Thursday, August 29, 2013

නොඑනු මැනවි ගිම්හානය- Aging! you aren't welcome!



වසන්තයේ හිමිදිරියට
පිණි වැස්සෙන් අලුත් වෙලා
තණ ගොල්ලේ පිපෙන කුසුම්
යලි නොඑන්න පිටත් කරන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



නිසංසලේ සැරි සරන්න
ගිරා මලිති කැන්දන් එන
වසන්තයේ අතු අග ඵල
අවසන් කර උන් යවන්න
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න


නිවන් සදන කණ පිනවන
සනසන අප සිත නලවන
කොවුල් නාද සැම අගයන
නිහඬ ලොවක තනි කරවන
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



රතු පාටින් එරබදු මල්
ගෙමිදුල සැරසු මතකය
ඈත් කරන් එරබදු කටු
අප දෙදෙනට පෙන්වන්නට
ගිම්හානේ කටුක කිරණ
අපෙ මිදුලට එපා එන්න



ගිම්හානේ කටුක කිරණ
අපෙ වත්තට එපා එන්න
ඈත් වෙලා යමින් ගමන්
වසන්තයට අත වනන්න
වසන්තයට රැඳෙනු නොදී
එන්න එපා මෙහි රැඳෙන්න

 _________කරූ_________



Sunday, August 25, 2013

වැව් ඉස්මත්ත-මගේ පලවෙනි කෙටි කතාව.


  බැස යන්නේ හිරුදැයි ,නැතිනම් කැරකෙන්නේ ලොවදැයි නොදනිමි.. කෙසේ හෝ හිරු අවරට හැරී ඇති මොහොතකි.හැර යන්නේ හිරු වුවද කැරකෙන්නේ ලොව වුවද කම් නැත,කාලය වේගයෙන් ගලා යනු ඇත.ගලා යන කාලය සන්තතික වුවද,විවික්ත වුවද,එයට ගලා යාමට ඉඩ දුන්නද නොදුන්නද එය ලිස්සා යයි. ස්ථානය කපුටන් ගැවසීගත් ගංගාරාමයයි. බේරේවැව දෙසින් හමා එන පුසුඹ පසෙකලා තමන්ගේ කතිකාවතෙහි යෙදීමට උත්සහගත් දෙපළකි.ඔබත් මා සමග අසල බංකුවකින් වාඩි ගන්න. 'ඔහු' හා 'ඇය'ට නුදුරින්.



"මොකද කතා නැත්තේ?"

"කල්පනා කරනවා.."
   ඔහු ඉවත බලයි..

"මොනවද ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ"


"කල්පනා කරන්නද දේවල් නැත්තේ දරුවෝ"
  ප්‍රශ්නයකි, ප්‍රශ්නයකි.

අසලින් කොට කලිසමක් හැඳි මහල්ලෙක් දුවයි.කනේ ජන්ගමයකට වයර් ගසා ඇත.කට ඉංගිරිසියෙන් පොපියයි,
බඩු තුන්ඩුවක් අසාගන්නා අයුරකි.
ඔහු ද මහල්ලා දෙස බලා සිටියි.

"අපේ මිනිස්සුන්ට මක් වුනාද මන්ද.."
 ඇය ඔහු දෙසට හැරෙයි..

හ්ම්..

නිහඬතාවයකි..


"සුද්ද රට දාල ගියේ කළු සුද්දෝ ටික මෙහෙ දාල නොවෑ"
ඔහු නිහඬතාවයට සමුදෙන්න කල්පනා කළ සැටියකි.එහෙත් තවමත් දෑස් රැඳී ඇත්තේ කොහේදෝ අනන්තයක ය.

"ලඟදි මම ගියා අම්මත් එක්ක කඩේකට."
 ඈ  කතා පෙට්ටිය විවර කිරීමට සැරසෙයි.ඔහු තවමත් කල්පනාවේ නිමග්නය.


"එතනට ඇවිත් හිටියා ගෑනු කෙනෙක්.ඈත හිටිය පොඩි එකාව ලඟට ගෙන්න ගන්න කතා කළා කම් දෙයාර් කියල."

ඔහු ඇයගේ මුහුණට එබෙයි.ඇය එකී ගැහැණියට සිනාසේන්නේදැයි බැලීමට විය යුතු ය.


"දන්නා සිංහලෙන් නැතුව නොදන්නා කෙහෙල්මල් තමා මිනිස්සු කරන්නේ.මට ලඟට ගිහින් කියන්න තරම් කේන්තියක් ආවේ"..
ඇය වේගවත් වෙයි.. මුහුණේ රැඳී ඇත්තේ කේන්තියකි.ඇයද ඔහුටම දෙවෙනි නොවේ.

"හරි ඉතිං,ඕක කම් හියර් කියලම කියන්න ඕනෙද?ළමයට තේරුනා නම් කිව්වේ
ලඟට එන්නයි කියල ඒ මදෑ.."කියන්නා කෙසේ කීවද ඔහුගේ පිළිවෙල තර්ක කිරීම බව මට හැගින..


"තේරුනා නම් ඇති තමයි,ඒ වුනාට මම කියන්නේ හරියට භාෂාවක් පාවිච්චි කරන්න බැරි නම් බස නසන්න නෙවෙයි,දන්නා බාසාවක් පාවිච්චි කරන්න ඕනේ කියලයි."


"භාෂාව හරියට ජීවියෙක් වගේ ළමයෝ.ඌ පරිනාමය වෙනවා. භාෂාව පරිනාමය වෙන්නේ වැරදි කරන්න කරන්න තමයි.වැඩියෙන්ම ඉංග්‍රීසි වගේ බාසාවක්.මීට අවරුදු සීයකට කලින් බලපුවාම තිබ්බ ඉන්ගිරිසියයි දැන් තියෙන ඉංගිරිසියයි අතරේ කොච්චර වෙනස්කම් තියෙනවද?ඒ අතින් බලපුවාම සිංහල වෙනස් වෙන්නේ බොහොම හෙමින්.ඉංගිරිසි වගේ බාසාවල එකම වැරැද්ද වැඩි දෙනෙක් කරන්න කරන්න ඒ දේ හරි දේ බවට පත් වෙනෝ" ඔහු එක පයින් ඇයගේ කීමට එකඟ නොවුන සැටියකි.

"ආ යූ ගේ?" ඈ ඔහුගෙන් විමසයි.ඔහු සිනහසෙමින් ඇයගේ කොන්ඩයෙන් ඇදීමට උන් තැනින් මෑත්ව ලං වෙයි.
"යෙහ් අයෑම්! බට්, අයි මීන් ඉන් ඕල්ඩ් ඉංග්ලිෂ්.." දෙදෙනාම සිනාසෙති.



කුරුල්ලෝ ඈත අහසේ ඉගිල ගොස් එහා ඉමකින් හෝ ගොඩනැගිල්ලකින් වැසී අතරමං වෙති.යුවලක් කුඩා සිඟිත්තකු සමග හංස බෝට්ටුවකින් සවාරියක් යති. ඔවුන්ගේ මුව සිනා කැන් පල දරයි. ඈ ඒ දෙස බලා සිටින්නීය..ඒ බෝට්ටුව කෙතරම් දුරින් ඇත්දැයි ඇය සිතින් සිතනවා විය යුතුය.ඔහු තොල් විකාගෙන තවත් මනෝ ලෝකයක ය. හදිසියේම ඔහුට ඇ'දෙස බැලීමට මතක් වෙයි.



"ඇයි ඔයා කඩුවට ඔච්චර බැන බැන කඩ්ඩ මීඩියම් කරන්නේ?"

"ඇයි ඔයත් කලේ එහෙනම්?"

"ඉතින් මං අතැරියනේ ළමයෝ.."  ඔහු දිනන්නට සැරසෙයි..

"හරි ඉතින් හය අව්රුද්දක් කලේ?"

"කළා තමයි,හැබැයි දැනුමක් ගන්න. හය වසරෙන් මට හම්බුන මිස් කෙනෙක් ලස්සන කතාවක් කිව්වා.
උඹලා මගෙන් මේක ඉගෙනගනිල්ලා ළමයිනේ,කවද හරි අපේ කම ලෝකෙට පෙන්නන්න ඕන උඹලා,අන්න එදාට මේක උඹලට ඕනේ වෙනවා.
මේක අපේ බාසාව නෙවෙයි තමා.හැබැයි මේකෙන් අපේ කම ලෝකෙට ගෙනියපල්ලා.."

"ආපෝ.. ඔය පිරිමි ඉස්කෝලවල ටීචර්ස්ල ඔහොමම වෙන්නැති ළමයින්ට කතා කරන්නේ."

"එහෙම තමා,ඒ ෆිට් එකට.
අනික ඒ මිස් අපිට හරි  ආදරෙයි."

ඇගේ මුව ගොලුවෙයි.. එහෙත් ඇය සිතින් නිහඬ නැති බව ඔහු හොඳාකාරවම දන්නවා විය හැක..
ඈ ගැන මෙවැනි කවක් ලිව හැකි කෙනෙක් ඈට ලැබුනා නම්....

නෙතු අද්දර නිහඬ සිතුම් වදන්                  ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට              ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස                    ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ              ඉන්න


"පැටියෝ.. මුනාද අනේ කල්පනා කලන්නේ.."
මට මහ පුදුමයක් දැනුනි.මෙවැනි පද මොහුට හුරු වුයේ කෙසේද?
එහි ලතාවක් තිබිණි. පොඩි එකෙක් හුරතල් කරන්නා මෙනි.


"හිතට මහා බරක් දැනෙනවා පණ.."
මගේ පැනයට පිළිතුර එහි තිබුණි.


"මම දන්නවා දරුවෝ,මට ඒක දැනෙනවා"

"අපි දෙන්න රණ්ඩු නොවෙන්නේ දේශපාලනෙයි,සමාජ ක්‍රමෙයි,ඉතිහාසෙයි කතා කරන්න ගියාම විතරයි.."
"මට දැනෙන දෙයක් තමයි,අපි දෙන්නට කවදාවත් ලෝකේ හොඳම කපල් එක වෙන්න බෑ,
හැබැයි ලෝකේ හොඳම යාළුවො දෙන්න අපි වෙන්න ඇති"

"මම දන්නවා වස්තුවේ,මම දරදඬු වැඩියි ඔයාට.. මට කල් දෙන්නකෝ..
මගේ වැඩ එක්ක හිත කරදරෙන් තියෙන්නේ.. ඉක්මනින් මේ දේවල් ඉවර කරන්නම්.."

