Tuesday, April 9, 2019

අ යන්න! කියන්න ලොවටම ඇහෙන්න!!


මගේ නම කුමක්දැයි අසන ප්‍රශ්නයට පමණක් දෙවෙනි වෙන, මගෙන් මීළඟට වැඩිපුරම ඇසෙන පැනයක් තිබේ නම් එය “ඔය අදහස් ඔළුවට එන්නේ කොහෙන්දැයි” මගෙන් අසන ප්‍රශ්නය විය යුතු ය. බොහෝවිට ඔය ප්‍රශ්නය මුලින්ම පැන නැගෙන්නට ඇත්තේ අම්මාට ය.

දවස මට අකුරු කියවූ දිනය ය. අකුරු කියවීමේ සුබ කටයුත්තට අන් කිසිවෙකුට ආරාධනා නොකරම තමන්ම එය සිදු කිරීමට තීරණය කර තිබුණේ අම්මා ය. ඉතින් සුබ මොහොතින් දරුවා ද හෝඩි පොත ද ලං කරගෙන අයන්නට ඇඟිල්ල තබා “අ යන්න” යැයි කියා තිබුණේ  මගෙන් ද ඒ දෙය පුනරුච්චාරණය වෙතැයි බලාපොරොත්තුවෙන් ය. “අ යන්න” යැයි කීම කෙසේ වෙතත් “කියන්න ලොවටම ඇහෙන්න” යනුවෙන් මිස “අ යන්නක්” නම් මා ලවා කියවා ගැනීමට අම්මාට එදා හැකි වී නැත!

අකුරු කියවීම එසේ ‘කොට-උඩ’ ගිය ද, පළමුවන වසරට බාරදෙන විටත් මට හොඳින් භාෂා දෙකම කියවීමේ සහ කතා කිරීමේ හැකියාව තිබිණ. සියල්ලන් තතන තතනා හෝඩිපොත හඬ නගා කියවද්දී මා කිසිදු ගැටලුවක් නොමැතිව ශබ්ද නොනගා කියවීමේ හැකියාව ළඟා කරගෙන තිබූ බව මට මතක ය. පාසලේ දෙවන වසරට එළඹෙන විට මා බලා සිටින්නේ ඉරිදා සිළුමිණ නිවසට පැමිනෙණ තෙක් ය. ඒ රසඳුන අතිරේකයේ තිබූ “බුවාලන්තයේ සිට” ලිපියත්, පුන්කළසේ තිබූ නෙළුම් විල පාඨක ලිපිවල තිබූ රස කතා සහ තේරුණ බවක් සිතුවත් තේරුම්ගොස් නොතිබූ කෙටි කතාවත් කියවීමටත් ය. බුවාලන්තයේ බුවාලාගේ සහ බුවීලාගේ කතා රස වින්ද ද, බැලූනයක් වෙන්නට ඇතැයි සිතා සිටි බුවාලන්තයේ ලෝගෝවේ තිබුණේ හුලං ගසා පුම්බන ලද ලංකා සිතියමක් ඔළුවෙන් හිටුවා බව මා තේරුම් ගන්නා විට මා සිටියේ තුන වසරේ ය. එකී සොයාගැනීමෙන් පසුව බුවාලන්තය යනු අපේ ලංකාවම බව මට ටිකෙක් ටික තේරෙන්නට ගත් හැටි මට මතක ය. මගේ ‘ෆේමස් ෆයිව්’ පොත් එකතුව එකතු වීමට ඇරඹෙන්නේ දෙක වසරේ සිටියදීම ය. පසුව මට අනගිරත්නයන්ගේ ‘නරලොව හොල්මන්’ ද Roald Dahl හමු වූ දවස ද මතකය, එතැන් පටන් මගේ ජීවිතය ෆුල් මාවලස් ය!

