Wednesday, May 20, 2015

පියෙහි සම්පයොගො-පියෙහි විපපයොගො

කාලෙකට උඩදී හිතාදර මිත්‍රයෙක්ගේ කෙටි කාලීන වෙන්වීමක් වෙනුවෙන් තබපු සටහනක්.. මාස කීපයකට පස්සේ කියවද්දීත්, හදවතට දැනුන හැගීම් ගොන්න නිසා, බ්ලොග් පිටුවේ අලවලා සංරක්ෂණය කරන්න හිතුවා.. පාසල් වියේ මිතුරුකම්වල වටිනාකම හා තරඟ කරන බැදීමක්, අදටත් මට හමු වෙලා නැහැ.වගකීම් යුතුකම් පෙරදැරිව එන ගනුදෙනු ස්වරූපී හැඳුනුම්කම් විනා, මිතුරුකම් ලැබෙන තැනක් පාසලෙන් පසු හමු වන්නේ නැහැ.. 
මේ ඒ සමනල් වියේ හමුවුණු සුන්දර හදවත් කීපයක් වෙනුවෙන් තැබුන සටහනක්. 




ජීවිතේ හරිම පුදුමයි මචං.. උසස්පෙළ කාලේ එක පන්තියට වැටිලා, මාසයක් හමාරක් වුනත් ඉස්කෝලේ නයිට අදින්න වැඩිම නිදහස තිබුන කොල්ලෝ හතර දෙනා, Kalanaka උඹ, මම, Janaka සහ අපේ Evindu මෝරා යාළුවො සහෝදරයෝ කලේ අනද අබිමන් කරද්දී එකට කාගෙන බීගෙන, හිඟා කාගෙන වගේම බඩගින්නේ නිදිමතේ වේලි වේලි ඉද්දි තිබුන බැඳීම, ඉස්කෝලේ වෙනුවෙන් නිදි මරාගෙන කාපු කට්ටට හරි යන්න දෙවියෝ මට දීපු තෑග්ග, උඹලගේ සහෝදරකම.

අපි රටේ තැන් තැන් වලින් ඇවිත් එකතු වෙච්ච හැටිත් පුදුමයි. කලයා, උඹ ඔක්කොම ඉස්කෝල 6කටයි කොළඹ ඉස්කෝලේ 3 කටයි ගිහින් අන්තිමේ ආනන්දෙන් නැවතුන අමුතුම පොරක්. මෝරා උඹව 6 වසරේ ඉඳන් දැනගෙන උන්නත්, උඹයි මමයි හරියටම සෙට් වුනේ 6 වසරේ අපේ පරණ යාලුවා ඉසුරු ගැන කතා කරන්න ගිහින්. ජනක උඹනේ අපේ බහුශෘත අති පණ්ඩිත පිසික්ස් ශූරී ස්ත්‍රී විසේසඥ සංගීත විශාරද අතිගරු පෙරමොන් තුමා.

බොහොම පස්සේ කාලෙක, කලනක, ජනක උඹල දෙන්නා එක්ක මම, එකොළහ වසර ෆ්‍රිට් කුන්ස් බිල්ඩිම දිහා ඉඳන් විහාරේ පැත්තට ඇවිදගෙන එද්දී දැනුන පුදුමාකාර අඩුව මොකද්ද කියලා කල්පනා කරද්දී, අඩෝ මචන් මෝරා නෑ කියලා දැනෙනවා නේද බන් කියද්දී කලනක කල්පනා කර කර උන්න දේත් ඒක. ළඟ උන්නා නෑ කියලා නෑ, අපේ නම් වෙනුවට කියවුන ස්ත්‍රී ලිංග නම් කාලෙන් කාලෙට කොච්චර වෙනස් වුනත්, නොවෙනස් වුන එකම දේ අපේ ෆිට් එක විතරයි.

හැබැයි ජනක මම උඹ එක්ක මාස 13ක් කතා නොකර උන්නා. හැබැයි චීත්තවලට අපිව කොටවන්න දෙන්න බැරි බව, පාඩම් ගණනාවකින් පස්සේ උඹත් මමත් තේරුම් ගත්තා.

ආපහු හතර දෙනා කම්ප්ලීට්. හැබැයි තව සති දෙකකට විතරයි කියලා මතක් වෙද්දී පිස්සු වගේ මචං.
මචන් කලනක.. කෙලීගේ තාත්තා අසනීප වෙලා අයි සී යු ඉන්න දවස්වල, මාත් එක්ක හොස්පිටල් ගානේ කාපු කටු අමතක නෑ මචන්, ඒ දවස්වල මෝරා උඹයි අමන්දයි ජනකයි දුන්න සප් එක අමතක වෙන්නේ නෑ. මගේ හිඟන පාත්තරේට හෙනහුරා කඩන් වැටුනාම, මගේ ෆන්ඩ් රයිසින් වලට තමන්ගේ කෑමබීමත් අමතක කරන අමුතුම තාලේ එකෙක් තමා උඹ, අනිකා තමා Sulakshana.. උඹලා මගේ වෙනුවෙන් තියෙන බැඳීම මාරයි මචං, මට ගෙදර පවුලේ වෙන කිසි එකෙක්ට වඩා උඹලගේ සහෝදරකම ඉස්තරම්. හැම දේටම මිලක් නියම වෙන මේ සමාජ ආර්ථික රටාවේ, අන්න ඒ දේට මිලක් දෙන්න සක්කරයාගේ පුතා වයිමාටවත් බෑ මචං.
මචං කලනක, මේ සටහන තියන්න පටන් ගත්තේ උඹ වෙනුවෙන්.. හැබැයි මෙතනට එන්න කලින් බොහොම ලොකු වටයක් එන්න වුනා මචං.. උඹට හැම දේම හරි යනවා, මතක තියාගනින්, ඒ හැම දේම හරි යන්නේ උඹේ හිත ලස්සන හින්දා. අන්න ඒ දේ නැති කර ගන්න එපා මචන්. යන ගමන ලස්සනට ගිහින් ගිය වැඩේ ලස්සනට කරගෙන වරෙන්. හිත ගියොත්, හිත ගිය ලන්තෙන්ම මාලිගාව ගහපන්, හිත ගිය උන්දෑවත් එක්කම යන නිසා. මන් වෙනුවෙන් වුන අර පොරොන්දුව ඉටු කරපං, ඒ දේ මගේ අතේ දුරට ආපහු ආවොත් එනකන්..

හොඳ දොස්තරෙක් වෙයන්. උඹට පුළුවන් එහෙම එකෙක් වෙන්න. උඹට එහෙම වුනාම අම්බානක් හම්බ කරන්න බැරි වෙයි සමහර විට. හැබැයි මිනිස්සු හම්බ කරපං, මැරෙද්දි ගෙනියන්න පුළුවන් දේවල් ගොඩ ගහගනින්. වෙන එකෙක්ට වඩා උඹට මන් මෙහෙම කියන්නේ, උඹේ විදිය මම දන්නා නිසයි. ඔව් උඹට පුළුවන්.

මෝරා, බඩියා, කලේ ඇන්ඩ් ජේක්. අවුරුදු ගානකට පස්සේ හතර දෙනා ආපහු බදාදා හමු වේවි. තව අවුරුදු ගණනාවක් වෙනුවෙන් අපිට වෙන් වෙන්න සිද්ද වෙන්න කලින්, ජීවිතේටම මතක හිටින, ගොඩක් වැදගත් දවස් කීපයක් ගත කරන්න ලැබෙයි මචං. කොහේ ගියත්, ලංකාවෙත් ආනන්දෙත් නම තියපන්. උඹට වරදින්නේ නෑ.

කලයෝ, උඹට ආනන්ද මාතාවගේ සරණයි!

Monday, May 18, 2015

තරිණිට මොකෝ වුනේ?

තරිණි, දැන් ඕක තමයි සෑහෙන දවසක ඉඳන් බුකියේ ට්‍රෙන්ඩින් ටොපික් එක.

කොල්ලන්ට තරිණි තරිණි කියන්නේ හෙන ආතල් එකක්, කෙල්ලන්ට නම් ලොකු කුතුහලයක්, මොකද්ද සීන් එක කියලා අහපු කව්රුත් නොකියන බවයි වාර්තා වුනේ.


හැබැයි ඕකේ පොඩි ගත යුත්තක් තියේ.

තරිණි ගැන කිව්වොත්, තරිණිලා හැම තැනම අද ඉන්නවා. ඒකට හේතුවක් තියේ..

සමාජයේ අපි දකින සමහරු විතරක් සාන්තුවරු, සමහරු විතරක් මැරයෝ, යක්කු,වනචරයෝ, දෙවිවරු. ඒ නිසාම, ශරීර කූඩුව ඇතුලේ ඉන්න චරිතේ එක එකාගේ එක එක විදියයි, එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ.

