුණා ලියවුණ  මේ සටහන්වලට වචන අනුපිළිවෙල ගලා එන්නේ බොහෝ විට එසේ ගතවනවිරාමයන්වලදී 

යාන්තමින් නුවර එලියට
කෙසේ හෝ පසුදා උදෑසන වනතුරු යතුරු පැදිය මුරකිරීමේ රාජකාරියේ උන් සගයාට වැඩේ තනිවම බාර කරමින් මට නින්ද ගොස් තිබුනේ, නිදිමත පහවෙන්නට යැයි කියා කඩා විවර කල දෙවනි රෙඩ්බුල් කෑනයෙන් පලමු උගුර පානය කල මොහොතේම වාගේ ය. පසුදා පහන්වන තුරුම ඉඳ හිට අතපය උණුසුම් කරගත්තේ විටින් විට ස්ටාට් කර ධාවන තත්ත්වයේ තබා ගත් මොටෝසයිකලයේ එන්ජිමේ ආනුභාවයෙනි. ධාවනය වන මොටෝසයිකල් එන්ජිමක් යනු සීතලට හොඳ ගිනිමැලයක් සේම වැස්සෙන් තෙත බරිත වූ පසු ඇඳුම්, මේස් සහ සපත්තු වියලාගත හැකි හොඳ මෙවලමක් බව අත්දැකීමෙන්ම කිව හැකි ය. රෑ එලිවෙනතුරු ධාරානිපාත වැස්සක තෙමෙමින් කොළඹ සිට බලංගොඩ හරහා බණ්ඩාරවෙල සහ බදුල්ල බලා ගිය ගමනක දී ද උණුසුම් එන්ජිම හොඳ ප්‍රතිකර්මයක් වූ බව මතක ය. කෙසේ හෝ පුස්සැල්ලාවේ පැච් කතාව කෙලවර වන්නේ උදේ අටවනතුරුම ගමනට පැය හයක ප්‍රමාදයක් එකතු කරමිනි.
මැද සිටින්නේ නුවර එලියේදී එකතු වූ "සමකය වටේ" යන නලීන් අයියා ය


කිලෝමීටර් හයසියයක මොටෝසයිකල් ගමනකදී දෙවරක් පැච් යෑමේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වූයේ ඉන් මාස දෙකකට පමණ පසුව ය. රෑ එලිවෙනතුරු "හොල්මන් වැස්සකට" ද මුහුණ දෙන්නට සිදු වූ මේ ගමනේ පළමු පැච් එක යන්නේ බණ්ඩාරවෙල නගරය පසුකර සුලු දුරකින් පසුව ය. අතරමගදී මීරිගම, ඇහැලියගොඩ සහ බළංගොඩ නගරවලදී රොටී, ආප්ප සහ ප්ලේන්ටී ආදිය සප්පායම් වී සිටිය ද බණ්ඩාරවෙලදී බරසාර උදේ ආහාර වේලක් ලබා ගැනීමේ උවමනාව තදබල ලෙස තිබූ බව මතක ය. ආහාරවේල බරසාර කරගැනීමට තරම් මට්ටකම කඩයක් නුදුටු තැන නගරය ද පසුකර කිනිගම හන්දියට එද්දී අපට හමු වූයේ සිරා බුෆේවකි. බත් ද, පරිප්පු හා සම්බෝල, කුකුළු මස් ආදිය යහමින් බෙදාගෙන භුක්තිවිඳ, වටලප්පම් ද යහමින් බඩට යවා කඩේ තරුණයා හා අල්ලාප සල්ලාපයට වැටුනේ මදක් හුස්ම ගැනීමට තරම්වත් බඩ බහින තුරු ය. 