ඈ ඉවත බලා ගත්තා ය.
රණවිරු  සේවා ආපන ශාලාව අසල සිටින  කුඩා දරුවෙකු දෙස ඈ ආසාවෙන් බලා සිටියි.
ඌ විටෙක වැටෙයි.හිතලාද වැටෙයි.
ඌ ඇවිදින වයසේ එකෙකි.ඇවිදින්නේ වයස නිසා නොව වැටි වැටි ඇවිද්ද නිසා ය.
පියා දුව විත් ඌ ඔසවාගෙන මව වෙත ගියේය.ඈ දරුවාට කන්න දෙයක් තෝරයි.

"මම කැමති නෑ ඔයා ගොඩක් ප්‍රසිද්ද වෙනවට,ලොකු සල්ලි කාරයෙක් වෙනවට?
ඔයා පන්නන්නේ ඒවා පස්සේ නෙමෙයි තමයි.ඒත්..
ඔයා කරන දේවල් නිසා ඒවත් වැඩිපුර එන්න ඉඩ තියෙනවා..
ඒවත් එක්ක,උවමනා කම් වැඩි වෙද්දී,තව තව මදි වෙද්දී..
ලස්සන ජිවිතයක් කියන එක අපෙන් ඈත් වෙයි.."


"මට ඕනේ සරල මිනිහෙක්..
ලොකු මිනිහෙක් නෙවේ.."


"හ්ම්ම්.."
 සුසුමක් බෙරේ වැවේ රැලි නංවමින් ඈතට ඇදී ගියේය..

"මේ බලන්න මගෙ දරුවෝ..
අපි මේ ලෝකෙට ඉපදුනේ මොකක් හරි වැඩකට..
ඒ දේත් කරන්න ඕනේ,අපේ ආසාවල් වගේම.."

"අපි මේ එන්නේ පරණ කතාවකටමයි කරූ..
බලන්න? අර ඉර බැහැගෙන යන ලස්සන?"


බේරේ වැව් රැලි තපහ් තපහ් හඬින් ගල් බැමි ඉවුරේ වදින්නට විය..
වැව් ඉවුර මත කෙතෙක් ගැටුනද,වැව කිසිදා පිටාර නොගලනු ඇත.
කිසිදා..

ඔවුහූ නැගී සිටියහ.. අත් වැල් එකිනෙක පැටලින.
ඈ ඔහුගේ උරහිස මත හිස හොවාගත්තා ය.
මම බංකුව මතම දෑස් පියාගතිමි.

මෙතෙක් වෙලා ගෙලේ එල්ලෙමින් පැවතුන ඉයර් ෆෝන් දෙක මම කණේ රුවා ගතිමි.
ගීතයක් එහි මැදින් වාදනය වමින් පැවතින.

අර ගැටුම්.. මේ නැටුම්
බත ඉදෙනකන් විතරයි..
ඔය හැඬුම්.. ඒ දෙඩුම්..
රෑ එළිවෙනකොට ඉවරයි..
තෝරාගත්තේ ඔබව මං..
ඉන්නමයි ඒ වාගේ..
හරිම සරලව කිව්වොතින් නම්
ඔබට මං හරි....
ආදරෙයි...

ඔය නුවන්..මේ සවන්..අහන දකිනා ඒවා..
හොඳ හිතින්.. එක හිතින්..
කරන කියනා දේවල්..
විසදමු අතිනත් බැඳන්..ඉන්නමයි ඒ වාගේ..
පැහැදිලිව තව කිව්වොතින් නම්
අපිට අපි හරි..ආදරෙයි...

මම දෑස් විවර කලෙමි.ඔවුන් තවමත් පෙනෙන මානයේය.
ඔහු ඇයගේ බඳ වටා අතක් යැවීය.ඈ තව තවත් ලං වුවාය.
හිරව තිබූ සුසුමක් පිටකර හැරීමි.

මහල්ලා තව වටයක් මා ඉදිරිපිටින් නොනැවතී දිව ගියේය.

                                                                                         -කරූ




පසු වදන:
කණා මැදිරි එලි-අනුරාධා පෙරේරා.mp3


සිහිපත් කෙරුම:

  • මගේ අම්මා..


  • ඉංගිරිසිය කියා දුන් බොහෝ ගුරුතුමන් අතරේ ඉංගිරිසිය මොකටදැයි කියා දුන් ජයේශ්මී ගුරු මෑණියන්


  • ජිවිතයේ නුදුටු සමහර පැති ආදරෙන් පෙන්නා දුන්,සොයුරියත් මිතුරියත්,සෙවනැල්ලත් සේ ළඟ සිට,මගේ රටේ නැති වැඩ ඉවසා සිටින,  ඇය- "මල් ගී" .


:)

Friday, August 23, 2013

ආ ගිය කතා-අල ගිය තැන් හෙව්වෙමි.

කාලෙකින් බ්ලොගේ මකුළු දැල් කඩාගෙන අලුත් බෝඩ් ලෑලි කෑල්ලක් එල්ලන් ආවට මොකද ගොඩක් දෙනෙක්ට මාව අමතක වෙලා තිබ්බේ නෑ. ප්‍රෝපයිලෙට අල්තයීර් කියලා කෑල්ලක් ඔබන් නමත් වෙනස් කරගෙනයි දෙයියනේ කියලා ආයෙත් වැඩ ඇල්ලුවේ.හෙන්රි බ්ලොග් කරක්ගසන්නා ද ඩූඩ් අයියට,සෙන්නාට වගේම ධාරාට,රෙහානිට,දේශකයාට  එහෙමත් මාව මතක තිබුනා ඔන්න. කට්ටියටම තැන්කිව් ඈ. හහ්! මං වගේ එළ කොල්ලෙක් එහෙම අමතක වෙනවද.

ලස්සනම වැඩේ තමයි මේක. බුකි ප්රෝපයිල් එකේ උන්න ලොල්ලෙක් තමයි මුදියා නොහොත් සමියා.වියාකරනානුකූලව හරි වගේ පෙනුනට මම කල්පොනා කලේ මුදියා වෙනයිද සමියා වෙනයිද කියලා. පස්සේ පස්සේ ඉව වැටුනා මේකා බ්ලොගක් ලියන එකෙක් තමයි හැංගි හැංගි වෙස් බැන්දට කියලා.ඔන්න ඊට පස්සේ සමියාගේ බ්ලොගේට මගෙනුයි මගේ බ්ලොගේට සමියාගෙනුයි කොමෙන්ටු එක දෙක වැටෙන්න ගත්තා.කස්ටිය දන්නවනේ කොමෙන්ටුවක් වැටුන පමාවෙන් මේල් කට්ටක් එනවා කියලා! ඔය මේල් කට්ට උඩ නිකමට කෙටිලා මට සමියාගේ G+ එකවුන්ටුවට යැවුනා!



දෙයියෝ සාක්කි!


මෙච්චර කල් "නුදුටු මිතුරු" කියල හිතන් ඉඳල තියෙන්නේ අට අවූරුද්දක් දන්න එකෙක්ව!

ධාරාට මතකද දන්නේ නෑ මම මේ ලඟදි කොමෙන්ටුවක් දැම්මා අපි හිච්චි කාලේ පොත් කියෝපු හැටි ගැන.මේ ඉන්නේ අපේ ඒ කාලේ පොත් ගැන්සියේ බුවෙක්! අපිට වඩා අවරුදු දෙකක් වැඩිමල්.සෙට් එක සෙට් වෙන්නේ ඉස්කෝලේ ඇරුනම ඉස්සරහ ගේට්ටුව ගාව බංකුවට.මම ඉන්නවා 3ට අම්මා එනකන්,මොකෝ අම්ම වැඩ කලේ ටිකක් ඈත ඉස්කෝලෙක නිසා එන්න පරක්කුයි.මට ඒ කාලේ තනියම පාරේ යන්න දුන්නේ නෑ කියන්න බෑ ඕයි ලැජ්ජයිනෙ. කොහොම හරි මේ සෙට් එක ඉස්කූල් වෑන් එනකන් ඉද්දි මාත් ඉන්නේ උන් එක්ක තමයි.මේ ගැන්සියේ උන්නා මේ ලොකු සමියා සහ අපේ වයසේ පොඩි සමියා,නිලංජන,රුතාශාන් සහ මම.සමියලා වගේම චමියාගේ තාත්තත් උන්නා අපි එක්ක චමියා එකනක්.මේ අතරින් රුතාශාන් පහු ගිය වසරේදී අපි අතරින් සදහටම සමුගත්තා. නමුත් කරපු ආතල් වැඩ නිමක් නෑ,දැන් මතක් උන එකේ ඊගාව පොස්ටුවලින් කොටන්නම්කෝ. කව්රු කොහොම කොහේ විසිරිලා ගියත් අපි සෑහෙන පොත් කන්දක් කියෝගත්තා මේ හවුල නිසා.බිගල්ස්වර්ත්ගේ සෙට් එක,විලියම්,ඉනිඩ් බ්ලයිටන් ගේ පොත් ,ෂර්ලොක් හෝම්ස් සෙට් එක වගේම චන්දන මෙන්ඩිස්ගේ හොර සෙට් එකත්(ඒ කතාව පසුවට) එකක් නෑර පෝලිමට අපි කියෝගත්තා.කොහොමින් හරි අන්තිමට මේ සමියාව හම්බුනේ සෑහෙන කාලෙකට කලින්,ඉස්කෝලේ ලැබ් බිල්ඩින් එකේ කොරිඩෝ එකකදී.. "යන්නන් අයියේ" කියාගෙන දුවන් ආපු මට ඊගාවට මේ සහෘදයාව මුණ ගැහුනේ සයිබරයේදී.ඕං බලාපල්ලකෝ ඒකෙත් හැටි.

ස්ථානය: බුකිය

                                මුලින් සමීයා කියලා ෆේක් බුකි කාරයෙක් අඳුනගත්තා


                                 පස්සේ දැනගත්තා සමී කියලා බ්ලොගර් කෙනෙක්

                                                                                                                         ඊට පාස්සේ?
                                                                                                                                     :D

                                  දැන් තප්පර ගානකට කලින් ආපු මේල් එකක් රීඩිරෙක්ට් වෙලා දැනගත්තා                                             මේ අපේ ස්කූල් වෑන්  එක එනකන් ගේට් එක ගාව ඉඳන් කතන්දර පොත්                                                         ෂෙයාර් කරපු කල්ලියේ ***** අයියා කියල!

                                                     :O
                                       :D
                                                      මතකද ගයාන් නිලන්ජනවයි මාවයි!