මගේ නිවසේ රූපවාහිනී බලන මිනිසුන් අවසන් වරට සිටියේ 1998 අවුරුද්දේ ය. රූපවාහිනිය ලංකාවට පැමිණි මාසයේම වාගේ අප්පච්චී මිලට ගත් එම රූපවාහිනී යන්ත්‍රය කැඩී ගිය පසු කිසිවෙකු එය යථා තත්ත්වයට පත් කිරීමට උනන්දු වූයේ නැත. ඉන් අවුරුදු 14ක් ගත වෙන තුරු නිවසේ රූපවාහිනියක් නොවූ අතර, 2012 දී නිවසට රූපවාහිනියක් ගෙන ආ පසුව ද රූපවාහිනී රසිකයන් අපේ ගෙදර සිටියේ නැත. රූපවාහිනියේ නික්ම යාමේ පටන් ඒ අඩුව පිරවූයේ රේඩියෝව ය. සැමදා සවස ස්වදේශීය සේවයේ ළමා පිටිය ද, හවස හතට කවි නිසදැස් සමගින් එන ස්වදේශීය සේවයේ 'එළිවැට' ද, බදාදා ලක්හඬ ගුවන් විදුලියේ මුවන්පැලැස්ස ද අප්පච්චීගේ ටේප් රෙකෝඩරයේ රෙකෝඩ් කිරීම මගේ පුරුද්දක් වී තිබිණ. වයස අවුරුදු දා හතක් වන තුරුම මගේ මනසට ලැබුණු සියලුම දත්ත ලැබුණේ අකුරු සහ ශබ්ද ලෙස ය. සියලුම “රූප” මට ලැබුනේ දෑස්වලින් නොව එම අකුරු සහ ශබ්ද ඔස්සේ මෙහෙයවූ සිතුවිලි ඔස්සේ ය. ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ “කොළඹ ආනන්දයේ ළමා ශිල්පීන්” යනු මට ඒ කාලයේ රෝල් මොඩල් ය, මා ආනන්දයට පැමිණෙන්නට ඒ ද එක හේතුවක් බව කිව හැකි ය.

පාසලේ හත වසරේදී මට හුරු වූ අපූරු පුරුද්දකි. විවේක කාලයට සීනුව වදිදීම පන්තියෙන් මාරුවන මා නැවත පන්තියට එන්නේ හය වැනි කාලච්ඡේදයේ මැද ය. එතෙක් ඕල්කට් පුස්තකාලයට වී දිනයේ සියලුම පුවත්පත් කියවා, හෙල සිසු හවුලේ සහ මුවර් ගොඩනැගිල්ල පාමුල දහය ශ්‍රේණියේ පන්තියකින් පවත්වාගෙන ගිය බිත්තිපුවත්පත ද යවත්කාලීන වී ඇති නම් ඒවා ද කියවා පැමිණීමට මම පුරුදු වුණෙමි. මේ පුරුද්ද නිසා නවය වසරේ සිටියදී දිනක් මා ගුටි කෑමෙන් ගැලවුනේ, විවේක කාලයේ සියලුම සිංහල මාධ්‍ය පන්ති එකතු වී මුවර් ගොඩනැගිල්ලේ හතරවෙනි මාලයේ තිබූ අපේ පන්තියට අම්මා මෝ නැතිව පහර දී, බත් පාර්සල්වලින් සහ වතුර බෝතල්වලින් ද දමා ගසන අයුරු පහල ඕල්කට් පුස්තකාලයේ කොරිඩෝවේ හිඳ බලා සිටීමෙනි. අපේ උන් ද පන්තියේ දොර වසා දමා, පසුව දොර මදක් ඇර, ඒ කුඩා ඉඩකඩෙන් රිංගා ගැනීමට වෙර දරන දහයක් පහලවක් අනික් උන් අතරින් එකෙකු බෙල්ලෙන් ඇද ඇතුළට දමාගෙන ඌට හොඳ හැටි සලකා, නැවත දොර ඇර එළියට දමා තව එකෙකු ද ඒ අයුරින් ඇතුළට ඇදගන්නා සංදර්ශනය මම පහත සිට හොඳ හැටි රස වින්දෙමි!