නෑ. ඒක වැරදි යි.


ඇත්ත කාරනාව, "මනුස්සයා" කියන නමින් අපි හඳුන්වන, කලින් කිව්ව කොයි ජාතියේ මිනිහා ඇතුලේ වුනත් ඉන්නේ එකම සතා යි. දෙවියා, යක්ෂයා,වනචරයා වගේම වනචාරියා ඔය කොයි චරිත ලක්ෂණත්, කොටින්ම ගල් යුගයේ උන්න මස් වැද්දාගේ ඉඳන්ම ගති ගුණ අනලා මුහු වෙච්ච එක හා සමාන "චරිතයක්" තමයි ඔය කොයි කාගේත් ඇතුලේ ඉන්නේ..

ඇයි එහෙනම් මේ ගති ගුණ වෙනස් වෙන්නේ, කොයි කාගේත් ඇතුලේ ඉන්න එකෙක් නම්?

ඔය ඇතුලේ ඉන්න චරිතෙන් කොයි කොයි ලක්ෂණ ඉස්මතු වෙලා කොයි කොයි ලක්ෂණ යට යනවද කියන කාරණය, කොටින්ම දෙවියෙක් වෙනවද යක්ෂයෙක් වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ උගේ ගත වුන ජීවිතය මත. ගත වුන ජීවිතය කියන්නේ මොකද්ද කියනවා නම්, උගේ බාල කාලය, උගේ ඇසුර, ඌ ඇහුව දැක්ක දේවල්, ඌ ඇසුරු කල පොත පත වගේම එතනින් එහාට සිදු වුන හැලහැප්පීම්, උගේ වෘත්තීය කියන දේවල් මත කොයි කාගේත් ඇතුලේ ඉන්නේ එකම එකෙක් වුනත්, උගෙන් මතු වෙන්නේ කුමන ලක්ෂණද කියන දේ තීරණය වෙනවා.

අතීතයට වඩා අද තරිණිලා වැඩි ද?


උත්තරේ ඔව්.

ගෑනු පිරිමි බේදයක් නැතුව, එදා අද වෙනසක් නැතුව, ඇතුලේ ඉන්න එකා කවදත් එකම උනත්, අද තරිනිලා මතු වෙනවා වැඩියි. ඒකට හේතුවක් තියෙනවා. අර ඇතුලේ ඉන්න 'එකී'ගේ බලපෑම නිසා, කාන්තාවෝ කොහොමත් කැමති නිදහසේ ඉන්න. එක, තනි පිරිමි පරානෙකට ඇලීලා පවුලකට බැඳිලා ඉන්න ප්‍රියතාවක් කොහොමත්ම කාන්තාවන්ට නැහැ.


මාතෘත්වයට ගෞරවය දීලා තියෙන සමාජයක් ඉස්සරහා, පොඩි කාලේ ඉඳන් ඔලුවට වැටුන/දාපු අදහස් වලට එදිරිව මෙහෙම කතා කරන්න ගියොත් ගුටි කන්න වුනත්, ඇත්ත කතන්දරේ තමයි ඒක. අතීතයේ කාන්තාව කියන චරිතය පිරිමියාගේ රැකවරණය අවශ්‍යම තැනක තියලා බෙල හීන කරලා තිබුන බව නොරහසක්. තමන්ගේ නිදහස, තමන්ගේ විමුක්තිය අවශ්‍ය බව දැනුනත්, තමන්ගේ දේ තමන්ට කරගන්න බැරි තත්වෙක උන්න කාන්තාවට, තමන්ගේ පිරිමියාට බැඳිලා සිටිනවා විනා කල හැකි අන් දෙයක් තිබුනේ නැහැ. කෙටියෙන්, එදා තිබුන පරිසර තත්ත්වය, ඇතුලේ ඉන්න එකීගෙන් "තරිණි"ලාව මතු කරන්න ලොකු ඉඩක් දීලා තිබුනේ නැහැ. තමන්ට බැඳුන පිරිමියාගෙන් මොන අඩත්තේට්ටම් වුනත්, තමන්ට රස්සාවක් කරගන්න බැරි, තමන්ගේ කටයුතු වෙනුවෙන් සමාජය ඉදිරියේ සමාජය සමග මුසු වෙන්න වගේම ගැටෙන්න හයියක් නැති තැන, ගැහැණියට කල හැකි අන් දෙයක් ඉතිරිව තිබුනේ නෑ. කාන්තාවකගේ කෙටි කාලීන ලෝයලිටි එක ආකර්ෂණය මත පදනම් වෙලා කල් ගත වෙද්දී එක්ස්පයර් වුනත්, දිගුකාලීන ලෝයලිටි එක පිටිපස්සේ තිබුන රහස ඕකයි. අවබෝධය මත ඇතිවෙන හිතවත් පක්ෂපාතීත්වය කොච්චර දුර්ලභද කියනවා නම්, ඒ ගැන කතා කලත් කෙනෙක්ට ඇති වැඩක් නැහැ.


අද තත්වය වෙනස්.

තමන්ගේ වියහියදම් තමන්ට සපයාගන්න පුළුවන්, තමන්ට යන්න ඕනේ තැනට වාහනයක් පැදගෙන යන්න පුළුවන්,සමාජය එක්ක මුහු වෙලා තමන්ගේ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්, ඉස්සරට වඩා ශක්තිමත්,පිරිමියා එක්ක හරි හරියට කරට කර ඉන්න ගැහැනියකට, ඕන දෙයක් දරාගෙන එකෙක් එක්කම ඉන්න තරම් අමාරුවක් නැහැ. සිදු විය යුත්තේත් එයම යි. නමුත්, අර ඇතුලේ ඉන්න "කෙනා" සමහරවිට ඔය පියවරෙන් ඔබ්බට කාන්තාව මෙහෙයවපු අවස්තාවක් තමයි තරිණි. අනිකාගේ නාසය අගට විතරක් බස්තම වන්න තියෙන පෞද්ගලික හිමිකම තමන්ගේ හුදු ආශාවන් වෙනුවෙන් එකෙකුගෙන් නොනැවතී කිහිප දෙනෙක්ගේම නාස් පොලු බින්දෙන්නම බස්තම වන්න තැනට කාන්තාව පත් වීම නම්, විය යුත්තක් නෙවේ
.

පිරිමියා වගේම කාන්තාවත්, පනින කොටු ඕනෑ තරම්. එතනින්, පිරිමියා කොටු පනින්න පටන් ගන්නේ සෑහෙන මුල සිටමයි. පිරිමියා කොටු පැනලා, අවසානයේ ඇති රහක් නැති වග දැනගන්න වයසත් පහු කලාම තමයි ගැහැණියට කොටු පනින්න නිදහසක් ලැබෙන වයස උදා වෙන්නේ. නමුත්, ඔය කොයි පාර්ශවයට වුනත් ඇරියස් පිහිටියෝතින් නම්, රහක් නැති වග තේරෙන්න ගත වෙන කාලය නිසාම ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වෙන්න බැරි නෑ.

ඔය වීඩියෝ එක ගහපු එකා ඉන්නේ අන්න එහෙම තත්වෙක. හිත බිඳීම නිසා අවස්ථාවට නොගැලපෙන උන්මත්තක හැසිරීමක් පෙන්වීම හරි හෝ වැරදි වේවා, විවාහ වී දරුවන් සිටිද්දී පවා කොහේ හෝ යන තරිනියෙක් ඇඟ දවටාගෙන කරගත් මෝඩකම, ඇරියස් පිහිටීමේ විපාකයක්.



Saturday, May 9, 2015

මගේ ක්‍රෂ් මටම ක්‍රෂ් !!!

මට ඉන්න ක්‍රෂ් විවිධාකාරයි ය.මගේ ක්‍රෂ් අතරින් පලවෙනි කාණ්ඩයේ විසේසත්වය වන්නේ පෙනුම ය. හේතුව පොත්තේ සුදු කමක් හරි ලස්සනක් හරි නෙවේ ය, පෙනුමෙන් හැසිරීමෙන් නිකන් ලීඩර්ෂිප් එකක් වගේ තියෙන ගෑල්ලමයින්ට මං හෙන කැමතී කියා මට හිතෙනවා ය. පොත්ත සුදු උන් දැක්කම ලස්සනයි හිතුනත් උන්ට ක්‍රෂ් වෙන්නේ නෑ ය.  අනේ මන්දා ය. එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි මුත් උන් මාව දන්නෙත් නැතුව ඇති කියලා හිතාගෙන මං බෝම උපේක්සා සහගතව ඉන්නවා ය. 