                                                                                                                          හුටා!                                                                     :D


ඔන්න ඔහොමයිලු ඉතින් කතාව ගියේ.කැරකිලා කැරකිලා අන්තිමට සෙට් වුන පරණ යාළුකම්,සහෝදරකම්,කරපු කුපාඩිකම්, ජඩකම් ඔන්න දැන් අලුත් වෙලා. :D

ආපු ගමන් කරපු ගොන්  වැඩේනේ මොකද්දෝ මේ අල්තයීර් කෑල්ලක් ගහගත්ත එක. දැන් ඉතින් මං දිගාරින්නම්කො ඕකේ අල ගිය තැන් මුල ගිය තැන් ඔක්කොම.මොකෝ අපේ සෙන්නා "මොකද්ද බං මේ අල්තයීර් කියන්නේ" කියල ප්‍රශ්නාවලියක් අග අවසන් ප්‍රශ්නේ විදියට ඇහැව්ව නිසා හරියට කියන්න බැරි උනානේ.අල්තයීර් කියලා කියන්නේ ඔය ඇසැසීන්ස් ක්‍රීඩ් කියලා කොම්පීතර ගේමක ඉන්න බුවෙක්.ඉතිහාස කතා ඇසුරෙන් මේක නිර්මාණය වෙන්නේ.අල්තයීර්ගේ චරිතයට පසුබිම් උනා කියන්නේ 1200ගණන්වල මැදපෙරදිග උන්නයි කියන යුධ නායකයෙක්. යුධ නායකයෙක් කිව්වට මොකද සොල්දාදුවාගේ තැන ඉඳන් පටන් ගෙන තමයි මෙයා ඉස්සරහට යන්නේ පොතේ හැටියට.මේ කොම්පීතර ගේමේ ඉන්න චරිත ගත්තොතින් ඒ ඉන්නේ ඉතිහාස පොතේ ඉන්න චරිත සහ ඇත්ත නම්,නමුත් මේ අල්තයීර් සැබෑවක් උනත් මේ නම ඇත්ත යුධ වීරයාගේ නම නෙවෙයි.එක එක මෙහෙයුම්වලට දේශ දේශාන්තරවල එහෙම ගියාම ඕක එක එක විදියට සද්ද කෙරෙනෝ,අල්තයී..ර් කියලා ඇද..ල කියන්නේ ජෙරුසේලමේදීද කොහෙද.

කොහොමහරි මේ නම මට හරියන්නේ මේකයි.මං මෙහෙම උන්නට හරි රණකාමි යුධ කාමී යුධ සූරයෙක් කියල මුන්ට කියන්න හොඳ නෑ. ඉස්සරම කාලේ ,ඒ කියන්නේ 2011දී විතර මං බ්ලොග් කියෙව්වේ මේ සැම්සුන් කෝබි කට්ටකින්.බොහොම අමාරුවෙන් තමා දුක් විඳගෙන බ්ලොග් කියෙව්වේ ඒ කාලේ,ඉතින් කොමෙන්ටු එහෙම කොටන්න වෙන්නේ නෑ..සද්ද නැතුව එනවා-කියෝනවා-යනවා.ආයේ සලකුණක්වත් ඉතිරි නොකර යන්න මම හරීම දස්සයි නේද ඈ. නෑ! මේ අල්තයීර් කියන්නේ නිහඬ ඝාතකයෙක්! හා හා බය වෙන්න එපා මම මදුරුවෙක්වත් මරන්නෑ! ක්‍රීඩාවේදී අල්තයීර්ව ඉලක්කයට මෙහෙයවන්න ඕනේ ඉතාම නිහඬවයි.මේ ඇසසින්ලගේ ස්වභාවය තමයි තමන්ගේ ඉලක්කය සපුරාගත්තම මයිල්ගහක්වත් ඉතුරු නොකර නිහඬවම පිටවෙලා  යන එක. ඉස්සර මගේ බ්ලොග් කියවිල්ල වගේ තමයි!
ඉතින් මට නැද්ද බොලව් අල්තයීර් වෙන්න සුදුසුකම්! 

හහ්..!

අපේ සෙන්නා ඇහුවනේ කවුද බොලා මේ සුලොහිතයෝ කියන්නේ කියලා.. ඔන්න මං හදපු බඩ්ඩක් පෙන්නන්නයි යන්නේ. කියන්න එහෙම එපා මේක එක එක බුකි පේජ්වල කවරේ තියෙනවා දැක්කයි ය,ඒ හින්ද මම උස්සලයිය කියලහෙම.මං තමයි මේක හදලා බුකියට මුදා හැරියේ. බුකි පේජ් දෙක තුනක්ම මේක කවරේට එහෙම දාල තිබ්බා. මෙන්න මේ ඉස්කෝලවල ඉන්න කොලු රංචුවලට තමා සුලෝහිතයෝ කියලා ලේ වල පාටෙන් හඳුන්වන්නේ.


ඉතින් මාත් සුලෝහිතයෙක්.සුද්දට කණේ පාරක් ගහන්න හිතාගෙන,සතේ සතේ එකතු කරලා හදපු ඉක්කෝලෙක කොලුවෙක්.ලාම්පු තෙල් ගන්න පාරට ආපු ආච්චිත් ලාම්පු තෙල් ටික නොගෙන පුදපු සන්තකේම යටවුන ඉස්කෝලෙක කොල්ලෙක්.හතලිස්ගණන්වලදී ඉස්කෝලේ කොල්ලෝ ටික පාරට බැහැල එකතු කරපු රුපියල් හතලිස්පන්දහෙන් හදපු ලැබ් බිල්ඩින් එකේ අනුමාපන,විච්චේදන කරපු කොල්ලෙක්.පනස් අවුරුද්දක් ඉඩම්වල ණය ගෙව්ව ත්,රටටම එලිය දුන්න ඉස්කෝලෙකට යන්න වාසනාවන්ත වුන කොල්ලෙක්.ඉතින් හරිම ආඩම්බරයි. ඒ හින්දා මම මෙන්න මෙහෙම ලියල තිබ්බා මේ කටුඅකුල් ගොන්නක් මැද අමාරු ගමනක් ගිය ඉස්කෝල හතර පහ ගැන මට ගලපගන්න පුළුවන් වුන පද පේලි  ටිකක්.
අවසාන වශයෙන් මෙන්න දෙකක්.....

කොළඹ නලඳ උඩරට දම් රජ            සෙවණේ
ඇතුගල මලියදෙව් දකුණේ මිහිඳු            බලේ
සඟමිත් මියුසියස් පෙන්වන බොදු      සෙවණේ
වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ

එකසිය විසි හත් වසරක් නම          රන් දා
හැම හද තුලම ආනන්දය පැල්       බන් දා
නාලන්දයට පෙර මං පෙන්වා        සැම දා
අනද නලඳ නම් තුන් කල් මන      බැන් දා


ප.ලි.
මගේ draft දැන් එන්න එන්නම ගැබ්බරයි! කළල ගොඩයි,පෝෂණය කරන්න වෙලාව මදි. කොයි හැටි වෙතත් හෙට අනිද්දට "භාව සන්න සහිත-වැසිකිලි වරුණාව" බලාපොරොත්තු වන්න.!


-Altair෴
altair.ibn.la.ahad1190@gmail.com

Sunday, August 18, 2013

ආනන්දේ ගී රාවේ! ඇත්තටම ආනන්දේ ගැන සින්දු කීයක් තියෙනවද?

 
           
 ඕනෑම පාසලක පාසල් ගීය යනු එම පාසලේ අනන්‍යතාවය විදහා පාන්නක්.හැම පාසලකම නැති වුනත් බොහෝ පාසල්වල සතියට එක් දිනක් හෝ සතියට දින තුනක් පාසල් ගීය ගායනා කෙරෙනවාමයි. දිනපතා උදෑසන වතාවත්වලින් අනතුරුව පාසල් ගීය හා ජාතික ගීය ගායනා කෙරෙන අතලොස්සක් පාසල් අතර ආනන්දයේ නමටත් තැනක් ලැබෙනවා. ඒ අතරින් එදා සිටම ජාතික ගීයේ අඩක් නොව සමස්ත ගීතයම ගායනා කරන,මා දන්නා එකම පාසලත් ආනන්දයයි.

             ආනන්දය සතුව එවැනි නිල මට්ටමේ ගීත දෙකක් තිබෙනවා. ඉන් එකක් හැඳින්වෙන්නේ විද්‍යාලයීය ගීතය(school anthem) නමින්,අනෙක ආනන්දයේ ගීතය(school song) නමින් හැඳින්වෙනවා.මින් පාසලේ උත්සව අවස්ථාවන් සමාරම්භයේදී සහ උදෑසන වතාවත්වලින් අනතුරුව ගායනා කෙරෙන්නේ විද්‍යාලයීය ගීතය යි. ආනන්දයේ ගීතය වාදනය කෙරෙන්නේ පාසලේ අධ්‍යන කටයුතු අවසානයේ චත්ත මානවක ගාථා සජ්ජායනය කිරීමෙන් අනතුරුවයි.

           මීට අමතරව ආනන්දයේ සුවඳ විදහා දැක්වෙන අපූරු ගීත පෙළක්ම තිබෙනවා. අනදතා පාන,උද්දාමයේ ගීතය,ආනන්දේ අභිමානේ, ඉරහඳ පවතින තුරු හෙළ දෙරණේ  වගේම ආනන්ද නාලන්දා සුලෝහිත සහෝදරත්වය විදහා දැක්වෙන ආනන්දයේ නිර්මාණ වන සුලෝහිත රාවය,ආනන්දේ සෙවණේ වැඩි දරුවන්,සිංහයෝ අපි වගේම භාතිය හා ජනනාත් වරකාගොඩ ගායනා කරන ආනන්ද නාලන්ද විදු දෑලේ ගීත සුවිශේෂයි.ඒ අතරින් ආනන්ද නාලන්ද විදු දෑලේ ගීතය ශ්‍රී ලංකාවේම ප්‍රසිද්ධ ගීතයක් බවට පත් වුනා.අද බ්ලොග් පොස්ටුවෙන් මේ ගීත 10ම ගේය පද සමගින් වීඩියෝ පටය පල කරන්නයි බලාපොරොත්තුව.ඒ එක්කම කාලයා සමග අභාවයට ගිය ගීත කිහිපයක අංශු මාත්‍රීය තොරතුරු මට ලැබුනා,පසුවට ඒ ගැනත් පල කරන්නම්.

          ආනන්දයේ විද්‍යාලයීය ගීතය කියන්නේ ඉතාමත් සාඩම්බරනීය ගීතයක්.රණ බෙර රාවයක් අතරින් එන වේගවත් ගී පදවැල් සැබවින්ම ආනන්ද පලිහ මත අවිධරා සිටින සිංහ සලකුණ සිහිපත් කරවනවා.

                                                       
දින දින කිතු ගොස බෝ වී
වැජබෙනු අනද'ප මාතා //

සුදිලී ජය වී ලොවෙහී
සාදා දීලා සිප් සත හා
කලා ද විනේ ද පහදා..
එඩිතර සිංහල දරු කැල සදලා//

දින දින කිතුගොස බෝ වී
වැජබෙනු අනදප මාතා//

ලකෙහී බෝ ආනන්දේ පතුරා
අනද තෙරුන් සේ ලෝවැඩ සලසා//
පේවී සේවේ නිසා වෙසේවා
පමාද නොවෙමු තිලෝන දෙසු සේ..