සාමාන්‍යයෙන් මොටෝසයිකල් සංචාරවලදී ආගන්තුකයන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙනවිට ඔවුන් අප ගැන අසන පැණවලට දිය හැකි සරල පිලිතුරු කිහිපයක් අපි මුල සිටම පුරුදු වී ඇත්තෙමු. බොහෝවිට එම උත්තර අර්ධ-සත්‍ය ය. අසන ප්‍රශ්නවලට ඇත්තම නොකියා සියල්ල ලඝුකොට කීමේ ප්‍රධානම හේතුව අපව 'මැජික් එකක්' ලෙස පෙනීම වලක්වා ගැනීම ය.  ඒ පැණවලට ඒ සරළ පිලිතුරු කිහිපය ලබා දුන් පසුව එලබෙන්නේ අප ඔවුන්ගෙන් අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ වාරය ය. කිනිගම පාර ඔස්සේ ඇල්ල නගරයට ලඟා විය හැකි වඩා දර්ශනීය මාර්ගයක් ඇතිවග අප දැනගන්නේ කඩේ තරුණයා හා යෙදුන ඒ අල්ලාප සල්ලාපයේදී ය. ඉතින් සුපුරුදු බණ්ඩාරවෙල-බදුල්ල මාර්ගය මගහැර, නැවත සෑහෙන දුරකට නගරයක් හසු නොවන හුදෙකලා මාර්ගයට අප යොමුවන්නේ ඒ අනුව ය. අවාසනාවක මහත ට ඒ ගමනේ පලමු පැච් එක යන්නේ ඒ මාර්ගයේ දරුණු කඳු, පල්ලම් සහ වංගු පසුකරමින් කිලෝමීටර තුනක් පමන පැද යෑමෙන් අනතුරුව ය! විනාඩි හතලිහක පමණ දහදිය මුගුරු හෙලීමකින් අනතුරුව නැවත මාර්ගය වෙනස් කිරීමට තීරණය කල ස්ථානය වෙතටම මොටෝසයිකලය තල්ලු කිරීමට සිදුවන්නේ ඒ අනුව ය! නැවතත් මදක් විපරම් කිරීමෙන් අනතුරුව සොයාගත් ටයර් වෙළඳසැලකින් අවශ්‍ය අලුත්වැඩියාව කරගන්නා අතරතුර මා යාබද නිවසකට ගොඩ වැදුනේ ශරීර කෘත්‍යය වෙනුවෙනි. මගේ සගයාට එවන් අවශ්‍යතාවක් ඒ වනවිට නොවූයේ ඌ උදේ පාන්දරම හපුතලේ දුම්රියපොලේ 'නිරීක්ෂණ චාරිකාවක්' අතරතුර බර සැහැල්ලුකරගෙන සිටි නිසා ය. කෙසේ හෝ අලුත්වැඩියාවෙන් පසුව වෙහෙසටත් හිතේ අමාරුවටත් තීරණ ගැනීමේ අයිතිය පවරා, අපි සුපුරුදු බදුල්ල පාර ඔස්සේම ඇල්ල බලා හැල්මේ ඇදුනෙමු.
රැය පහන්වනතුරු කල ධාවනයකින් පසුව
උදෑසන හමුවන හුදෙකලා කැලෑබද මාර්ගයක් යනු
කෙටි නින්දකට තෝතැන්නකි


සාර්ථක සංචාරයකින් පසු ආපසු එන ගමනේ දෙවන පැච් එක ද යන්නේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී ය. වාසනාවට කිලෝමීටර දෙකක් ඇතුලත ටයර් වෙලඳසැලක් තිබූ හෙයින් පැය බාගයක් තුල ටියුබයම මාරුකොට අලුත්වැඩියා කරගැනීමට හැකිවීම අපේ වාසනාව ය.

පැච්කතා හමාර කිරීමට මත්තෙන් ලිවිය යුතු honorary mentions ද ඇත! ටයර් ටියුබය හිල් වී හුලං බිඳුවක් නැති බව දැන දැනම "වෙන දෙයක් වෙත්දෙන්" කියා පැදගිය උපරිම දුර කිලෝමීටර් හතලිස් පහකි. වේගය අවම වශයෙන් පැයට කි.මි. 40ට වඩා පවත්වා ගන්නට ද සිදු වූයේ වේගය අඩුකල සැනින් දැනෙන්නට ගන්නා අධික පුනරාවර්තී ගැස්ම නිසා ය. එම රාත්‍රියේ මට තිබුණේ විකල්ප දෙකකි. එකක් උදෑසනවනතුරු මොටෝසයිකලය ද සමග පැය දොලහක් පමන පාර අයිනේ ගත කර, උදෑසන කෙසේ හෝ නගරයක් සොයා ගැනීම ය. දෙවැන්න, සිදුවන අලාභහානියක් පසුව විඳ දරාගෙන මොටෝසයිකලය පැද ගොස් ගෙදරට වී නිදා ගැනීම ය. ඉතින් මා තෝරාගත්තේ දෙවැන්න ය! රිම් එකට හෝ ටයරයට කිසිදු හානියක් වී නොතිබූ අතර, ටියුබය මාරු කිරීමට සිදු වූ නමුත්, පසුදා උදෑසන මගක් තල්ලුකරගෙන එන විට පෙරදා රාත්‍රියේ එතරම් දුරක් පැද ආ හැටි සිටිපත් වී 'ඔන්න ඔහේ' නිවස සමීපයේ ටයර් කඩය දක්වා ඉතිරි දුර පැද යාමට සිත් වී මගදී පොලිසියෙන් දඩයක් කෑමට නම් සිදු විය. ඊට හේතුව තල්ලුකරගෙන යාමේ අටියෙන් එලියට බැස්සේ හෙල්මට් නොමැතිව බව මෙහි ලියා තබන්නට නුඋවමනා තරම් ය!