අනිත් වර්ගයේ  ක්‍රෂ් එක අදහස් ආකල්ප වලට ක්‍රෂ් වෙන එක ය, මේ කැටගරි එකේ ඉන්න ඔක්කොම මට වඩා අවුරුදු හතර පහ හය හත වැඩිමල් වීම විසේස ලක්සනයක් ය. එව්වා ඉතිං ඔබ්වියස් ක්‍රෂ් නිසා බය වෙන්න දෙයක් නෑ මූණටම කියනවා ය. මේ වර්ගයේ ක්‍රෂ් මොකක් හෝ කෝලමකට ඇඟට නගින්න එන තුරුම ක්‍රෂ් එක නොනැසී පවතිනවා ය. කෝමත් මං මගේ වයසේ උන් (ගෑල්ලමයි) එක්ක වැදගත් දෙයක් කතා කරන්න ආස නෑ ය. උන් ඉන්න සුරංගනා ලෝක මම උපේක්ෂාවෙන් විඳ දරාගන්නවා ය. මේ කැටගරි එකේ ක්‍රෂ් එක්ක වැදගත් මාතෘකා කතා කරන්න මං හෙන කැමැත්තක් දක්වනවාය. හැබැයි මුන්ගේ පෙනුම ගැන කීමට ඒ හැටි දෙයක් නැතිය. එච්චරටම චොර යැයි ද හිතන්නට එපා ය. 


අනිත් ක්‍රෂ් ජාතිය ඉන්ස්ටග්රම් ක්‍රෂ් ය, අම්මෝ ගොඩක් උන්නා ය.  එක ඉන්ස්ටා ක්‍රෂ් එකක් නම් හැබැහින් දැක්ක මුල්ම දාම එපා වුනා ය.  හැබැයි තාම ක්‍රෂ් නමුත් දැන් පලවෙනි කැටගරි එකේ ය..  මේ කණ්ඩායමේ එකෙක්වත් මාව දන්නේ නෑ ය.


ඔය ඔක්කොම හිච්චි හිච්චි ඒවා ය. කෝමත් එකෙක් තෝරාගන්න වෙන දාට කිසිසේත්ම ඕක කොලිපිකේසොන් එකක් නම් වෙන්නේ නෑ ය කියා මම දන්නවා ය.


මෙයිනුත් පලවෙනි හා තුන් වෙනි වර්ගයේ අය සමග වචනෙකට දෙකකට වඩා කතා කර නොමැති වීම හෝ කිසිසේත්ම කතා කර නොමැති වීම විසේස ලක්සනයක් සේ සැලකීමට ද පුළුවන් ය. 


කතාතුරකින් සෙට් වෙන වෙනස්ම හතර වෙනි කැටගරියක්ද තිබේ ය. මේ කැටගරිය මොන මගුලකට හිත යනවාද  මං දන්නේ ද නැති ය. එක්කෝ මල කෝලමක් ය , නැත්තම් මං ගැන අම්බානක වද වෙන්න ලෑස්ති ඩයල් එකක් ය. පණ ඇරගෙන ය. හම්මෝ ය. බොහෝ විට මේ කැටගරියට පොඩි පහේ පෙනුමක්ද පිහිටා ඇති බව ඉතිහාසය පෙන්වා දෙනවා ය.


ඕම මේම බැලුවාම වත්මන් ක්‍රෂ් පහක් විතර ඉන්නවා ය. ඉතිහාසය පුරා විස්සක් විතර ඉන්න ඇති ය.  සිව් දෙනෙක්ගේ පොත්ත තරමක් සුදුය, අනිකාගේ පොත්ත ස්වල්ප වශයෙන්  සුදුය. නමුත් මට ක්‍රෂ් වීමට බලපාන්නේ පොත්තේ සුද නොවන බව ඉතිහාසය පුරා සාක්ෂි ගෙන හැර බැලීමේදී පෙනී යනවා ය.ඉන් අති බහුතරය මට වඩා කලුය. මං කලුයි කියන්නේ මට සාපේස්සව ය. කෙසේ වෙතත් දුටු මතින් ඉටි රූපයක් බඳු වූ රූප සුන්දරියන් දුටු සතුටු ලයිස්තුවේ සිටියත් ක්‍රෂ් ලයිස්තුවේ නොසිටි බව මා අවදාරණය කොල යුතුම ය.


හැබැයි ඔය ක්‍රෂ් අතරෙ තාම මගේ කරගන්න හිතෙන තරම් ප්‍රබල ක්‍රෂ් එකක් ජීවිතේට තිබිලා නෑ ය. (ඒකත් කියන්න එපයි ය.)  ඒ මොනා උනත් ක්‍රෂ් එකක් ගැන දවසට විනාඩියක් දෙකක් හෝ කල්පනා කිරීමට කතා කිරීමට ලැබීම පොඩි පහේ ලල් එකක් ගෙන දීමට සමත් ය.


මාව ක්‍රෂ් කරන් සිටි  මං දන්නා අය විවිධාකාර නැතිමුත් පුදුමාකාරයි ය.උන්ට මඥ්ඥන් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ ය. එක්කෙනෙක් ක්‍රෂ් යුගය පුරාවට(  පසුව වෙන යුගයක් උදා වුනා ය) හිතන් ඉඳලා තියෙන්නේ මං අයියෙක් කියලා ය. තව එකෙක් මාස හයක් පුරා මගේ පස්සෙන් එලෝලා, මං බස් එකෙන් බහින තැන හොයාගන්න දුන්න අති විසාල ගේම  මම දන්නේ ඒක පාෆොච්චාරණය කොරපු දවසේ සහ ජීවිතේ දෙවෙනියට හම්බුන ලව් ලෙටර් එක අදාළ චූදිතයාම මගේ අතේ ගුලි කල දා ය (මං ඒ වෙද්දී ඒම එව්වා ලියලා නෑහ්හ් ය) මං ඔව්වා ලිව්වේ එකෙක්ට විතරයි ය.  හැබැයි ඇස් ඇම් ඇස් වෙනුවට කන්දක් විතර ඔව්වා ලිව්වා ය.


තව එක ඔබ්වියස් ක්‍රෂ් එකක් උන්නා ය, අනෝන්‍ය වසයෙන් හොරෙන් හොරෙන් කරස් වී ඉස්කෝලෙන් අවුට් වුනාටත් පස්සේ දවසක මරදාන ඉස්ටෙසොමේ පාලමේ ඉඳන් පාපොච්චාරණය කල දාටද පෙර සිට මම බළලා දැක තිබුනා ය. හම්මේ ඉතිං මේමත් කෝලන් ය.  අම්මපා ය.


මාගේ ක්‍රෂ් පුරාණය මෙතකින් සමාප්ත නැති ය. මා මේ සැරසෙන්නේ කුමක්දෝ අඩව්වකට බව නම් තතු දන්නෝ අදහස් පලකරනු ඇති ය. අනේ නැතිය. තාම නැතිය. මං මේ ටිකේ බිසී ය. බිසී ඇයි කියාද තතු දන්නෝ පවසනු ඇති ය. ඒවා මෙහි නොකිවමනා ය. 


කෙසේ වෙතත් මේ කොයි සක්කරවට්ටමත් මගේ ක්‍රෂ් එකක් වන්නේ මේකප් තලියක් උලාගෙන මදිවාට මූනේ පාටට නොගැලපෙන තරමේ අධි සාන්ද්‍ර ලිප්ස්ටික් තලියක් උලාගෙන සිටිනු මා දකින දිනය එනතුරු පමණි ය. මේකප් හොඳ ය. ලිප්ස්ටික්ද හොඳ ය. අධි සාන්ද්‍රණ වමනය කැන්දන සුළු ය. මෙතෙක් පැවතී බහුතරයක් අහවල් ඒවා පලා ගියේ එවන් මොහොතක දී වීම සිහි තබා ගත යුතු කරුණ කි ය.

Thursday, April 30, 2015

හිතේ දහම හා පොතේ දහම





















හරස්වුණු උතු නියාමයෙන්
සුසුම්ලන සුලිසුලඟ,
කඳුළුලන ගංවතුර
වැලපෙන මහ පොලව

මත නැගෙන,

සුනු නොවූ බුදු පිළිම

අද්දර..

"අහෝ සත්‍යයි බුදු දහම"

කියැවෙයි නම්,

ත්‍රිලක්ෂණයට 
හසු නොවූ
සංඛත ධර්මයක් ලෙස

'කොන්ක්‍රීට්'

ත්‍රිපිටකගත කර

බුදු දහම
නැවත 'සත්‍ය' කරනු පිණිස..

මෙතේ බුදුන්
දැන් දැන්ම වඩිනු ඇත...



-අල්තයීර්


ඡායාරුව අල්ජසීරා පුවත් සේවයෙනි.
america.aljazeera.com

Wednesday, April 8, 2015

සඳ පහන් රැයේ-මගේ හීන නිද්‍රාව..

චීනවරාය යුද හමුදා කඳවුරේදී මගේ මිත්‍රයෙක් ගත්ත ඡායාවක්
එවිඳු මොරගොඩ. 



      ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්.. මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.





මුව උඩින් පාත්වී හිඳී 
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ

Friday, February 20, 2015

මගේ මේසය-අලුත් රස්සාව-ආපහු බ්ලොග් ලිවිල්ල හා අතුරු කතා



උනා  උපැස්  යුවල
වීසි කර  මේසය  මතට
දෑ අතින් හිස  බදා
බර දෙමි මේසය උඩට

හරි බරි ගැසී පුටුව උඩ
ඇඟිලි තුඩු  හිස කෙස් මුලට
තබා  තද කර සුවක් සොයමින්
පෑන් අග හපමී නිරන්තර


අත් ඔරලෝසුවේ ටිකි ටිකිය
යදී සුරතේ උණුහුම
රැයක් අද ගෙවාලූ
හෙට උදේ හිරු
එන්න පළමුව

ගෙදර  ආ විගස
වේවැල් පුටුව නොකැරකෙන
කිරි කිරිය අයදින
උඹත් මට මහ බරක්
ඉදගත් වනම මුමුණන


පාවහන් යුග පයට පෑගෙන
ඉනූ තැන තවමත් එසේ ඇත
ඇඟිලි තුඩු බිම තදින් තෙරපා
දෙන්න හිතෙයි පා පහර අද හෙට


හෙට උදේ යලි ඇදෙමි
වියපත් දෙපා විසි වසට
තවත් අඩියක් තවත් එඩියෙන්
තබන්නට ඉඩ ඇතිද සෙවුමට


ආපහු  ලියන්න, මේ බ්ලොග් කටුවම.. අපමණ දේ ලිව්වත් බ්ලොග් කටුව වෙනුවෙන් කිසි දෙයක් ලියන්න බැරි වුන පහු ගිය අවුරුද්දේ අවසන් කාලේ පටන්, ජීවිතේ සිදු වුන සංක්‍රාන්ති බොහොම යි. නොම්බර එක, පොඩිවට බ්ලොග් කටු වලටයි ලට පට අනන් මනං වෙබ් වලටයි ලිපි ලිය ලිය උන්න සූටි කොලුවා මවුබිම සිලෝන් ටුඩේ පත්තර කන්තෝරුවේ වෙබ් මාධ්‍යවේදියෙක් විදියට වෘත්තීය ජීවිතේ පටන් ගත්තා. ඒ වගේම තව උනන්දු මූණු ටිකක් එක්කාසු කරගෙන අලුත් වැඩකුත් පටන් ගන්න පුළුවන් වුනා. මෙන්න මෙතනින් ගිහින් අපි කීප දෙනෙක් කරපු වැඩ ටිකක් බලාගන්නත් පුළුවනි.  



පහු ගිය දොහේ  කරපු වැඩ අතරින් වැඩියෙන්ම හිත ගියේ වෙනම දේකට යි. අර්ධ නාගරික පරිසරයක තැලුණු පොඩි වුන පුංචි හිත් හදන අධ්‍යාපන පරිසරයක හය වසරේ ඉඳන් දහ තුන වසරට යනකං පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කොම එකතු වෙලා කරන සුහෘල්ලේඛා චිත්‍ර ප්‍රදර්ශනයට සහ සම්බන්ධ වෙන්න මටත් පොඩි ඉඩකඩක් ලැබුනා. චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය වෙන්නේ බ.ප./කැළ. මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ චිත්‍ර කලාව හදාරන සිසු සිසුවියන් අතින්. චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් සියලුම ඡායාරූප සහ ඩිසයිනින් වැඩ ටික මට බාර වෙද්දී දැනුන සතුටට වඩා, මාස කීපයක් පුරාවට මේ පොඩ්ඩෝ පොඩ්ඩියෝ එක්ක ගත කරද්දී මම ආපහු මගේ පාසල් කාලයට ගියා. සුහෘල්ලේඛා චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් මම විවෘත කරලා දුන්න පුංචි බ්ලොග් අවකාශය මෙන්න මෙතනින් බලාගන්නත් පුළුවනි. 


වසර එක හමාරක මහන්සියේ තිරය පිටුපස කතාව මගේ කැමරා කාචයේ සටහන් වුනේ මෙන්න මෙහෙම යි.

























ඔන්න චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 2015 ජුනි මාසේ  25 26 27  කියන දවස්වල, රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්යාල භූමියේ. හැමෝටම එන්න කියලා නිල නොවන විවෘත ආරාධනාවක් කරනවා එහෙනම්. ආපහු බ්ලොග් කටුව දිගටම කරගෙන යාමේ බලාපොරොත්තුවෙන් නවතිනවා. ජය!





Tuesday, October 14, 2014

යාල් දේවි හීන අරං - යාල් පානමට වඩින්න......

කාලෙකට පස්සේ නිව්ස් බැලුවේ යාල්පානමට යන යකඩ මැණිකේගේ ලස්සන බලන්න අදත්.. මුළු ඇඟම හංකිති කවාගෙන ඇඟ පුරා හිරියක් යන අතරේ අනුරාධපුරෙන් කල දමිල නිවේදනය ඇහෙද්දී.... ඇඟ පුරා පිරිලා ඉතිරිලා ගිය හැඟීම් ඇස්දෙකෙන් දොරේ ගලන්න ගත්තා..

දවසකට පැය හයක් කෝච්චියේ,ස්ටේෂන්වල ගත කල කාලයක් තිබුනා.. කෙල්ල එක්ක කෝච්චියේ ගමනක් ගියත්, එකේ වර්ගෙයි ගෙනාපු අවුරුද්දයි ඒක ගැන මගේ අදහස් ගුණ දොස් දේශනේ ඇරෙන්න වෙන දෙයක් කියන්න මගේ කටට එන්නේ නෑ. බැනුමක් අහගන්නකම් මගේ කියවිල්ල නවතින්නෙත් නෑ. හදවතක් නැති යකඩ මැණිකෙලාට ආදරේ කරන හදවත් තියෙන සප්‍රාණික මිනිස්සු බොහොමයි. ඒ මිනිස්සුන්ට ජීවිතේට අමතක නොවන දවසක් තමයි ඊයේ වගේම අද..

යාල් දේවි හීන අරං
යාල්පානමට වඩින්න..
යාල් දේවි උඹ තරහද
අහිතක් නෑ මට කියන්න

යකඩ හදට උඹේ රිදුනද
මිනිස් අතින් නුඹ පෙලුවද
ලේ මස් කැටි කොට මිරිකුණු
හද කාගේද උඹ හිතුවද

සම් මස් ඇට ලේ විහිදුනු
යදඬු අතින් නුඹ පෙළුනද
තූ තූ කොට උඹ කෙලෙසුව
එවුන් තාම පණ පිටින් ද?

යාල් දේවි හීන අරන්
යාල්පානමට වඩින්න
මෙච්චර කල් නාවේ මොකද
හීන් සැරේ දැන් කියන්න


Saturday, September 6, 2014

හිත නැවතුන තැන.....

පරිපූර්ණම සතියක නින්දක් නැතිව ගත කරපු අවසාන දවස් තුනේ හදවතට වැඩිපුරම සමීප වුන දවස අද. ඊයෙ දවසේ බැච් පාටියේ රාත්‍රියටත් වඩා අද හවස මගෙ හිතට සමීප වුනා කිව්වොත් කවුරුත් මගෙ එක්ක අමනාප වෙන එකක් නෑ කියලා හිතනවා  ගෙදර එද්දි රෑ එකොලහ ලං වුනත් මේ සටහන ෆේස්බුක් එකට වගේම බ්ලොගේට එකතු නොකර නිදාගන්න හිත ඉඩ දෙන්නෙ නෑ. මේක එක අතකට පම්පෝරියක් තමයි, හැබැයි එක්තරා විදියක.

නින්දක් නැතිව එක දිගට දවස් කීපයක් මහන්සි වෙන එක වගේම ගමනක් යන්න වාහනයක් නැත්තම් කිලෝමීටර් පනස් හතරක ගමනක් වුනත් අවුරුදු දහයක් පරණ බයිසිකලේකින් යන එක මට මහ ලොකු වැඩක්වත් නුහුරු දෙයක්වත් නෙවේ. මොකද කාලෙකට කලින් උදේ ඉස්කෝලෙ ගිහින් හවස ගෙදර ඇවිල්ලා පුටුවෙ ඉඳගෙන, පහුවදා පුටුවෙන් නැගිටලා ක්ලාස් ගිහින් රෑ දහයට ගෙදර ඇවිත් තව පැය දෙකතුනක් කෙලින් ඉන්න එක ලොකු ගේමක් වුනේ නැති නිසා වගේම අනද අබිමන් කාලෙ පැය හතලිහ හතලිස් පහ එක දිගට ඇහැරගෙන වැඩ කල වාර ගණන මටවත් මතක නැති නිසා.