දින දින කිතු ගොස බෝ වී
වැජඹෙනු අනදප මාතා..//




                   විද්‍යාලයීය ගීතය වේග රිද්ම ස්වභාවයක් ගත්තත් ආනන්දයේ ගීතයට ඇත්තේ ඉතාමත් නිවී සැනසුන බවක්.මේ ගීතය ලියවී තිබෙන්නේ ආදී ආනන්දයීය ,ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතාගේ පියා වන විමල් අභයසුන්දරයන් අතින්.එතුමා වසර කිහිපයකට මත්තෙන් අප අතරින් සමුගත්තද, ආනන්දය පවතින තුරාවට මේ ගීය දිනපතා සවස වාදනය වද්දී ඔහුව අනුස්මරණය වේවි..තනුව සහ සංගීතයෙන් මේ ගීතය රසවත් කලේ අනිල් මිහිරිපැන්න මහතා යි.





ආනන්දේ අද ආනන්දයි

                                   ආනන්දය ගැන කියවෙන පැරණිම ගීත අතරින් පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේවයන් සහ කණ්ඩායම ගායනා කරන ඉරහඳ පවතින -තුරු හෙළ දෙරණේ  ගීතය සුවිශේෂයි.  මෙය 1986දී රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ චිත්‍රපට අංශයේ නිෂ්පාදනය වූවක් බව සඳහන් වෙනවා. අපූරු ගායනයක් සමගින් එක්වී තිබෙන රූප රචනය සැමටම මතක් කර දෙන්නේ ආනන්දයේ ආදී කතෘවරුන් ආනන්දය බිහි කලාවූ සැබෑම අරමුනයි. මේ වීඩියෝ පටය අනිවාර්යෙන්ම බැලිය යුත්තක් බව මතක් කරන්නේ ඒ නිසාමයි.



ඉර හඳ පවතින
තුරු හෙළ දෙරණේ
අනුහස නොනිමෙන
තුරු බුදු වදනේ
ලොව මිනිසත් බව
එලි කරමින්නේ
පහනක් වේවා
මනු දම් උයනේ..//

පරාධීන වී හෙළ ගති සැඟවුන
යුගයක වැදී සටන්..//
අධීන විරුවන් පඬුවන් බිහි කර
යලි දැය නගන ලෙසින්
උදා වුනේ ඔබ උදාර විරුවකු
ලෙස හෙළ දෙරණ මතින්
දැයේ පහන් ටැඹ 
වී හෙළි කල මග
ඇත ලොව සතර දෙසින්

ඉර හඳ පවතින..//


ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව

        මේ ගීතය ලියවුන 1986 වර්ෂය කියන්නේ ආනන්දය ශත සංවත්සරය සැමරූ වසරයි.ඉන් අනතුරුව 2011වසරේදී එළඹුන 125 වැනි සංවත්සරය පුරා වසරක්ම මුළු ආනන්ද ප්‍රජාවම සැමරුවා. 2011 නොවැම්බර් මස පළමුවැනිදාට යෙදී තිබුන ඒ අසම සම දිනය වෙනුවෙන් ආනන්දය සැමරුම් උත්සව සහ වැඩසටහන් සංවිධානය කලේ 2011 වසර මැද භාගයේ සිටන්මයි. 2012 වසරේ මාර්තුමස අවසන් දිනයේදී ලොව පාසලක පැවැත්වූ දැවැන්තම ප්‍රදර්ශනය වන අනද අබිමන් ප්‍රදර්ශනය අවසානය වන තුරුම  ආනන්දය උත්සව ශ්‍රීයෙන් බබලනු ලැබුවා.ප්‍රදර්ශනය අතරතුරේ ලබපු අත්දැකීමක් කලින් මේ බ්ලොග් අඩවියට ඇතුල් කළා,ඒක බලන්න පුළුවන් මෙන්න මෙතනින්.මේ වකවානුව තුලදී ආනන්දයේ ගීත සාහිත්‍ය වෙතට නවමු ගීත කිහිපයක්ම එකතු වුනා.ඉන් ප්‍රධාන තැනක් ගන්නේ 125 අනද අබිමන් උළෙලේ නිල ගීය වන අනදතා පාන ගීතයටයි.

      අනදතා පාන ගීතයේ ඇති සුවිශේෂත්වය වන්නේ ආනන්දය තුලින් බිහිව සංගීත ක්ෂේත්‍රයේ විවිද ඉසව්වන්හී නම් දැරූ කළා කරුවන් මෙම ගීතය සම්පාදනය කිරීමට දායක වී තිබීමයි. මේ ගීතය ලියවී ඇත්තේ නුවන් කුමාර කටුගම්පොල(1991) අතින්.ගේය පද සංගීතයෙන් ඔපවත් කර ඇත්තේ සහන් රන්වල (1997) විසිනි. ගීතය නිෂ්පාදනය කොට ඇත්තේ ආදී ආනන්දයීය 97 කණ්ඩායමයි.මේ ගීතය ආනන්දීයන් කෙතරම් දැඩිව වැළඳගත්තාද කිවහොත්,සෑම කෙනෙකුගේම ජංගම දුරකතනවල රින්ග් ටෝනය ලෙස වැඩි කලක් මෙය  පැවතුනා.එසේම ශ්‍රී ලංකාවේ සෑම දුරකථන ආයතනයකින්ම මේ සඳහා රින්ග් ටෝන් පහසුකම ලබා දුන්නා.



අනදතා පාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ//

බන දම දැනගෙන හැදුනෝ
විදු නැණ යහ ගුණ පිරුණෝ
කෙලිලොව දිනවන හපනෝ
රණ ජය බිම..
රණ ජයබිම මහ මුදුනෝ..
පසු මං නොබසින ඇත්තු..
පෙරමන් හොබවන පුත්තු..
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

වෙඩි වැස්සට සැලෙන් නෑ
අඩි පස්සට හැරෙන් නෑ..
අනදතාපාන නොපමා නිපුනෝ
කුමරතා මාන ගජතා පිරුණෝ..

කළා විලේ සිය පත් වූ
නිලේ බලේ අග පත් වූ
එලෝ මෙලෝ සුවපත් වූ
අනාගතේ...
අනාගතේ පැහැපත් වූ..

අනුහස් ඇති පුතණුවෝ..
කොතනත් රජ කරනවෝ..
ආනන්දේ පුත්තු..
අපි ආනන්ද පුත්තු..

උරුම රකී පෙර දිනේ
දියුණු ලොවේ පෙරමුණේ..
අනදතා පාන නොපමා නිපුනෝ..
කුමරතා මාන ගජතා පිරුණෝ..

විහාරයේ රන් බුදු රැස්
සෙනේහයේ රන් කුළු රැස්
එදා ආදී රන් කතු රැස්
අපේ කාලේ...
අපේ කාලේ රන් සිසු රැස්..

විජාති බල තෙද සින්දු
ලොවේම හෙළ නම රැන්දූ
ආනන්දේ පුත්තු අපි
ආනන්ද පුත්තු..

එකා වාගේ නැගේවී
අනද සරණ ලබාවී..

අනදතා පාන නොපමා නිපුණෝ
කුමරතා මාන
ගජතා පිරුණෝ..


ගායනය : භාතිය ජයකොඩි ('95)
               මධු මාධව අරවින්ද ('92)
               ජගත් වික්‍රමසිංහ ('85)
               කසුන් කල්හාර (ආ'2000)
                සහන් රන්වල ('97)
               ජනනාත් වරකාගොඩ ('96)
               හර්ෂණ දිසානායක (ආ'10)
               අකලංක ගනේගම (ආ'2000)
               දුමාල් වර්ණකුලසූරිය (ආ'02)
               නිමන්ත හේෂාන් ('97)
               ඉසුරු ජයරත්න ('97)
               සචිත් අනුත්තර (ආ'10)

                  ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනාම එකම මොහොතක එකම පාසලකින් බිහි කිරීමේ අරුමැසි සිදුවීම සිදු කළාවූත්,හතරවැනි ඊලාම් යුද්ධය අවසන් කල මහ විරුවන් මුල් පුටුවේ සිට බොහොමයක් බිහිකලාවූත් ආනන්දය වෙනුවෙන් මේ ගීතයෙන් සැබෑ සාධාරණත්වයක් ඉටුවී තිබේ.එසේම ජාතික ක්‍රිකට් සංචිතයට වැඩිම ක්‍රීඩකයන් ගණනක් බිහි කර ඇත්තේද ආනන්දයයි.ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ආනන්ද නාලන්දා ක්‍රීඩක නියෝජනය ක්‍රීඩකයන් 6 දෙනෙකි.1996 ලෝක ශූරතා කණ්ඩායමේ නායකත්වය ආනන්දියකු දරද්දී එහි ආනන්ද නාලන්දා සුලෝහිත සහභාගිත්වය ක්‍රීඩකයන් 5 දෙනෙකි.ආනන්දයත්, ඉන් බිහිවූ නාලන්දාවත් සැබවින්ම විශ්මකර්ම විදුබිම් බව අතිශයෝක්තියක් නොවේ.අනුහස් ඇති අනද පුතනුවන් කොතනත් රජ කරනා බව පවසන්නේ එබැවිනි.
 
                  ආනන්ද නාලන්දා සහෝදරත්වය ගැන කියවෙන මෙම ගීතය අන් සියල්ලකටම වඩා පසිඳු වූවකි.මේ ගීතයට හඬ මුසු කරන්නේ ආදී ආනන්දයීයන් දෙපලක් වන ජනනාත් වරකාගොඩ සහ භාතිය ජයකොඩියි.මේ ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයයි.





ආනන්ද නාලන්ද විදු දෑලේ
මහ ක්‍රිකට් තරඟ උළෙලේ
අසිරියෙන් කෙලි මඩල බබලන්නයි
සමගියෙන් දස්කමින් ජයගන්නයි..//

ජාතික තලයට
සුරු විරු දරුවන්
නිබඳ තිලිණ කරනා
ඒ දරුවන් ලොව
ජය ලබනා විට
යසස කිරුල දරනා..//

අනද මෑණියන් සෙවණේ..
හෙළ හැදියාවෙනි වැඩුනේ..
යහ ගුණ දහමින් විදු නැණ ලබමින්
කිතු ගොස දින දින නැගුනේ..