පුස්‍තකාලයේ තිබී අහම්බෙන් හමුවන “කුණුහරප පොත්” ගැන පුස්තකාලයාධිපති දැනුවත් කරන්නේ ඒවා හොඳ හැටි රස විඳ, උපුටාගත් රසබර තැන් අනෙක් සගයන්ට ද පෙන්වා බෙදා ගැනීමෙන් අනතුරුව ය. ඒ වර්ගයේම හමුවූ “ගෙදර බුදුන්” නම් රසබර පොතක් පාසල් වේලාවේ තලු මරමින් සිටියදී කවුදෝ තලත්තෑනි කටහඬක්  කෑ ගසනු මට හීනෙන් මෙන් ඇසිණ.

“ඕයි! ඕයි ගෙදර බුදුන්!! ඕයි ගෙදර බුදුන්..!!!” මම නිකමට වාගේ හිස එසවීමි. මුලු පන්තියේම නැගිටසිටි කොල්ලන්ගෙ සුදු කොට කලිසන් පස්සා අතරෙන් ගුරු මේසෙට එහා පැත්තෙ හිටගෙන උන්න රණසිංහ සර් මගේ මූණට රවනු පෙනෙයි. කොල්ලෝ මා දෙස හැරි හැරී බලමින් සිනාසෙති. මම පන්තියේ අන්තිම පෝලිමේ තනිවී කකුල් දෙක ද උඩ දමාගෙන හරි බරි ගැසී ‘ගෙදර බුදුන්’ගේ දුව චීත්තය උණා එරමිණියා ගාලක වනා වත්තේ මහත්තයා සමග හැමිණෙන අයුරු අසූ එක්වෙනි වාරයටත් කියවමින් සිටියෙමි.........

අදටත්, ශරීරයෙන් මෙතැන සිටිය ද මගේ සිහිය තියෙන්නේ සැතපුම් සිය ගාණනක් එහා වෙනම මනස්ගාත ලෝකයක ය. මා කුඩා කාලයේ තොරතෝංචියක් නැතිව ඇසූ හැම පැනයකටම, අම්මා වාගේ "ඔව්වා ඔයාට තේරෙන්නේ නෑ" නොකියා, ලබා දිය යුතු නිවැරදිම පිළිතුර ලබා දෙමින් කිසිදු විටෙක මගෙන් වෙහෙසට පත් නොවූ අප්පච්චි වාගේම, සෑම විටම සිත සිතා ඉන්නට යමක් මගේ ජීවිතයට එකතු කල කියවූ සෑම අකුරක්ම ඊට හේතු වූවායැයි මම කල්පනා කරමි. පාසල් කාලයේදී සිංහල භාෂාව වෙනුවෙන් වූ සම්මානය දිනා ගත් මා දන්නා එකම ඉංග්‍රීසි මාධ්‍ය සිසුවා වීම, කලා විෂයන් වාගේම විද්‍යා විෂයන් ද ආනන්දයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ඇගයීමට ලක්වීමේ තැන පටන්, අදට ද මගේ වෘත්තිය ජීවිතට පදනම් වී ඇත්තේ මා ජීවත්වන හිතනලන්තය මිස, උසස්පෙළ සිට මා තෝරාගත් විද්‍යා විෂයන් හෝ කාගේ හෝ විෂය නිර්දේශයකට අනුව ඉගෙනගත් කිසිම දෙයක් නිසාවෙන් නොවන බව මම සිතමි. බොහෝ දෙනාගේ කුතුහලයෙන් පිරී ගිය, සෑම දෙයම ප්‍රශ්න කෙරෙන කුඩා දරුවා බොහෝ අඩු වයසකින් මියැදෙද්දී, දෙමාපිය ගුරුවරුන් එකතු වී මරා දමද්දී, මගේ කුතුහලය බිඳකුදු අඩු නොවී රැඳුනේ, අදටත් සෑම සියලු දෙයම ප්‍රශ්න කරන්නේ මේ හේතූන් නිසා වන්නට ඇති බව මම තරයේ අදහමි.