Friday, January 25, 2019

නිරුවත් පළමු පෙම

මගේ පළමු පෙම කායිකව නිරුවත් කිරීමට මම හදිසි නොවීමි. හැරත්, අතීතයේ සතියකට ලැබුණ සීමා සහිත පැය විනාඩි තත්පර තුල එවැන්නකට ඉඩප්‍රස්තාවක් ද නොවී ය. ඇයට ද එය එසේම වු බව මට මතකය. දෙනෝදහසක් සෙනග අතරේ නොයෙක්විට තනිවුණ අපට සිප වැළඳ ගැනීමකට හෝ අවකාශ සොයාගැනීම මහා ජයග්‍රහණයක් විය.

ඒ වෙනුවට ඇගේ සියුමැලි වැලමිට ද, මට වඩා දහස්ගුණයකින් රේඛා සපිරි අත්ල ද, බාල කාලයේ තුවාල කැළැල් තවමත් විද්‍යාමාන දණහිස් ද මට ස්පර්ෂයට ලැබිණ. මගේ බාහුව ද, හිස කෙස් ගැවසි ගෙල පසුපස ද, කණ්පෙති ද ඈ නිබඳවම ස්පර්ෂ කළා ය. ඇයගේ ඇස්පිහාටු මෙන් දෙගුණයක් පමණ දිගු වූ මගේ ඇස් පිහාටු ද, මගේ දුඹුරු පැහැ දෙඇස් ද ඈ නිබඳවම අගය කළා ය, අන් කිසිවෙකුටත් නොදෙන බවම පැවසුවා ය. ඉන් ඔබ්බට කිසිවක් ඇය වචනයෙන් ඉල්ලා නොසිටියා ය. උකුලේ හිස හොවා මුවින් නොබැන උන් පැය ගණන් අවසානයේ නිවසට ගොස් අපි පිටු දහ අට- විස්ස දිග හසුන් ලියුවෙමු. සිව්පදයෙන් සංවාද ගෙන ගියෙමු.

අප අතරේ හුවමාරු වූ රහස් කතාවල තරමට, සමාජය විසින් පෞද්ගලික යැයි ලේබල් ගසා ඇති ශරීර කොටස් ක්ෂුද්‍ර වැඩි බව අපි තේරුම් ගතිමු. එකිනෙකාගේ ජීවිතතුල ස්පර්ෂ නොකල අස්සක් මුල්ලක් නැතිවන තුරුම අපි එකිනෙකා තුලට අතු-මුල් විහිදවමින් ගොඩනැගුනෙමු. එකිනෙකාගේ ආත්මයන් තුල දිනෙන් දින අපි නිරුවත් වූයෙමු. අප දෙතොල් සිපගත් සෑම මොහොතකදීම ඇයගේ ප්‍රශ්වාසයම මගේ ආශ්වාසය වූ බවත්, මගේ ප්‍රශ්වාසයම ඇයගේ ආශ්වාසය වූ බවත් අපි දැන සිටියෙමු. ඇයගේ සිහින් දිගැති අතැඟිලිවලටම ඔබින මගේ සිහින් දිග අතැඟිලි අපූරුවට එකිනෙකා අතර හිදැස් පිරවූ හැටි දෙස බලමින් විටෙක අපි පුදුම වූයෙමු.

ගතවුන ඒ කාලයේ ඇයටත් මටත් පෞද්ගලික දේ ගොඩ ගසා ගැනීම සපුරාම මග හැරී ගොස් තිබුණ බව, පසු කාලයේ අපි සක්සුදක් සේ වටහාගතිමු. නිද්‍රාවකින් ගතවුනේ දෝ නොතේරුණ ඒ කාලයේ නිදිදෙව්දුව වැළඳගත් මොහොතක එකවනම අවදිවන මා දෙස බලා, "ඇයි මැණික ගැස්සිලා ඇහැරෙන්නේ" කියා නොයෙක්වර ඈ අසමින් හිස අතගෑවා ය.