ආනන්ද නාලන්ද..//


තරඟය ක්‍රීඩා පිටියට පමණයි 
ජය පැරදුම එකසේ විඳ ගැනුමයි..//
සොහොවුරු දහමින් බැඳී නැගෙන්නයි..
කෙලි බිම.. මව් බිම..
ජය බිම වන්නයි..///

  
                 සුලෝහිත සංග්‍රාමය නිල ගීතයට අමතරව,ආනන්දය විසින් අනුග්‍රාහකත්වය දැක්වූ  83 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් වෙනම නිල ගීතයක් නිර්මාණය වනවා.සුලෝහිත රාවය නමින් මේ ගීතය නිර්මාණය වන්නේ පාසලේ එවකට සිටි සිසුන් අතින්මයි.ගීතයේ හඬ මුසු කිරීම් සිදු කෙරුනේ රැඩිසිස් ශබ්දාගාරයේදී යි.ගීතයේ පද පෙළ මගේ හිත මිත්‍ර මංගල සේනාධිපතිගේ සංකල්පනාවක්.ගීතය නිර්මාණය වන්නේ මගේ සමකාලින සොහොයුරන් කිහිප දෙනෙකු අතින්.




ගුගුරුවා වා තලේ
සරසවා මිහිතලේ
ලේ නොහලා රත් පැහැ ගන්වා
රන් රිදී අකුණු සරින්
අඳුරු වලා ගැබ 
එලි කරනා..

කඟවේනුන්ගේ සිරි මවමින්
තණ නිල්ලත් දෙදරවනා
ලෝ සොලවාලන සිංහ පුතුන් හට 
තිඹිරි ගෙයක් සදනා
සුලොහිතයන්ගේ මහ සැණකෙලියයි
සොහොවුරු කම් දිදුලනා..
කෙසරුන්ගේ රණ හඬ මැද්දෙන් 
ජය ඝෝෂා නැන්වෙනා..

දඟ කැවූ පන්දුවේ
කස හඬ එක් වුනේ..
ජය දඩ නංවා ඇත හඬ දීලා..
සොවුරු පෙමින් අප එක් වීලා..
නිහඬ ලොවක් සොලවා..

ගී පද : මංගල සේනාධිපති
සංගීතය : මධුරිත සමරසිංහ , ලහිරු තිලකරත්න
හඬ සංයෝජනය : රනුක හෙට්ටිආරච්චි
ගායනය : රෙසිල් ඉර්ෂාද් ,මධුරිත සමරසිංහ,ලහිරු තිලකරත්න,රනුක හෙට්ටිආරච්චි,මංගල සේනාධිපති

                        ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ ගීතවත් මුහුණුවර එතෙකින් නොනැවතී තබපු තවත් එක පියවරක් විදියට ආනන්දේ සෙවණේ වැඩි දරුවෝ තේමා ගීතය කරලියට එනවා.හැබැයි මේ ගීතය වැඩි දෙනෙක් අසා නැති බවයි මගේ හැඟීම. බලන්න අහල තියෙනවද කියලා?



ආනන්දේ සෙවණේ වැඩි දරුවන්..
ලෝ තලයට එසවීනි හපනුන්..
ලොවම මවිත කල කෙලි බිම විරුවන්
දිලෙයි අනද තරු සැමට ඉහලින්..

රන් ලෝහිත දදවැල් බන්දා
ඉතිහාසයේ අබිමන් නංවා
සිප් මවගේ ආසිරිද ලබා
අනද පුතුන් අපි ශතක හඹා..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ ජය රූ ජය රූ...
අපෙ නෙතු අද්දර මැවිලා

ආනන්දේ නාලන්දේ විදුහල් පියසේ
සිප් සරනා අප සොයුරන් වේ..
සමගිය වඩනා..ලොව අගනා දේ..
ජය පැරදුම විඳුමයි එක සේ..
තරඟ බිමයි එක තණ නිල්ලයි
කුසලානෙයි  සිංහයෝ දෙපිලයි
හදක පැතුම් ඉටුවන දිනයයි
ආනන්දය දිනනා දිනයයි..

අනද සයුර ජය ඝෝෂා නගා
ආසිරි ජය ගොස දසතට විහිදා
එක පැතුමකි සැම හදවත් වෙලලා
ජය රූ අපෙ නෙතු අද්දර මැවිලා..//

සුලෝහිත කෙලි බිමයි මහ සංග්‍රාමයයි...



            ආනන්දය සහ ක්‍රිකට් කියන්නේ කිසිදා නොබිඳෙන සබදතාවක්.ඉතින් ඒ ගැන ලියවෙන ගීත මෙතෙකින් නවතින්නේ නෑ. මේ 84වැනි සුලෝහිත සංග්‍රාමය ගැන ලියවුනක්..




සිංහයෝ අපි..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. ආනන්දයෙන්..
සිංහයෝ අපි..
අභිමානයෙන්.. නාලන්දයෙන්..
ජය හඬ මැදින්..
සිංහයෝ අපි..//

විදු මව් තුරුලෙන්..
උණුහුම විඳිමින්..
සොහොයුරන් සේ විඳිමින්..
පායන හිරු මෙන්..
පායන සඳු මෙන්..
නොනිවෙනා එක හැඟුමෙන්..

සිංහයෝ අපි..// 

කෙලි බිම කළඹා
ඔද තෙද වඩවා..
රජත රන් දද සෙවණේ..
පිබිදෙන හැඟුමෙන්..
නොසිදෙන දිරියෙන්..
නොබිදෙනා සොයුරු දමින්..
කෙලි බිම අරුමේ..

සිංහයෝ අපි..//

ගායනය : වතිල මානකමල් ,ඉසුරු සමරසිංහ,ලහිරු ගුරුසිංහ
සංගීතය : වතිල මානකමල්
රූප රචනය : හසන්ත සුනෙත්, ලහිරු ගුරුසිංහ

       ක්‍රිකට් ගැන කතා කලෝතින් ලාංකේය ක්‍රිකට් ලෝලීන් සතුව තියෙන ඉහලම මතකය තමයි 1996 විල්ස් ලෝක කුසලාන තරඟාවලිය. මේ ඒ ගැන සඳහන් වෙන ආනන්දය ගැන ගීයක්.. මේ ගීතයේ ගායකයා LedartRaXX; යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙතත් LedartRaXX යනු මගේ හිත මිතුරු සජන වීරසේකර බව දැනගන්නට ලැබුණා.ගීතය ගායනා කරන්නේ ඔහු සමගින් පසිඳු භාග්‍ය සොයුරා.මේ ගීතයේ තනුවද සජන වීරසේකර සතුයි.  සංගීත රචනය නිමැවෙන්නේ 83 වැනි සුලෝහිත සංග්‍රාමයේ නිල ගීතයට සංගීතය සැපයූ  රනුක හෙට්ටිආරච්චි සොයුරා අතින් රැඩිසිස් ශබ්දාගාරයේදී යි.

වීර විකුම් පානට මේ දරුවෝ..
ඉදිරියටම එයි සිංහ වෙසේ..
ලොවටම පූජිත කුසලානේ..
ලක් මෑණිට දුන් පුතුණානන්..

ලක් මව් තුරුලෙයි ආනන්දේ..
ලක් මව් බිම මේ සරසන්නේ..
කිතු ගොස නංවයි අභිමානේ..
ආනන්දේ... අභිමානේ..//
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. 
අභිමානේ.. අභිමානේ..

මහ රල සේ මහ මුහුදේ..
නොසැලෙයි නොමියෙයි දෙරණ මතේ..
කිතු ගොස නංවයි ආනන්දේ..
මහ රල සේ මහ මුහුදේ...
ආනන්දේ... අභිමානේ..
ආනන්දේ.. ආනන්දේ.. ආනන්දේ.. ////
රන් හා රිදී අකුණු සර දෙකක්..















Friday, August 16, 2013

අලුත් වෙනසක්?????? "කරූගේ සිත් රූ" නම වෙනස් වෙයි!!!!



      කාලෙකට පස්සේ බ්ලොගේට ගොඩ වැදුනේ අලුත් අදහසක් එක්කමයි.බ්ලොග කෙරුවාවට පුංචි පහේ නැවතීමේ තිතක් තියන්න වුනේ බලයලත් නිලධාරී තැන විසින් බ්ලොග් පොස්ටු කොට කොටා සිටීමට වාරණ නියෝග පනවපු නිසයි.බ්ලොග ලිවිල්ල කෙසේ වෙතත් බ්ලොග කියවිල්ල නවත්තන්නත්(බොහොම අමාරුවෙන් කිචිය හා කැසිල්ල නවතාගෙන) මට සිද්ධ වුනා.කොහොම වෙතත් අවසානයේ නැවතත් බ්ලොගේ පැත්තේ එන්න පුළුවන්කම ලැබුනා,නමුත් තාමත් පරණ කතන්දරේ එහෙමමයි!

      අලුත් අදහසක් ඔලුව ඇතුලේ විදුලි කොටපු බව මම කිව්වේ,අදහස මේ පුංචි බ්ලොග් කටුවට අලුත් මුහුණුවරක් එක්කම නමක් දෙන්නයි.මුලින්ම මේ බ්ලොගේ පටන් ගන්නකොට මගේ අදහස තිබුනේ මම විටින් විටෙ හිතට එන අදහස්වලින් ගලපන පුංචි පුංචි කවි පද පේලි එකතු කරන බ්ලොගක් පටන්ගන්නයි. එතනින් පටන් ගත්තත් පහු වෙන කොට එදිනෙදා ජිවිතේ අත්දැකීම් කීපෙකුත් එකතු වුන නිසා බ්ලොගේ මුල් අරමුණ එක්කම පුංචි අපගමනයකුත් ආවා.ඉතින් ඒ සිද්ද වෙන පුංචි පහේ අපගමනය ඉදිරි කාලයේදී  ටිකක් මහා පරිමාණයෙන් කරනවාත් එක්කම ඒ මුහුණුවරට පුංචි සාධාරණයක් කරන්නත් හිතුනා. කරුගේ සිත් රූ, මේ නම ඉදිරියට වෙනස් කලොත්? මොකද අත්දැකීම් කියන්නේ පුංචි පුංචි කවි පද පෙළවල් වගේ හිතේ මැවෙන දේවල් නොවන නිසා.ඉතින් අලුත් අදහස, මේ අඩවිය "අල්තයීර්ගේ අඩවිය" විදියට නම් කරන්නයි.

      අල්තයීර්,එහෙමත් නැත්නම් අල්තයීර් ඉබන් ලාහද් Assasins Creed පරිගණක ක්‍රීඩා මාලාව ගැන දන්නා කෙනෙක්ට අලුත් චරිතයක් නොවේ. අල්තයීර් කියලා කියන්නේ 12වන සියවසේ කුරුස යුධ සමයේ ජිවත් වුන චරිතයක් විදියට හඳුන්වා දෙන්න පුලුවනි. ඔහුගේ චරිතය ගොඩ නගා ඇත්තේ කුරුස යුධ සමයේ මැදපෙරදිග සැබවින්ම විසු යුධ නායකයෙකුගේ චරිතයක් ඇසුරෙනි.අල්තයීර්ගේ චරිතය ඇසුරෙන් බිහි වූ නිර්මාණ සියල්ලම පාහේ ඔහුගේ ශ්‍රේෂ්ට රණකාමිත්වය සහ නායකත්වය විදහා දැක්වෙන අයුරින් නිමවී ඇත.ඉතින් මේ විශිෂ්ට ප්‍රති නිර්මිත චරිතය අදාළ කොට ගනිමින් මගේ බ්ලොග් අවකාශය නම් කරන්නට කල්පනා කලේ ඔහු පිළිබඳව මගේ හිතේ ගොඩනැගුනු බලවත් උනන්දුව නිසාවෙනි!