එහෙම කැපකිරීමක් මගෙන් ලබපු අය බොහොම සීමිතයි. ඒ අය අතරින් අංක එක මගේ ආනන්දය. ඉස්කොලේ බැච් පාටියට යම්දෝ නොයම්දෝ දෙගිඩියාවෙන් උන්න මොහොතක මිත්‍රයන්ගෙ ඉල්ලිම නිසාමයි යන්න තීරනය කලේ. එහෙම මොහොතක මංගල සහෝදරයගෙන් ලැබුනේ අහක දාන්න හයියක් නැති ඉල්ලීමක්. පාටියට කලින් දවසේ ගම්පහ වැඩපොලට ඇවිල්ලා මල් සැරසිලි වැඩ හිරවෙලා තිබ්බ තැනින් ගොඩ ගන්න පුංචි උදව්වක් දෙන්න යන්න තීරනය කලේ ඒ නිසයි. ඒ ගමන වෙනුවෙන් සතියේ වැඩ කටයුතු එහෙ මෙහෙ කරගනිමින් ඉන්න මොහොතක කලණක සහෝදරයගෙන් ලැබුනේ තවත් අහක දාන්න බැරි ඉල්ලීමක්. කලින් දවස් දෙකේ යොදාගෙන තියෙන වැඩවල වෙහෙස ගැන වගේම බැච් පාටියෙන් පස්සෙ මං ගෙදරයන වෙලාව ගැන හාංකවිසියක් නොදන්වාම බැච්පාටි රාත්‍රියෙන් පස්සේ ගෙදර ඇවිත් ආයෙත් පැය කීපෙකින් ආපහු කොළඹ එන්න වචනෙ දුන්නෙ මංගල වගේම කලනක සහෝදරයගෙත් වචනයක් අහක දාන්න මට බැරි නිසාමයි.

අද මං මොකක් හෝ තැනක ඉන්නවා නම් ඒ ඉන්නෙ මගෙ දෙමව්පියො, ආනන්දය වගේම මේ නම් කිව්ව නොකිව්ව මහෙ සහෝදරත්වයේ ඉන්න යාලුවෝ නිසා. මේ කොල්ලො සෙට් එක මට මගේ සහෝදරයො වගේ දැනෙන්නේ ගෙදරට ඉන්න එකම එකා මං නිසා විතරක් නෙවේ. ජීවිතේ මං කාපු කටුවලදි මාව තනි නොකර තමන්ගෙ වැඩපොලත් පස්සට දාගෙන මගෙ ජීව්තේ වෙනුවෙන් දුන්න ගාඩ් එක වගේම හිත අවුල් කරගෙන නටද්දි දුන්න සැර වැර උපදෙස් නිසා. මම මේ කියන්නේ කොහෙවත් යන ගෑනියෙක්ගෙන් බූටක් කාපුවාම ලඟට වෙලා හොටු පිහලා දෙන එක වගේ බොළඳ දෙයක් නෙවේ, ඇත්ත ජීවිතේ ඊට වඩා එහා ගිය පොලවේ පය ගහලා ඉන්න තත්වේ අවස්තාවල එකට උන්න සහෝදරකම නිසා.

අද කලනකගේ ජීව්තේ විශේෂ දවසක්. ඕනතරම් මිනිස්සු ඔනෑ තරම් ඕනෑවට එපාවට කරන දෙයක, වෙනස් විදියේ ආරකට ජීවිතේටම මතක හිටින සිහිවටනයක් එක් කරන්න මේ දේ සංවිධානය කෙරෙද්දී තිරයෙන් පිටිපස්සෙ උන්න සහ අද එකතු වුන මිත්‍රයෝ ගණන විස්සකට කිට්ටුයි. එහෙව් කණ්ඩායමක මට අද වැඩියෙන්ම සතුටු හේතුව ඒ දේ වෙනුවෙන් කලේ'ටත් කොලේ වහලා අද නිදහස් චතුරස්‍රයට එකතු වෙන්න මම කාපු කට්ට මතක් වෙද්දියි. නින්දක් නැති තුන් වෙනි දවසේ හවස් වරුවේ "අඩෝ උඹ කොච්චර ට්‍රයි කලත් උඹට ඇස් දෙක බාගෙකට වඩා ඇරං ඉන්න බෑ බං" කියලා ජනක සහෝදරයා කියද්දී දැනුන සතුට ඇත්තටම දන්නෙ මං විතරමයි වෙන්න ඇති.

මං ජීවිතේට මුදලට විකිනිලා නෑ, මුදල් වෙනුවෙන් මගෙ එක ඉස්පිල්ලක් හෝ එක දාඩිය බිංදුවක් ගන්න උත්සහකල කිසිම කෙනෙක්ට ඒ මුදල වෙනුවෙන් මම විකිනෙන්න සූදානම් වෙලත් නෑ. යම් හෙයකින් එහෙම නොවුනා නම්, හෙට දවසේ හතරවෙනි ජයග්‍රාහී නිදි නැති දවස වෙනුවෙන් මගේ මුදල්මය වටිනාකම නම් කරන්න මම පැකිලෙන එකකුත් නෑ.නමුත්, ජීවිතේ එක මිනිත්තුවත් කල්ප ගණනක් වගේ දැනුන කාලවල ඒ කල්ප කාලාන්තරේ ජීවත් වීම පහසුවක් කරවපු සහෝදරත්වයේ මිතුරන් දෙන්නෙක් වෙනුවෙන් මගේ උපරිම මහන්සිය කැප කරලා, හෙට සෙනසුරාදා දවසෙ ලැබුන වෘතිමය කටයුත්තේ මගේ මහන්සිය වෙනුවෙන් යෝජනාවුන මුදල්මය අගයන් මම ප්‍රතික්ශේප කලා.

කවදාවත්,කිසිම කෙනෙක්ට මාව හෝ මගේ එක මිනිත්තුවක් හෝ මගෙ අතින් ලියවුන එක ඉස්පිල්ලක් පාපිල්ලක් මුදලට ගන්න ලැබිලා නෑ. නමුත්, කොන්දේසි විරහිතවම මගේ ජීවිතේ හිමිකාරකම කියන්නේ මගේ ආනන්දයත්,මගේ අම්මාත්, සහෝදර සහෝදරියන් හිස් වුනා කියලා මගේ තිබුන සිතුවිල්ල කොච්චර නම් වැරදිද කියලා මට පෙන්නපු කොල්ලො ටික විතරයි,විතරමයි. උන් වෙනුවෙන් කැප කරන වෙහෙස මට ගෞරවයක්. මනුස්සයෙක් විදිහට මට අවුරුදු තුන් හාරසියයක ජීවිත කාලයක් ගෙවන්න ලැබිලා නැති බව හැබෑව. නමුත් ජීවිතේට මුනගැහුනු සමහර ගුණමකු මිනිස්සු වෙනුවෙන් කැප කල අති විශාල කාලෙකටත් වඩා මගේ ආනන්දය,මගේ අම්මා වගෙම මගේ කොල්ලො ටික වෙනුවෙන් හෙලන එක දාඩිය බිංදුවත් මට අති විශාල සතුටක්.



ප.ලි. මේක ලියවුනේ ඊයේ මහ රෑ. නමුත් ඊයෙම පල නොකළේ, ඊයේ දවසේ මගේ කැමරා ඇසට අහු වුන හොඳම චායාරුපය පල කිරීම පිලිබඳ අදාළ පාර්ශව වෙතින් අවසර ගන්න හිතපු නිසයි. ;) ඔන්න ඒකත් හරි :D

Friday, July 4, 2014

ඔබ විශ්වාස කරන්නේ නම්, ජිවිතේ සුන්දරයි..


පුංචි කතා දෙකක්.. ඔබ අවධානයෙන් සිටින්නේ නම්, සීමා මායිම් පරයමින් ඔබේ සිතුවිලි වෙනස් කරාවි.



කතාව අංක එක..



මගේ පුංචි ලේන්නු දෙන්නා. මගේ කිව්වට මගේ නෙවෙයි, අයිතිය මගේ හිමිකාරකමත් කියන ස්වභාවධර්මයටමයි. වෙන කිසිම කෙනෙක්ට ලං නොවෙන මේ දෙන්නා මටත්,මගේ අම්මටත් විතරක්, බය සැක නැතිව ලං වනවා.  කෑම කන වෙලාවට නොවරදවාම ලඟට එන්නේ කන්න දෙයක් වරදින්නේ නැති බව දන්නා නිසායි.


වෙලාවකට මගේ කාමරේ, අදත් එක සිනි බනිසේ බෙදාගෙන අපි තුන් දෙනා කෑවේ. කාලා ඉවර වෙලා එලියට ගියා, එක තුන් ඉරි අප්පු කෙනෙක්, නෑ වැරදුනා. තුන් ඉරි මැණිකේ කෙනෙක්. ඔන්න අම්ම කෙනෙක් වෙන්නයි ලෑස්තිය. 