අදට ද මම තිගැස්සී අවදිවෙමි. ලෝකගෝලයේ ඉහල අන්තයක අන් තුරුලක සිටින ඇය ද මඩිනා ලද සාංකාවකින් අවදි වී ඇති බව දැනගනිමි. ඇයගේ ඔරලෝසුවේ පාන්දර හතරේ කණිසම වදින මොහොත මෙය වේදැයි මම සිතින් ගණනය කරමි. ඇඳ අද්දර වූ වතුර වීදුරුවෙන් උගුරක් පානය කොට ඇය යලිත් ඇඳට බරවෙන අයුරු සිතෙන් දකිමි. ඇගේ ඇස් පියවී ගිය බවට සංඥා ලැබෙන තුරු මම ද ඒ මේ අත පෙරලෙමි. 

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න


Thursday, January 24, 2019

මුල මැද සහ අග!

හැම විශිෂ්ට කතාවකටම, මුලක් මැදක් සහ අවසානයක් තියෙනවා. හැබැයි මුල-මැද-අග අනුපිළිවෙලින්ම නම් නෙවෙයි. අතින් බැලුවාම, අපි හැමෝටම විශිෂ්ට කතාවක් තියෙනවා. අපි හැමෝගේම කතා විශිෂ්ටයි.

389 වෙනි පරිච්ඡේදය: ...දිග කොණ්ඩයත්, කුඩා දෑතත් තවමත් වාගෙමයි. නමුත් තරුණයාට දැන් වයස අවුරුදු අනූ අටක්! ඔහු කුඩා අවන්හලක තනිවම වාඩි වී සිටියා.

ඔහුට මදක් එපිටින් ඉඳගෙන සිටි නාඳුනන අමුත්තා රස බලමින් හිටියේ අපේ තරුණයා බොහොම ප්‍රි කරන කෑමක්. තරුණයා දෙවරක් නොසිතාම අමුත්තාගෙ පිඟානට අත දමා එයින් පොඩ්ඩක් රස බලනවා.
මට දැන් අනූ අටක් වයස! පුළුවන් නම් මේ නාකි මට බැණපන්! හා ඉතින් බැණපන්! තලු මරන අතරේම අපේ අනූ අට වියැති තරුණයා අමුත්තාට එහෙම කියනවා!....

14 වෙනි පරිච්ඡේදය: ....ඔහුට දැන් වයස අවුරුදු අටක්! යාළුවන් එක්ක එකතු වෙලා, අහල පහළ අසල්වාසීන්ගෙන් පොඩි විනෝදයක් ලබන්න කදිම අදහසක් කොලුවාගේ හිත ඇතුළේ නලියනවා. කොල්ලට හොඳටම විශ්වාසයි වැඩේ නම් කිසිම දවසක කාටවත්ම මාට්ටු නොවෙන විත්තිය.

ඉතින් පහුවදා උදේ බලනකොට, වීදියේ සියලුම ගෙවල්වල තාප්ප පාට පාටින් ස්ප්රේ පේන්ට් කරලා.

කොලු රංචුවේ ගෙවල්වල තාප්ප ඇරෙන්න, හැබැයි!

146 වෙනි පරිච්ඡේදය: ... ඇය ඔහුට ආදරය ප්රකාශ කළා. සතුටත් සිනහවත් නිතැතින්ම ඔවුන් සොයා ආවා. ඔවුන් එදා පටන් සැමදා සතුටින් ජීවත් වුණා…”

231 වෙනි පරිච්ඡේදය: ඇයත්, ඔහුත් නැවත කිසිදා මුණ නොගැහෙන්නටත් කතාබස් නොකරන්නටත් තීරණය කළා…”

මම කිව්වේ, හැම විශිෂ්ට කතාවකටම, මුලක් මැදක් සහ අවසානයක් තියෙනවා. හැබැයි මුල-මැද-අග අනුපිළිවෙලින්ම නම් නෙවෙයි. අපි හැමෝටම විශිෂ්ට කතාවක් තියෙනවා, හැබැයි ඒවා පරිච්ඡේද වශයෙන් පිළිවෙළට ලියවුණ කතාන්දර වාගේ වෙන්න ඕනේ කියලා නියමයක් නැහැ.
මම දන්නවා, අපේ කතාවේ ගතවුණ සෑම සියලු මොහොතටම අපිට එක වාගේ කැමති වෙන්න, ආශා වෙන්න බැහැ.