 එන්න! මෙතැන් පසු අල්තයීර්ගේ අඩවියට...




Wednesday, June 12, 2013

මල් ගීය..


Saturday, June 8, 2013

වැහි ලේණියේ පියඹාපන්..

ආදරේ කරන කෙනෙක්ගේ මූණක්,
ටිකක් ඈතින්,,
කතා කරන්න විදියක් නෑ..
ඇයි?
පුස්තකාලේ ඇතුලේ කොහේ කතා කරන්නද ඉතිං මම..
එයා නැගිටලා යනකන්,,
මම ඔහේ බලං උන්නා..
වැහි කලුවරකුත් එනවා,,
වැස්සොත් එහෙම?
මට එයා එක්ක කතා කරන්න බැරි වේවි..
"වැහි ලේණියේ..
මම වැස්සට ආදරෙයි"
අනේ ඒත් අද වහින්න එපා..
වැස්සොතින්,,
එයාව මට මග ඇරේවි..

Saturday, June 1, 2013

කවිය නුඹ.. දොරට වැඩුම අදයි..



මිතුරෙකුගේ කවි පොතකට පෙර වදනක් එක් කරන්න කියන ඉල්ලීම නිසා කරූ කොලුවාට ටිකක් පුදුමයි. "ඇඃ මං මොනා කියල  ලියන්නද හප්පේ" කරූ කොලුවා කල්පනා කළා.කොහොමින් හරි අන්තර්ජන්ජාලෙන් පිටපතේ නිර්මාණ කීපයක් ගෙන්නාගෙන බැලුවාම කරූටත් මාර හැපී ඈ.. හිතට දැනෙන අදහස් ටික වචන කීපෙකට ගොනු කරලා පෙර වදනක් සපයා දෙන්න කරූ පොරොන්දු වුනා.අපේ මේ කිවිඳිය කොළඹින් බැහැර ඉන්න නිසා ජාතික පුස්තකාලෙන් ISBN අංකය වෙන්කර දුන්නෙත් මේ සත් ගුණවත් ඉලන්දාරියාම තමා. මේ කවිකාරි වෙන කෙනෙක් නෙවේ, "මොනරු" නවකතාවට බ්ලොග් ගඩොල් බඳින  අරුණි කළුපහන. ඉතිං අද දවසේ දොරට වැඩියේ ඇයගේ කුලුඳුලේම එලි දකින කාව්‍ය සංග්‍රහය වන "කවිය නුඹ-සුළඟ සේ විත්"


පෙරවදන...


  අරුණි කළුපහන සොයුරිය විසින් පබඳින්නට යෙදුන "කවිය නුඹ" කාව්‍යමය සිත්තම වෙනුවෙන් වචනයක් එක් කරන්නේ ඉමහත් සතුටකිනි. මව්කුස පටන් වෘධ විය අවසානය දක්වා ගැහැණියකගේ දිවිය සිසිර,වසන්ත,ගිම්හාන,සරත් යන සෘතු විපර්යාස තුලින් විනිවිද දුටු කාව්‍යකරණ ආයාසයක් ලෙස කවිය නුඹ නිර්මාණ පෙළහර හැඳින්වීමට පුළුවන. කවිය නුඹ සිරස තුලින් ඇය ගම්‍ය කරවීමට උත්සහ දරන ගැහැණියකගේ ජිවිතයම කවියක් ය යන පණිවුඩය ඇයටම හුරු ආරකින් සහෘදයා වෙත ඉදිරිපත් කිරීමට අරුණි සමත්ව සිටින්නී ය.මනා සංකේතාත්මක යෙදුම්වලින් පිරි ඇයගේ නිර්මාණයන් භාව රූප ගොඩනංවමින් නිර්මාණයේ යෙදෙන අතරතුර ඇය ගමන්ගත් පථය ඔස්සේම සහෘදයා කැටුව යාමට සමත්ව තිබීම සැබවින්ම ප්‍රශංසනීය ය.
   කවිත්වය යනු උපතින් හිමි වන්නක් මෙන්ම නිතැතින් නිරන්තරයෙන් හුරු කොට ගත යුත්තකි. වදන් මගින් සහෘදයා තුල සිත් රූ මවාලිය හැකි අපූරු හැකියාව ඇය තමන්ගේ නිරන්තර හුරුව කොටගත් බව මෙම නිර්මාණ එකතුව තුලින් කදිමට පෙනී යයි.  විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ කඩඉම ජය ගැනීමට වෙර දරන කාර්ය බහුලත්වය අතරතුර හුදෙක් තමන්ගේ ආත්මතෘප්තිය වෙනුවෙන් ලියවෙන ලද මෙම නිර්මාණ ගොන්න ග්‍රන්ථයක් ලෙස පාඨකයා වෙත සමීප කරවන මොහොත වෙත දායක වන්නට ලැබීම මට සතුටු කාරණයකි.අණුක සුත්‍ර ශ්‍රිත ප්‍රස්තාර අතර සිරවී නොසිට ලද විවේකයන් අතරතුරදී  තව තවත් මෙවන් රසබර කවිකම් කිරීමට අරුණි කළුපහන සොයුරියට දිරිය ශක්තිය ලැබේවා යි මම ඉතසිතින් ප්‍රර්ථනා කර සිටිමි. 

බී.පී.කරුණාරත්න
ලේකම්
අනද කවි ගී සඳැල්ල
ආනන්ද විද්‍යාලය-කොළඹ 10.
ප.ලි. උපුටා ගැනීම් පසුවට බලාපොරොත්තු වන්න. ( අරුණිගේ කොපි රයිට් මෙව්වා එක ඇපෘ වෙන්න එපායෑ)

Tuesday, May 28, 2013

සුදු වැලි පාර...


අප්පච්චිට ලියුමක්...



මතකද, මම පුංචි සන්දියේදී.. අපේ ඉස්කෝලේ අද්දරින් වැටිලා තිබ්බ සුදු වැලි පාර දිගේ මම දුවගෙන එනකන් ඔයා බලං ඉන්නවා? මට හොඳට මතකයි අප්පච්චියෝ. නිල්පාට හැට් එක එක්ක ලොකු කන්නාඩි කුට්ටමත් වරද්දන් නැතුව දාගෙන ඇවිල්ලා,මම එනකන් ඔයා බලං ඉන්නවා. මට පෙන්නේ නෑ ඔයා බලං ඉන්නේ කොහෙද කියලා,ඒ ඇස් කන්නාඩි කුට්ටමට වැහිලා දිස්නේ දුන්නට,මම දන්නවා ඒවා බලාගෙන ඉන්නේ මං එනකන් කියලා.සුදු වැලි පාර උඩහට ගියාම තියෙන වෙරළු ගහ,මතකද අප්පච්චි ඔයාට? හවසට ප්‍රිෆෙක්ට් කෙනෙක් දානවා අපේ ලොකු සර්,අපේ එවුන්ට වෙරළු ඇහිදින්න යන්න දෙන් නැතුව හිර කරන්න.  එත් කවදාවත්ම ඒ ප්‍රිෆෙක්ට්වත් ලොකු සර්වත් දැනන් උන්නේ නෑ,ගොඩක් දවස් වලට වෙරළු ඇහිඳලා මගේ යාලුවන්ට බෙදන්නේ අපේ අප්පච්චි කියලා. ඔයා කොල්ලන්ට දාල තිබ්බ නම් මතකද අප්පච්චි? මගේ පරණ ඉස්කෝලේ ඒ යාලුවන්ගේ ඇත්ත නම් අද වෙද්දී මට මතක නෑ,හැබැයි ඔයා දාපු නම් මට හොඳට මතකයි..මතකද අප්පච්චි ඔයාට බී.ජී.ව? මට අවරුදු ගානකට පස්සේ හම්බුනා මේ ලඟදි.. . මතකයිද,අම්ම අපිට බනිනවා ළමයින්ට නම් හදන්න එපැයි කියලා? අපි නම් නෙවේ ඒ වැඩ නැවැත්තුවේ,නේද මගේ අප්පච්චියෝ.. ඔක්කොමත් හරි, මම දුවගෙන ආපුවාම මව උස්සල බයිසිකලේ ඉන්දවගන්නවා ඔයා.. මට නැගගන්න බෑ ඒ කාලේ. ඉන්දවගෙන මුලින්ම කරන්නේ ඔයාගේ අත යට හන්ගන් ඉන්න නිල්පාට හැට් එක මට දාන එක. මතකයිද අප්පච්චි ඒ කාලේ ළමයි අපිට විහිලු කරනවා මාළු තොප්පි දානවා කියල? දැන් කාලෙනම් ඔන්න කියයි මින් ජුන් හෝ වගෙයි කියල. ඒකට අපි නම් නෙවේ අපේ තොප්පි ගැලෙව්වේ. ඔයා හෙමීට පදිනවා බයිසිකලේ, මම අම්මට හැමදාම ගතු කිව්වා හෙමින් පදින්නේ කියලා.. මතකද අප්පච්චිගේ බයිසිකලේට මම දාල තිබ්බ නම? ඉබ්බ බාගේ,ඉබ්බාගේ වේගෙනුත් බාගයයි.