මගේම කාමරේට රිංගලා මගේ කෑම එකත් කිසි අනුකම්පාව්වක් නැතිව ගිල දාන මෙයා, පුංචි කූඩුව හදන්නත් කපලා තිබ්බේ අප්පච්චි නිදියපු මෙට්ටේ. අරං එද්දිම මං දන්නවා හොරා කවුද,හොරකම කොහෙන්ද කියලා. මං ළඟ උන්නට ගානක් නෑ, මෙයා මං අත පොවන මානේම පුංචි කුඩුවක් හදන්න පටන් අරං. හෙමින් සීරුවේ හොරකම කරගෙන ඇවිල්ලා,මං බලන් ඉඩදීම පුංචි කූඩුව ඇතුලට රිංගුවා. කූඩුව ඇතුලේ පුළුන් නලියනවා විටින් විටේ, හොරකම මට මාට්ටු නෑ කියලා උඩ පනිනවද මංදා. සෑහෙන වෙලාවක් මං බලන් උන්නා. 

ලේනෙක් වෙලා උපන්නත්, උඹත් මව් රැජිනක් තමයි. මෙට්ටේ කපනවා දැක්කේ මං හින්දම හොඳයි.මට හිතුනා.





කතාව අංක දෙක..




අහම්බෙන් හම්බුන වීඩියෝවක්.. ඔබ දුකෙන් සිටින්නේ නම්,මෙය ඔබේ මුවට සිනහවක් ගෙනේවි. හෙඩිමේ තිබ්බේ එහෙමයි.සැවානා තණ බිමක්. සුපුරුදු විදියටම කැලෑ හරක්, සීබ්‍රාවන්, සිංහයන්,චීටාවන් හා හයිනාවන්.අපේ කතා නායකයා මොහොතක වයස ඇති කැලෑ හරක් පැටියෙක්.


අපේ කතා නායකයා මවු කුසින් අපේ සැවානා කරලියට එනවා. විනාඩි කිහිපයක අවෑමෙන්, ඔහු ඇවිදින්නට ඉගෙන ගන්නවා. ගොදුරු සොයා ඇදෙන විලොපිකයන්ගේ අරමුණ,පහසු ඉලක්කයක්.අලුත උපන් අපේ කතා නායකයා,හයිනා රැලකගේ ඉලක්කය බවට පත් වෙන්නේ අන්න ඒ නිසයි.


හයිනාවන් ප්‍රහාරය අරඹනවා, ගව රෑන පැවැත්ම වෙනුවෙන් දිවයද්දී අවසානයේ මව් ගව දෙනත් ඊට එක් වෙනවා. පහසු ඉලක්කය වශයෙන් අපේ කතා නායකයා ඉතිරි වද්දී කොහේදෝ සිටි සිංහ ධේනුවක් කරලියට පැමිණෙනවා.ඇය හයිනා ග්‍රහණයෙන් ගව පැටියාව මුදා ගනු ලබනවා.


ඇය පැටවාව සපා බලනවා. තවමත් කලලාවාරික තරලයෙන් මේ පැටියා තෙත බරිතයි. සිංහ දෙන ගව පැටියාව ලෙව කනවා. තමා සමග සිටින්නා ගැන කිසිම හැඟීමක් නැති ගව පැටියා,නොපෙනෙන මානයේ සිටින තම වර්ගයා අමතක කොට සිංහ දෙනගේ ඇඟේ දැවටෙමින් ඇය හා යනවා.


ඔහුට බඩගිනි, කිරි බිඳක් නැතිව පැය ගණනකට පසු දළු කොළ උලා කන්නට ගව පැටියා උත්සහ දරනවා. සිංහ දෙන අසලම මේ දෙස නෙත් යොමනවා.


නැවතත්, ගව රැල තණබිම් වෙත පැමිණෙනවා. පුදුමයකට මෙන්, සිංහ ධේනුව පටවා ගව රැල වෙත යොමු කරනවා. පැය විසි හතරක් තිස්සේ තමා අතුරේ සිටි ගව පැටවාට මෙන්ම,ගව රැලටත් ඇයගෙන් තර්ජනයක් හෝ සිදු වන්නේ නෑ.


සිදු වූ සන්තැසිය ගැන කිසිදු අදහසක් නැති ගව පටවා දන්නේ බඩගින්න පමණයි. තමන්ගේ මව කොහීද,ඔහු විපරීත වන්නට ඇතී.පැටවෙකුට කිරි දෙන මවකගේ කිරි දිය වෙනුවෙන් ඔහු යොමු වෙනවා. නොපහන් පිළිගැනීමක් ලබන ගව පැටියාව අංවලින් ඇනීමෙන් පලවා හැරෙනවා.


දෛවය, කෙසේ හෝ ගව පැටියාව මව වෙතම යොමු කරනවා. මව්-පුතු හමුවෙන් දෙදෙනාගේම පිපාසාවන් සන්සිදෙනවා.

සිංහයා කැලයේ රජා වුනත් කැලයේ සතුන්ව රකිනවාද? මං ඉස්සර එහෙම හිතුවේ ඇයි කියලා මං තාමත් කල්පනා කරනවා.


කතා දෙක මෙතනින් ඉවරයි,කතා දෙකක් වගේ පෙනුනත් මෙතන තියෙන්නේ එකම කතාවයි. 

සබදතා කිසිවක් අසම්මත නෑ. සම්මතයට පිටින් තිබුනාට අසම්මත වෙන්නෙත් නෑ. ඔබ විශ්වාස කරනවා නම්, ඔබ ජිවත් වන සමාජය කුමක් වුනත්,ඔබේ සිතුවිලි ඔබගේ ජීවිතය ලස්සන කරාවි.



අදට එපමණයි.

-අල්තයීර්




Thursday, June 26, 2014

ලංකා ඊ නිව්ස්! ආනන්ද කොලිජියේ මොටෝ එක අප්පමාදෝ අමතපදන් සල්ලි නැත්තන් නිකා ඉදින්??

සයිබරයේ කෙසේ වෙතත් බුකියේ සැරිසරන විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ හරි අමුතු කතාය.ආච්චිලා සියලාගේ කාලේ හන්දියේ කොපි කඩේටත්,නාන මංකඩටත් වඩා හරි අපුරුවටත් පහසුවටත් වසුරු පීප්ප ගණන් පතුරුවා හරින්න බුකියත් එහි සරි සරණ බුකියෝත් හරි හපනුන් ය. බුකියන්ගේ ටේස්ට් එකට ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්නට බුකි පේජ් සහ ඇඩ්මින් බුකියෝත් බුකියේ හැරෙන හැරෙන අත වැහි වැහැලා ය.


බුකි පිටුවල රසික බුකිවරුන්ගේ හා ගොසිප් සයිට්වල රසික බුවාලාගේ හරි අපුරු සමානතා ඇත. ඔවුන්ට අනුව මේ රටේ වැදගත් දේශපාලනයක නිරත වූ කිසිදු මිනිසෙකු නැත. අපේ රටට ගොඩ ඒමක්ද නැත. පාර්ලිමේන්තුවකින්  වැඩක්ද නැත. ගමේ පොල් අතු මඩුවේ ඉගෙන ගන්නා කෙල්ලෝ හැදියාවෙන් ඉස්තරම්ය. කොළඹ පාසලක ඉගෙන ගන්නේ සල්ලි වැඩිකමකටය.ඒ නිසා උන් වල්කමට ඇනුවල් වෝක් යනවාය. ඉස්කෝලේ යන්නේ කොලබ නම් ඕන කෙල්ලෙක් බඩු ය. කොළඹ බාලිකා පාසල් යනු බඩු පොට් ය. ඒවා වසා දැමිය යුතුය. මෙකි බුවාලා තරම් දැනමුතු බුවාලා ලොවෙත් නැති යයි දකින ඕනෑම කෙනෙකුට සිතෙනවා ය. ඔවුන් තරම් දැනුමින් පිරිපුන් නිර්දෝෂී බුවාලා මේ රටට වාසනාවන් ය. 


මේවා එක අතකින් ට්‍රෙන්ඩ් ය. හෙවත් පෙරකී ඉල්ලුමට අනුව සැපයුම දෙන එල කිරි ටොපික් එකක් හසු වූ කල මවන නිර්මාණ ය.කොයි හැටි වේවා බුකියේත් සයිබරයේ තබා කුමන මාධ්‍යකින් හෝ තමන් අසා දැනගන්නා තොරතුරු පැතිරවීමට පෙර නුවනින් විමසා බැලිය යුතු ය. මේ ලංකා ඊ නිව්ස් හී පලවුන එවැනි සටහනක් පිලිබඳ කෙටි විමසුමකි.