ඇයි කියලා කිව්වොතින්, මේ කතාවේ අපි ඉරලා දාපු, කුරුටු ගාපු පිටු ඕන තරම් තියෙන්නට ඇති.

පිටුවල අකුරු මැකිලා, පිටු කහ ගැහෙනකම් අපි ආයේ ආයේ පෙරළලා කියවන්න ආස වුණ පිටුත් ඕන තරම් ඇති.

හෙට උදේ මාව ඇහැරෙන්නේ නැතිව මැරිලා පලයන් හිතලා නින්දට ගිය දවස් වගේම,

අනේ, අද දවස ඉක්මනට ඉවර නොවුණා නම් කියලා දැනුණ දවස්, අපේ ජීවිතේ ඕන තරම් තියෙන්නට ඇති.


මේ කතාවේ කතා නායකයා වන ඔබ, නාඳුනන යුවලකගේ පළවෙනි හාදුව කියන විසිතුරු තුරු මුදුනෙන්, හුළඟට අහුවෙලා හෙමීට බිමට පා වෙලා ආපු පුංචි කොළයක්.

කොළය ආපහු ඇහිඳගෙන අහසට අල්ලලා බැලුවොතින්, කොළය පුරා විහිදුණු රුධිර-මස්-ලේ නාල ඔබට දකින්න ලැබේවි. ඔබ ආස කල, නොකළ හැමදේම ඔය පුංචි කොළය ඇතුළේ දකින්න ලැබේවි.

ඔබේ දෙපා නිර්මාණය වෙලා තියෙන්නේ ඇවිදින්නයි. ඉදිරියට වගේම පසුපසටත්, වේගයෙන් වගේම හෙමිහිටත්, ඔබ හිතන පතන ඕනෑම අයුරකින් ඇවිදින්නයි. යම් දවසක ඔය කකුල් ඇතුළේ තියෙන අස්ථි බිඳී යන්න ඉඩ තියේවි, හැබැයි හරි ඉක්මනට සුවපත් වෙන්නත් ඒවාට පුළුවන්, හරියට ඔබට වාගෙමයි.

දවසක තවත් ඇවිදගන්න බැරිව අස්ථි බිඳී ගිය යම් මොහොතකදී, හෙමින්, වේගයෙන්, ඔබේ සිතැඟි පරිදී ඔබ ගිය ගමනේදී ඔබට හමුවුන කවුරුන් හෝ කෙනෙකු ඉඳීවි, ඔබ ඇයට හෝ ඔහුට කතා කර වැලපේවි.

මැණික, හැම දේම හරියයි. හැම විශිෂ්ට කතාවකටම, මුලක් මැදක් වගේම අවසානයක් තියෙනවා, හැබැයි කියන අනුපිළිවෙලින්ම නම් නෙවෙයි.

ඔහු හෝ ඇය ඔබට නැවත නැවතත් මෙසේ මතක් කරාවි..


පරිච්ඡේදය 431: "...බොහොම ඉස්සර කාලයේ ජීවත් වුණ තරුණයෙකු සිටියා. දැන් ඔහු ජීවතුන් අතර නැහැ. නමුත් ඔහුගේ මතකයන් රැගත් ගස් වැල්, අදත් අහස උසට අතු සලමින් සුළඟට නටනවා. බිත්තියක් මත වැටුණු ඔහුගේ ඡායාව මැදිකර ඔහු ඇඳපු රේඛා සටහන, පාට මැකුණත් අදටත් බලාගන්නට පුළුවන්...."

පරිච්ඡේදය 001: "එකමත් එක කාලයක, පෙමින් බැඳුණ යුවලක් වාසය කළා. ඔවුන් එක්තරා රාත්‍රියක, ආදරයෙන් සිප වැළඳගත්තා. මොහොතේ පුංචි මල් පැළයක අංකුරයක්, ඇයගේ ගෙල අද්දරින් හරි ලස්සනට මුල් ඇද්දා..."

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න.

(Phil Kayeගේ Beginning, Middle & End කාව්‍යය ඇසුරෙනි)


Related Posts Plugin for WordPress, Blogger...