අම්මට ඉස්කෝලේ ඇරෙන්නේ දෙකට.එයා හෙමින් හෙමින් ගෙදර එනකොට ඉතිං තුනවත් වෙනවනේ.එතකන් මම ඔයාගේ ඔඩොක්කුවේ ඉඳන් කතන්දර අහපු හැටි මතකද අප්පච්චියෝ? ගාල්ලේ ඉන්න කාලේ කරපුවා,දරුමදාසගේ කතන්දරමහවැලි අධිකාරිය,ජල විදුලිය..,ඇයි ඉස්කෝලේ බිග් මැච් එක,පැරඩ් ගියපුවා? මට ඒ කාලේ ඒ දේවල් හරි අමුතුවට දැනුනේ අප්පච්චෝ,ඔයා දන්නවනේ,මම ගිය පුංචි ඉස්කෝලේ එහෙම දේවල් නැතෙයි කියල.ඔයාගේ ඔඩොක්කුවයි අම්මගේ ඔඩොක්කුවයි හරිම වෙනස් අප්පච්චි.දැනෙන විදිය,සුවපහසුව හරිම වෙනස්.එහෙම බැලුවොත් මම අම්මට තමයි වැඩිපුර කැමති.එත් අප්පච්චිත් හරිම ශෝක්.ඔයා ගාව දැනෙන සුවඳයි,අම්ම ගාව දැනෙන සුවඳයි හරිම වෙනස්.එත් ඒ දෙකටම මම ආසයි කියල කවදා හරි දැනිල තිබ්බද අප්පච්චෝ? හැබැයි ඔය දෙන්නම මට ගැහුවා. මට වැඩියෙන්ම ගහල තියෙන්නෙත් ඔයයි අප්පච්චි,ඔන්න ඔන්න මාත් එක්ක තරහ වෙන්න එපා ඉතිං. අම්ම මට ගහන්න පේර කෝටුව කඩලා ගෙනත් තිබ්බම,ඒක හොයාගෙන මට පෙන්නලා "අපි මේක කඩමු පුතා-ජී" කියපු හැටි මට අමතක නෑ ඉතිං. අපේ අම්ම නෙවේ නේද එකෙන් සැලුනේ,අපි දෙන්න කඩන්න කඩන්න එයා ගෙනත් හංගනවා මට ගහන්න. අන්තිමේදී බැරිම තැන තමයි මම පේර ගහ කපන්න ගියේ.චන්ඩියා වගේ ගියාට මට බෑ ඒක කපා ගන්න.ගහන ගහන පිහි පාරට පොත්ත යනවා විතරයි ගහේ,ඔන්න ඊට පස්සේ තමා දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට පේර ගහ ඔයා කපල තිබ්බේ. එක දැක්කම මගේ මූණ, අම්මේ...

ඔයා හරිම කලුයි.අම්ම නම් සුදුම සුදුයි.ඔයත් සුදු උනා නම් මටත් මීට වඩා සුදු වෙන්න තිබ්බනේ කිව්ව එකට ඔයා මාත් එක්ක තරහ නෑ නේද අප්පච්චි? ආ, දන්නවද? මේ ලඟදි මම ගත්ත ෆොටෝ එකක් ටිකක් කළුවරේ, එකේ ඉන්නේ මම නෙවෙයි අප්පච්චි ඔයා.ඔව් ඔයාම තමයි ඒ ඉන්නේ,මම නම් නෙවේ.ඒ මූණ,ඒ පාට එහෙමමයි අප්පච්චි.හැබැයි ඔයා වගේ හිනා වෙන්න මම දන්නේ නෑ,ඒ හිනාවෙ සිරියාව මට කවදාවත් අමතක වෙන එකක් නෑ.අමතක වෙන්න? මම මේ මොනවද මන්ද කියන්නේ.. මගේ අප්පච්චි හිනාවෙද්දි  කවදාවත් දත් පෙන්නන්නෙත් නෑ,කවදාවත් සද්දෙට හිනා වෙන්නෙත් නෑ. අනේ, මටත් ඔයා වගේ වෙන්න ඇත්නම්.. මහින්දෙ ටයි එක දාගෙන,වයස දාහතේදී ගත්ත පින්තුරේ ඔයාට මතකද අප්පච්චි?එක දැක්කම මගේ ඊරිසියාව,මට නම් මේ කපේදී එහෙම ලුක් එකක් ගන්න බෑ අයියෝ.. ඉතිං කියන්න,මං නොට්ටිගේ පුතා තමයිද කොහෙද..

කාලය ගොඩක් දේවල් වෙනස් කළා නේද අප්පච්චි? මම අන්තිමට කොළඹ රටට ආවා.ඉගෙන ගන්න,ලොකු මහත්තයෙක් වෙන්න. හොඳ මනුස්සයෙක් වෙන්න පෙරුම් පිරුවට පිය-පුතු ගැටුම කියන්නේ ලෝකේ සදාතනික ධර්මතාවක් කියලා මට ඒ කාලේ තේරුනේ නෑ අප්පච්චි.ඒ කාලේ ගෙදර වැඩියෙන්ම වලි දාගන්නේ අපි දෙන්න.මතකයි නේද?සමහර වෙලාවට අම්මට වත් බේරගන්න බෑ. අපි තරහ උනා,යාලු උනා.කාලෙත් ඒ එක්කම ඉගිල්ලුනා අප්පච්චි. දවසක් මම ගෙවල් පැත්තේ ආව කොළඹ රටේ ඉඳන්.ඔයා ගෙදර නෑ.ඒ මදිවට අපි තරහත් වෙලා.. මම එන්න ආවා,ටවුමේදී මම දැක්කා අප්පච්චි ඔයාව. මෙච්චර වෙලා මම කිව්ව හැමදේම ඔයා දැනන් උන්නත්, මම එදා එවෙලේ ඔයාව දැක්කා කියල අදටත් දන්නේ නෑ නේද අප්පච්චි? මම දැක්ක ඔයා,පාරේ අනිත් පැත්තෙන් හුළඟ වගේ වේගෙන් යනවා.මම ආව කියන ආරන්චියටවත්ද? මම ලඟම තිබ්බ වාහනේකට මුවා උනා.ඔයා නොපෙනීම යන්න ගියා අප්පච්චි.. මම ඔයාව දකින අන්තිම දවස එදා කියල මම දැනන් උන්නනම්?

මම ඔයාට ආදරෙයි අප්පච්චි. මම කවදාවත් එහෙම කියලා නැතුව ඇති ඔයාගේ කන් දෙකට ඇහෙන්න.එහෙම කියන්න අවස්තාවක් මට ලැබෙන්නත් නැතුව ඇති,ආයේ එන එකකුත් නෑ අප්පච්චි.ඔයාගේ කට හඬ මගේ හදවතින් ඈත් වෙලා තිබුනත්,ලඟදි හීනෙන් මාව බලන්න ඇවිල්ල කියපු දෙයින් ඒ කට හඬ ආයෙත් මට දෝංකාර දිදී ඇහෙනවා අප්පච්චි,ඇත්තමයි..ගෙදර යන වෙලාවට ඔයා ආපහු ඇවිල්ල ඇතී කියන අහිංසක බලාපොරොත්තුවෙන් මම අවරුදු ගානක් මග බලං උන්න මගේ අප්පච්චි,ඔයා කවදාවත් ඇවිත් තිබ්බේ නෑ.. මගේ හිතේ ඒ ගැන කහටක් නෑ අප්පච්චියෝ, ඉන්න තැනක හොඳින් සතුටෙන් ඉන්න.මට ඕනා එච්චරයි. කොල්ලෙක් විදියට මට ඔයාව ඕනම කරන කාලෙක.... නෑ. එව ඕනේ නෑ. මාව මතක් උනොත් ආයේ දවසක හීනෙන්වත් එන්න අප්පච්චි,මම බලං ඉන්නවා..


                                                                                         මම ඔයාගේ එකම,
                                                                                              "පුතා-ජී"

Saturday, May 25, 2013

සුළඟ වගේ ඇවිදින්.. සුළඟ සමග ඇවිද ගියෙමි..


 දෙවන හැරී බැලුම..

සුළඟ වගේ ඇවිදින් පොත කියවපු උනුසුමෙන්ම දිනේෂ් කොළඹගේ සොයුරා( ඔහුත් සහෝදර ආනන්දියෙකු බැවින් එසේ අමතනු කැමැත්තෙමි) වෙත ඊයක් යැවූ බව කරූගේ සිත් රූ එක්ක එකතු වෙලා උන්න ඔයාලා දන්නවා. සමනලුන් වගේ කාලයත් එක්ක පියාඹා ගිය පාසල් කාලයේ මතකයන් නෙතට කඳුලක් කැඳවාගෙනෙමින්ම මතක් කර දුන් නිර්මාණයක් ලෙසයි "සුළඟ වගේ ඇවිදින්" මට දැනුනේ.. ඉතිං ඒ මතකයන් එක්කම මගේ හදවතට සුළඟේ සිසිල දැනුනේ කොහොමද කියල තමයි ඒ ලිපිය. ඔන්න ඒක කියෙව්වේ නැත්තම් මෙතනින් කියවන්න.

ලිපිය ලියවෙන්නේ පොත ගැන උනත්,ඔන්න කරූ නම් කීයටවත් කතාවේ සාරාංශය සදහන් කරන්න ලැස්ති නෑ.කතාව ගලා යන්නේ කොයිබටද කියලා පොත කියවලාම දැනගන්න කියලයි කරූ ආරාධනා කරන්නේ.ළඟකදී මේ පොතේ අලුත්  ප්‍රින්ට් එකකුත් එලියට ආවා,හොයාගන්න බැරි උනොත් pdf ෆයිල් එකක් විදියට මෙතනින් බා ගන්නත් පුළුවන්.

  සුළඟ ලියැවිලා තියෙන්නේ හරිම සරල භාෂාවකින්,හරියට මේ පොස්ටුව ආරම්භයේදී කොටන්න හිතපු ශෛලිය වගේ තමයි. උසස් පෙළ කාලේ ගත කරන කොලු රෑනකගේ විත්ති කියන්න හොඳම භාෂාව දිනේෂ් විසින් තෝරාගෙන තියෙනවා.ඉතිං මේ පොත මගේ හදවතට මේ තරන්ම ලං වෙන්න හේතු වුන හේතු මතක සටහන් ටිකක් මම මේ ලිපියට එක් කරන්නම්.

  කතාව ගොඩ නැගෙන්නේ කොළඹ නගරය,නුගේගොඩ මහරගම ප්‍රදේශය වට කරගෙන.කතාවේ ප්‍රධාන පිරිමි චරිත වන මාලින්ද,බින්දු,කොටා,ගිහාන්, අමිල ඉගෙන ගන්නා පාසල තියෙන්නේ කොළඹ නගරයේ මරදාන අවට කියලා හුරු පුරුදු ඕනෑම කෙනෙකුට දැනී යනවා. නමුත් දිනේෂ්ගේම වචනයෙන් කිව්වොත්, "එක මරදානේ ඉස්කෝලයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්" නමුත් ආනන්දියකු වුන දිනේෂ්ගේ ආනන්දනීය මතකයන් ඔහුටත් දැනී නොදැනීම මේ නිර්මාණයට එක් වන්නට ඇතී.සමනල් සේයාවෙන් පාවී ගිය පාසල් කාලයේ සුන්දරත්වය ආනන්දයෙන් විඳි,නොවිඳි ඕනෑම කෙනෙක්ට සමීප කරවන්න දිනේෂ්ගේ ඒ ආයාසය හේතු වන්නටත්  ඇතී.