ආනන්දය ගැන මේ මාතෘකාවට එළබෙන විට නොකියා මග හරිය නොහැකි කතාවක් ඇත. ඒනම් ආනන්දය කෙසේ බිහිවී කුමන ගමනක් ආවේද යන්න යි. ලංකා ඊ නිව්ස්වලට අනුව එය බිහිකළේ බෞද්ධ සුද්දෙකි. ඒ අදහස ඉඳුරාම පිළිගන්නා අතර මේ ටිකද එක් කරමි. හෙන්රි ස්ටිල් ඕල්කට් යනු ඇමරිකන් කාරයෙකි, කොකා කොලා ගුගල් ගහන රටේ තවත් එක් වර්ජනය කල යුතු ට්‍රේඩ් මාක් එකකි. නමුත් එකී ට්‍රේඩ් මාක් එක යටතේ බිහිවුන ආනන්දය නම් පාසල කොකා කොලා කෑන් එකට යට වුන කොළඹ පොෂ් සමාජය වෙනුවෙන් නොව ඉංගිරිසිය නිසා බාදාවට පත් වූ තම ජාතිය ආගම පාවා නොදුන් ස්වදේශිකයන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් බිහි වුවකි. එය එදාටත් අදටත් එසේමය. චේතනාව පාරිශුද්ධ වේ නම් ඕල්කට්තුමාගේ ඇමරිකන්කමෙන් අහක ඉන්න ගොබිලන්ට පලක් තිබිය යුතු නැත.


ආනන්දය බිහි වන්නේ බෞද්ධ ඉංගිරිසි පාඨශාලාව නමිනි. ඒනම් ආගමත් ජාතියත් පාවා නොදුන් ස්වදේශියන්ට ඉගෙනීමේ අයිතිය තහවුරු කරන ආයතනය යි. එය බිහි වෙන්නේ අද කාලේ කට වහරට අනුව NGO ඩොලර් හෝ පිට රට කළු සල්ලි වලින් නොවේ. පිටකොටුවේ කොළඹ නගරයේ පාරක් පාරක් පාසා ඇවිද එකතු කර ගන්නා කැට සල්ලි වලිනි. ආනන්දය බිහි වන්නේ රාත්‍රියේ ආලෝකය වෙනුවෙන් ලාම්පු තෙල් මිලදී ගැනීමට කඩපිලට ආ ආච්චි කැටයට දැමු, ඒ සන්තකේටම තිබු සත කාලේ ඒවාගෙනි. නැව් වලින් මෙරටට ගොඩ බට මිෂනාරි අධ්‍යාපනඥයන්ගේ පහස ලත් රැජිනගේ පවුම් වලින් ගොඩ නැගු පාසල් අතරේ පිටකොටුව මැලිබන් විදියේ ගොඩේ සිංහල කොලු ගැටයන්ට අකුරු කියා දෙන්නට පොල් අතු මඩුවක් බිහි වෙන්නේ එලෙසිනි. යාබද පල්ලියේ කෙනෙහිලිකම් මැද මරදානට ස්ථාන මාරු ලබන ආනන්ද කොලීජිය තම පනස්වන සංවත්සරය දිනයේදීත් මරදානේ ඉඩම් ණය තුරුස් ගෙව්වාය. 


අතීත කතා තුලින් මෑත කාලයට එද්දී සිහි වන්නේ මෙවන් කතා පුවතකි.විසි එක්වන සියවසේ අකුරු කරන්නට පැමිණි අපත් භාවිතා කරන විද්‍යා මන්දිර ගොඩනැගිල්ල, 1930-40 දශකයෙදී බිහිවන්නේ දුටුගැමුණු අරමුදලෙනි. ඒ වෙනත් පාසලක අධ්‍යාපනයට සුදුසුකම් නැති සිංහල බෞද්ධ කොල්ලන් පාරක් පාරක් ගානේ ඇවිද එකතු කරගත් රුපියල් හතලිස් පන්දහසකිනි. අදටත් ආනන්දයේ ජිව විද්‍යා විද්‍යාගාර දෙකක්,රසායන විද්‍යා විද්‍යාගාර දෙකක්,භෞතික විද්‍යා විද්‍යාගාර දෙකක්,කෘෂි විද්‍යාගාරයක් හා ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකයක් පවතින්නේ එදා කොලු ගැටයන්ගේ හිඟා කෑමට පින් සිදු වන්නටය.


ඒ ආනන්දයේ එදා තත්වයයි. අද?


අද ආනන්දය යනු දිවයිනේ ප්‍රධානතම පාසලකි. නමින් බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ යි. කෝපාවිෂ්ට ගුරුවරියකගේ අදහසකට අනුව මුදුන් මල්කඩ නොව මුදුනේ මළකඩ යි. එයට යම් සත්‍යතාවක්ද ඇත. පාසල බිහි කළාවූ අරමුණු කෙසේ වෙතත් අද නම් බෞද්ධ අධ්‍යාපනයක් වෙනුවෙන් කාල සටහනේ විශේෂ තැනක් බුදු දහම වෙනුවෙන් ආනන්දයේ නැත. වෙනත් ඕනෑම පාසලක මෙන් ආනන්දයේද ඇත්තේ බුද්ධ ධර්මය විෂයය සදහා කාලචේද දෙකකි.ඉගැනිවීමේ නිරත වන්නේද වෙනත් ඕනෑම ජාතික පාසලකින් මාරුවක් හරි ගිය ගුරුතුමෙක් හෝ ගුරුතුමියකි. ඒ අතරින් තමා මේ පා තබා තිබෙන්නේ, කෙසේ කුමට බිහි වූ තැනකටදැයි දන්නා ගුරුතුමන්ලා මෙන්ම ශිෂ්‍යයෝද අද කාලේ විරලය. කාලය විසින් මැවූ අරුමයකට වඩා එය නම් දැන දැන මවනා ලද වෙනසකි. නුදුරු අනාගතයේ මීටත් වඩා තතු වෙනස් විය හැකිය.



එවැනි වාතාවරණයක් හමුවේ සමාජයේ යම් ස්ථරයකට පැමිණි ආදී ශිෂ්‍යයෝ නොසිටියා නම් ආනන්දය වසා දමන්නට සිදු වී බොහෝ කළකි. විදුහලේ විදුලි හා ජල බිල් වියදම මාසිකව ලක්ෂ ගණනකි. ඒවාට රජයෙන් සොච්චමකවත් ආධාරයක් ලැබෙන්නේ නැත.විද්යාලය විසින් සේවයට ගත යුතුව ඇති අනධ්‍යන කාර්ය මණ්ඩලයද සුළු පටු නැත. ඔවුන්ට සරිලන වැටුපක් සැපයිය යුතුය. ඇතැම් විට අවශ්‍ය සේවකයන් ලබා ගන්නේ ළමුන්ගේ දායකත්වයෙනි,ඇතැම්විට ආදී ශිෂ්‍යයෙකු හෝ දෙමාපියෙකු සහයෝගය ලබා දෙයි.දිවා ආහාරයක් සපයන්නේ ඇතැම් විට ගුරු මවකි,උදෑසන තමන්ටත් පවුලේ උදවියටත් බත් මුල් ඔතද්දී සිහිවෙන හිතෛෂී මුහුණ වෙනුවෙන් තවත් බත් මුලක් එතෙන්නේ මිනිස් කමේ නාමයෙනි. ආනන්දය නමැති සමාජ ඒකකයෙන් ලබා ගන්නා අමිල සත්කාර වෙනුවෙන් කුමක් හෝ දෙයක් ආපිට ලබා දෙන්නට උත්සුක වන පිරිසක් මෙහි වෙති.