මිනිසුන් විවාහ වන්නේ සහ දරුවන් ලබන්නේ ඇයි දැයි යන්නට තවම සාධාරණ පිළිතුරක් මා සතුව නැත. නමුත් එවැනි සිතුවිලි ඇති බොහෝ දෙනෙකුට අවසානයේ සිදුවන අයුරින් දිනෙක බලාපොරොත්තු නොවූ ලෙස මා ද දරුවෙකුගේ පියෙකු වුවහොත්, ඌට මා මෙන් වන්නට යැයි බල නොකරන නමුත්, කැමති නම් මං වාගේ වෙන්නට ඕනෑ පසුබිම ඌට සලසා දෙන්නෙමි යි මම කල්පනා කරමි.  ඌ ද කවුරුන් හෝ “අ යන්න” කී විට එයම නැවත නොකියන, “කියන්න ලෝකෙට ඇසෙන්න” යැයි කිව හැකි අවුට් ඔෆ් ද බොක්ස් එකෙකු වේ නම් මම ඊට ඇලුම් කරමි. මිනිසුන් උපදින්නේ අවුරුදු විසි පහේ සිට මියෙන තුරු උදේ සිට රෑ වන තුරා කාර්‍යාලයක ජීවිතකාලය ගත කීරීමට නොවන බව ඌ ද තේරුම් ගතහොත්, ඊට වඩා සතුටක් තවත් මට නොමැතිබව ද දනිමි.

4 comments:

  1. එක නැට්ටේ දෙහිද මන්ද.... එමමයි!

    විද්‍යා විෂයන් වලින් ඉගෙනගත්තට සිංහල කළා අංශයේ තරඟ වල හිටියා... කළා අංශයේ හිටපු අංශාධිපතිනිය අමුතු ගැට්ටක් දාගෙන විද්‍යා අපිට එන්න නොදුන්නා නම්, මේ වෙනකොට තව දේවල් කරන්න තිබ්බා.

    ඇත්ත! ඒ මතක වගේම අත්දැකීමුත් අපිව මුවහත් කරනවා. කවදාහරි දරුවන්ට කියන්න තියෙන්නෙත් ' ගණන් ගන්න එපා.. ඔයා හිතන්න නිදහසේ' කියලා තමයි. නමුත් මට නරක අත්දැකීම් තියෙනවා.

    මෙහෙම ලියන එක හොදයි.

    ReplyDelete
  2. මේ වචන තුළ මැවෙන චරිතෙයි මායි අතර පුංචි පුංචි සමාන කම් තියෙනවා

    ReplyDelete
  3. සිරා කතාව බං. පට්ටම වෙනස් ෆීල්ඩ්ඩ්ඩ් එකක කරක් ගැහුවට අදටත් සිංහල, ඉන්ගිරිසි දෙකෙන්ම ලියන්න මාව ඇබ්බැහි කෙරෙව්වේ මේ කියවිල්ල. ආච්චි අම්මාලා දෙන්නම මං පොඩි කාලේ පෙන්ෂන් ගිය ගුරුවරු වෙච්චි, ඒ අපූරු චරිත මට කියවීම ඇබ්බැහි කළා!

    ReplyDelete
  4. මං වගේ මොළේ කොලොප්පං එවුං මේ ලෝකෙ තව ජීවත් වෙනවා කියලා දැනගත්තම හෙන මෙව්වා එකක් හිතට එනවා!

    පොඩි කාලෙ ඉදන් බුවාලන්තයේ සිට එකතු කරගෙන තාම ඉඳහිට කියවන මොංගල් පොරක් වෙච්ච, ටීවී බලනවා වෙනුවට මැටිල්ඩා පොත් කියෙව්වා වගේ වැටිච්ච වැටිච්ච තැන්වල වාඩි වෙලා පොත් කියවපු මට නිකං නැති වෙලා හිටපු නිවුන් සහෝදරයෙක් හම්බුණා වගේ හැඟීමක් ආවා මේක කියෙව්වම!

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...