  පොත ගැන දැනුන අදහස්වලින් බිඳක් එක් කරලා යවපු ඊයට පිළිතුරු දෙන්න දිනේෂ් සහෝදරයා කාරුණික උනා. පොත කියවන විට රචකයාගෙ ස්වභාවය ගැන හිතේ ඇඳුනු චිත්‍රය ඒ විදියටම රැකුන පිළිතුරක් මට ලැබුනා කිවොත් මම හරි.ඔහු තමන්ගේ පෞද්ගලිකත්වය ඉහලින්ම අගය කරන නිසා පාඨක ඔබටත් වැදගත් වේ යයි හැඟෙන අදහස් කිහිපයක් පමණක් මම එයින් උපුටා පල කරන්නම්.


පොත කියවන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක ඇත්ත කතාවක්ද කියන එකනේ. මෙන්න ඔහු ඒ වෙනුවෙන් ලබා දෙන පිළිතුර. "බුද්ධි, මම කවදත් මගේ  නිර්මාන එලියට දාලා හැංගිලා ඉන්නේ. මොකද, මම තදින්ම විශ්වාස කරනවා  වඩාත් වැදගත් නිර්මාණය මිසක් නිර්මාණකරුවා නෙමෙයි කියලා. සුළඟ‍, අහසේ ඔහේ පාවෙන ලස්සන සරුංගලයක් කියලා හිතන්න..සරුංගලේ ලස්සන බලන්න..., සැහැල්ලුවෙන් ඒකත් එක්ක පාවෙන්න.ඒක ඇත්ත සරුංගලයක්ද? එහෙම නැත්නම් මායාවක්ද?,  ඒක හැදුවේ කවුද...?,  ඒ ඇයි ? කියලා හොයන්න ගියොත් අපිට සරුංගලේ ලස්සන බලන්න බැරිවෙනවා.
හැබැයි එහෙම විස්තර හොයන්න හිතෙන එකත්, ඒ කුතුහලයත් සාමාන්‍යය දෙයක්. මගෙන් පොත බලපු හැමෝම වගේ ඔය ප්‍රශ්ණය අහනවා." 

ඇත්ත. සුළඟ සමග පියඹා යන්න,ඒ සුළගේ සිසිල විඳගන්න ඒ සුළඟ ඇත්තක්ම වෙන්න ඕනෑ නෑ.සුළගේ සිසිලස අපට සමීපව දැනෙනවා නම්,ඒ සිසිලස අපට හුරු පුරුදු නම් අපට ඒ සුළගේ ඉගිලෙන සරුංගලයේ ලස්සන දැනගන්න පුළුවන් වේවි. ඉතිං ඔහුට මම මේ වගේ පිළිතුරක් ලබා දුන්නා."සරුන්ගලයේ නිදසුන මම එකසිතින්ම පිලිගන්නවා අයියේ.ඒ සරුංගලය මට විශේෂයි,මොකද කිව්වොත් සුළඟ වගේ පා වෙලා යන ඒ සරුංගලය මීට අවුරුදු දහ අටකට කලින් පාවුණේ මගේ සරුංගලය දැන් පාවෙන අහසේම වුන නිසා,ඒ සරුංගලේ සමහර රැලි,පාට මගේම සරුන්ගලයේත් තියෙන නිසා.. :) සුළඟ වගේ ඇවිදින් පොත තවත් දස දහසක් දෙනාගේ සිත්වල රැදේවි,සුළඟ වගේ ඉවතට නොයා ම"

    වසර දහ අටකට එහා පාවුණ ඒ සරුන්ගලේම හැඩය ගත්ත මගේත් සගයන්ගේත් සරුන්ගලවල පාට ගැන මතකයන් මේ සටහනට එක කරන්නම්.

"ඒයි.. අද ඇප්ලයිඩ් සර් නෑ! "
කොහේදෝ ඉඳල ආපු ජැකා පන්තියටම කෑගැහුවා.
"නියමයිනේ. ලාස්ට් පීරියඩ් දෙකම සොමියේ ඉන්න පුළුවන්."
කොටා කිව්වා.
#35 පිටුව
(12 B4  ක්ලාස් එක,කැමරාව ජැකාගේ!)





මේ!
මට එහා පැත්තේ ඉඳපු කෙල්ලක් කතා කළා
මටද? මම හැරුනා
ඔයාගේ නම මාලින්දද?
ඔව් ඇයි?
ක්ලාස් ඉවර වෙලා මාව හම්බු වෙන්න පුලුවන්ද?
ඇයි?
එතකොට කියන්නම්.
මාව කරකොල අතැරිය වගේ උනා.
ඒ ගමන මේ මොකද්ද වෙන්න යන්නේ ?
#45 පිටුව

(අනද අබිමන් ප්‍රදර්ශනයේදී,-කරූ)
මේ  පීරියඩ් එක ඉවර උන ගමන්ම පනිමු එලියට.
ඊට පස්සේ උඹගේ ලව් පාටිය දීපං..
නැත්තන් ඕවා කල් දාගත්තොත් ජීවිතේට හම්බු වෙන්නේ නෑ..
#166 පිටුව
#cake #cake#cake# නුගේ හන්දිය!

කට් එක
දෙල්කඳ හන්දිය!

අරුණි මගේ දිහා බැලුවා.
මම හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන
  176 කරගම්පිටිය බස් එකට අත දැම්මා
#174 පිටුව

(අපි 176කට අත දාන්න බලාගෙන,මරදානේ)

"අපි ගැන්සිය දහයක් විතර පිට්ටනියෙන් එලියට ආවා.
කොටා,අමිල,මම,අසංග බිංදු...
කට්ටියම නැග්ගා බොරැල්ල සුපර් මාකට් එකට..
අමිල ගෙනාපු ඩ්‍රම් එක ගහන්න පටන් ගත්තා.

පාරේ නටපු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලනුව උඩින් ඇර සොයිසා.. ලනුව උඩින් ඇර...
හායි හායි හිප්පි හිප්පි හායි...

#116 පිටුව



අපි දෙන්නා පාරෙන් එහා පැත්තට ආවා.
අරුණි අක්කගේ  යාළුවො ටික එතනම නැවතුනා,බස් එකේ නගින්න.

"ටවුන් හෝල් ගිහින් 138ක නගිමු නේද?"
"හා.."
#91 පිටුව
(වෙනදට 138 අල්ලන්න ටවුන් හෝල් එන අපි,
පාන්දර දෙකට පෝස්ටර් අලවන්න ඇවිත්)







"අන්ජලී මේ හරියේ නිදහසේ කතා කරන්න
 පුළුවන්  එකම තැන පාක් එක විතරයි.
#60 පිටුව

(පැරඩ් ගිහින් අන්තිමට යන්න තැනක් නැතුව විහාරමහදෙවියට සෙට් උන අපි-12 වසර) 











































    මතකයට නගන්න,සුළඟ සමගින් මතකයෙන් අවදි වෙන්න තියෙන සිහිවටන බොහොමයි. ඒ මතකයන් එක්කම සංවේදී වන හදවතකින් මෝදු වන කඳුළු බින්දු ගැන දිනේෂ් අදහස් දැක්වුවේ මෙහෙමයි.සුළඟ කියවලා දෙනෙත් තෙත් වුනා එකගැන මට කියන්න තියෙන්නේ, මාලින්ද සහ අරුණි ගැන දුක් වෙන්නේ බොහොම සංවේදී හදක් තියෙන අය කියලා. මට හිනායන්නේ නැති, හැඟීම් දැනෙන්නේ නැති, ඇඬෙන්නේ නැති කතා මම ලියන්න ආසා නෑ. මට දැනෙන දේ අනිත් අයටත් දැනෙන එක ගැන නම් අවංකවම සන්තෝසයි. (සමහර වෙලාවට ස්කෝලේ වැරුද්දක් වෙන්නත් පුලුවන් :-) ).  සත්තකින්ම ඔහුට දැනෙන දේ,ඔහු සන්නිවේදනය කල දේ හදවතට සමීප වීම වෙනුවෙන් මට තිබු සුදුසුකම අප දෙදෙනාගේ ඉස්කෝලේ වරද නම් නොවේ! කියමනට කියන "හතුරෙක්ටවත්වෙන්න එපා වර්ගයේ ඛේදයකට මුහුණ දෙන මාලින්ද ගැන හදවතක් ඇති ඕනෑම අයෙකු සංවේදී වේවි.ඒ වෙනුවෙන් කඳුලක් හලාවී.එහි ඇති රහස නම් ඔහු මේ කතාන්දරය පාඨකයාට ඉදිරිපත් කරන සමීප වූ භාෂාවයි.එය කියවන විට දැනෙන්නා වූ රසය ඨාකුරයන්ගේ ගෝරා කියවන විට දැනෙන රසය හෝ විභූතිගේ අරණකට පෙම් බැඳ කියවන විට දැනෙන රසය ආකාර නොගත්තත් සුළඟ පොතද ඔබ කියවූ ආදරණීයම පොත් ගොන්න අතරට එකතු වනවා ඇතී.

"බලපන් මේ සුමානෙම අධ්‍යාපනේ කියල සත පහක දෙයක් කලේ නෑ.
අදවත් පාඩම අහගන්නවා කියල ආවේ.එදාට සර් නෑ.
යන්ද ලයිබ්‍රි? පාඩමක් දාන්න."
#14 පිටුව
⬛පබ් එක 


කතාව මේ තරමටම හිතට අල්ලන්න තවත් එක හේතුවක් උනේ සිදුවීම් මාලාවේ තියෙන තාත්වික බව. සුළු සිද්ධීන් එකට යා කරමින්,ප්‍රධාන සිද්ධි කිහිපයක් අතරේ දෝලනය වෙන මේ කතාවේ දෙබස් වලත් තියෙන්නේ හිතාගන්න බැරි තාත්වික බවක්.කතාව ගොඩ නැගෙන පරිසරයේ තිබෙන සමීප බවත් එක්කම ඒ පරිසරය කතාවේ ගලා යාමට දක්වා ඇති සහයෝගය නිසාම,මෙහි හුදු කල්පිතයකට එහා ගිය සත්‍යතාවක් ඇතැයි ඕනෑම අයෙකුට දැනෙයි.සුළඟ සත්‍යක් යයි මාද ඇතුළුව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නට පෙළඹෙන්නේ ඒ නිසාම විය යුතුය.


ඔබෙ පාසල් දිවියත් සුළඟ වගේ පැමිණ ගොස් ඇතී. නැතිනම් සුළඟ සේ දැවටෙමින් තවමත් ඔබ ලඟම ඇතී.නමුත් දිනයක එය සුළඟ සේම නික්ම යාවි.කාටවත් නොදන්වාම.පාසල් ප්‍රේමයේ සුන්දරත්වය ඔබට මතක් කර දීමට සුළඟ සමත් වේවි.සුළඟ සමග ඇවිද යන්න. එය රස විඳින්න.එය මගේ මෙන්ම ඔබෙත් පාසල් මතකයන් අවදි කරනවා සත්තයි.ඊළඟ පොස්ටුවෙන් හමු වෙමු.
Related Posts Plugin for WordPress, Blogger...