ගැටලුව පැන නගින්නේ මෙහිදීය. සාමාන්‍ය පෙළ දක්වා සිසුවෙකුගෙන් වසරකට පහසුකම් හා සේවා ගාස්තු සමගින් පන්තිය පිළිසකර කර ගැනීම සඳහා රුපියල් තුන් දහසේ සිට පන් දහස දක්වා වාර්ෂිකව මුදලක් අයවේ.එයින් සැම සතයක් සඳහාම රිසිට්පත් නිකුත් වන අතර පන්තිය පිලිසකර කර ගැනෙන්නේ දෙමාපියන්ගේ මුල්‍ය කළමනාකාරිත්වයෙන් දෙමාපියන්ගෙන් තෝරාගත් කෙනෙකු සතුව ඇති කළමනාකරණ හැකියාවකින් හා පුර්ණ විනිවිද භාවයෙනි. උසස්පෙළ වසර දෙක සඳහා වසරකට රුපියල් 6000ක් වැනි මුදලක් පාසල වෙත ලබා ගනී. වැදගත්ම කරුණ වන්නේ යම් ශිෂ්‍යයෙකුට මෙම මුදල දැරිය නොහැකි නම් ඒ සඳහා කිසිදු බලකිරීමක් නොමැති වීමයි. එසේ වුවත්,මෙම ආනන්දය නමැති සම්ප්‍රධාය හා සමාජ ඒකකයේ රටාව තුල මොනයම් හෝ අයුරින් පාසල වෙත ඇති ණය ගෙවාලිමට මෙහි බහුතරය උත්සුක වෙති.ආනන්දයට පය තබා හෝ දිනක් මෙහි ජිවත් වී නොමැති, වත්මන් සමාජ ආර්ථික ධාවන තරඟයේ යෙදෙන  අයෙකුට මෙම සංසිද්ධිය වටහා ගැනීමට ඉතාමත් අපහසු වනු ඇත. ග්‍රාම සේවා සහතික අවශ්‍ය නැත, තමාව පෝෂණය කරනා ආනන්දය පවත්වා ගැනීමට සහයෝගය දැක්වීමට තරම් තම ආර්ථිකය ශක්තිමත් නොමැති බව පෙන්වීමට අවශ්‍ය එකම සහතිකය හදවතේ සාක්ෂිය පමණි.



ලංකා ඊ නිව්ස් හි දැක්වෙන මෙම සිද්දියේ අගමුල විමසීමට නම් මෙම තොරතුරු කෙනෙක් විමසා බලා සිටිය යුතුය. ආනන්දය වෙනුවෙන් එක වසරෙන් ළමුන් ඇතුලත් කර ගත් පසු ළමුන් ඇතුලත් කර ගන්නා ප්‍රධානම අවස්තා දෙක පහ වසර ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු මත ඇතුලත් කර ගැනීම හා අ.පො.ස. සාමාන්‍ය පෙළ සමතුන් උසස්පෙළ සඳහා ඇතුලත් කර ගැනීමයි. මේ අතරින් පතර පැරෂුට් එකෙන් බසින්නන්ද නැතුවාම නොවේ. එයද සිමා සහිත වන අතර මා ආනන්දයේ උගත් සමයේදී අප වසරට සිසුන් ඇතුලත් කරගත්තේ ඇති තරම් ඉඩ කඩ තිබු ඉංග්‍රිසි මාධ්‍ය පන්ති දෙකෙන් එක පන්තියකට පමණි. පහ වසර සමතුන් ලෙස ආනන්දයට ඇතුලත් වූ මට මෙන්ම මගේ සහෘද ශිෂ්‍යයන්ටද ඩොනේෂන් පිලිබඳ ඉල්ලීමක් ලැබුනේ නැත.නමුත් මා උසස් පෙලට පැමිණෙන විට තත්වය වෙනස් වී තිබිණ. සියල්ලටම පාහේ පාසලට කල හැකි ආධාරයක් පිලිබඳ ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුන අතර බහුතරය ඇති හැකි අයුරින් කුමක් හෝ දායකත්වයක් සපයා දී තිබුණි. නමට රජයේ පාසලක් වුවත් රජයෙන් කිසිදු නඩත්තුවක් සිදු නොකෙරේ නම් එය තම තමන් සපයා ගන්නා තත්වයට කොළඹ පමණක් නොව දිවයිනේ බොහෝ පාසල් පත් වුයේ අද ඊයේ නොවේ. ඩොනේෂන් සංස්කෘතිය හා එහි ගෝත්‍රික වියුත්පන්නය වන පාගා සංස්කෘතිය බිහි වුයේ ඊට පින් සිදු වන්නටය.

මෙවන් සමයකදී ලංකා ඊ නිව්ස් මගින් වාර්තා කරන්නේ හරි අපුර්ව පුවතකි. සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණි යම්කිසි දෙමාපියෙකුට තම දරුවා ඉදිරියේ එක්තරා ගුරු මාතාවක් විසින් "ඔයාගේ දෙමව්පියෝ ඔයාට සලකන්නේ මෙහෙම නම් ආනන්දයට ඒම ගැන හිතන්නවත් එපා" යනුවෙන් ප්‍රකාශ කර ඇත. 


ලංකා ඊ නිව්ස් වාර්තා කරන සිදු වීම ගැන කියන්නට ඉතිරිව ඇත්තේ මෙපමණකි. බණ්ඩාරනායක නම් ගුරු මාතාව ආනන්දයේ ජෙෂ්ටතම ගුරු මාතාවකි. ආනන්දය හෙවත් තමා පය ගසා සිටින භූමිය කුමක්දැයි දන්නා, විනය ඉහලින් අගය කරනා ගුරු මවකි. එතුමියගේ පාලනයට ඉහලින් ගණිත අංශය උඩින් මැස්සෙකුටවත් පියඹා යා නොහැකි බව එකල අප සිතුවේ බිය මුසු බවකින් මෙන්ම අද වන විට ඉතාමත් ගෞරවයකිනි. මෙම පුවත බොහෝ විට එතුමිය පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් හෝ එතුමිය මෙන්ම සමස්ත ආනන්ද ප්‍රජාව පිළිබඳව ද්වේශයකින් සටහන් වුවක් විය යුතුය. එතුමිය හඳුනන,එතුමිය හා එක්ව කටයුතු කර ඇති ඕනෑම කෙනෙකුට එතුමිය හා මෙකි වචනවල ඇති පරස්පර විරෝධය හසු වේ. 



ආනන්දය බිහි වූ අරමුණ ධනපති පන්තියට අධ්‍යාපනය දීම නොවේ. ධනපතීන්ට එරෙහිව සටන් කිරීමටද නොවේ. සිංහල බෞද්ධ දරුවාට අකැප වූ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමත්, ඔහු ගුණ දහමින් පෝෂණය කර, ඇති හැකි අයෙක් ලෙස සමාජයට දායාද කිරීමත් ආනන්දයේ අරමුනයි. එය එසේ නොවන්නට අද මටත්,තවත් බොහෝ දෙනාටත් ආනන්දය අහිමි වන්නට ඉඩ තිබිණ. ලංකාවේ දහස් ගණනක් පාසල් අතර ආනන්දය යනු තවත් එක් පාසලක් පමණක් බවට පත් වීමට ඉඩ තිබු බව මුළු සමාජයම විසින් ප්‍රත්‍යක්ෂ කොට ගත යුතු කරුණකි. කොළඹ තදාසන්න නාගරික සංස්කෘතියක් මැද ආනන්දයේ දොරටුව පසු කල විට අභය භූමියකට,පන්සලකට ඇතුළු වූ හැඟීම ලබා දෙන්නා වූ ආනන්ද පරිසරය තුල අකුරු කිරීමට අවශ්‍ය එකම සාධකය වාසනාව මිස මිල මුදල් හෝ ඩොනේෂන් නොවේ. එසේම අපව තැනුවා වූ අපව වැදුවා වූ ආනන්දය පෝෂණය කිරීම රක බලා ගැනීම අප ජිවිතයට බරක්ද නොවේ.  කුමන බාහිර බලපෑම් හමුවේ වුවද,ආනන්දය තවත් චිරාත් කාලයක් ආනන්ද ප්‍රජාව තුලින්ම රැකි සමාජයේ දිදුලනවා ඇතී.








Sunday, March 16, 2014

...නිහඬ කල්පනා...



හිතේ හිරවෙන හැම හැඟීමක් ගානෙම වචනවලට හරවන්න තරම් හයියක් නැති කාලෙක, මතකද දවසක් මම මේ පද පේලි ටික කොල කෑල්ලක ලියල අතේ ගුලි කරපු හැටි?

අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේ

දැන් ඉර ගිලෙයි මුහුදේ කළුවර පිපේ දෙපසේ
වෙන්වමු ඉතිං හමුවන සිතින්
අපි ආයේ දවසක.... අද වගේ..


   අමතක වෙන්න විදියක් නෑ, ඒ කොල කෑල්ල අදටත් පරිස්සමට තියෙනවා ඔයා ගාව,මං දැක්කා,මං දන්නවා.

   එදා අපි පුදුම වුනා, හිතේ තිබුන හැම හැඟීමක්ම වචනවලට කැටි කරල තිබුන ඒ ගීතයේ ඉතිරියෙන් ඇයි මේ තරමටම අනර්ථයක් වුනේ කියලා..




අදින් පසු ඔබ
ඔබට හිමි මග
ඉතින් මට
උරුම තනි මග
ආයෙමත් හමු වන තුරා
දෙතැන ඉමු අපි මග බලා...


තුටින් හමු වුන
සුහදබව අපි
අරං යමු අපෙ මතක මැදුරට
ආයෙමත් හමුවන තුරා
එකම තැනකදි ජීවිතේ..


  මේ ගීය මෙහෙම කෙලවර වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරක් ලැබෙන්න අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගත වෙලා ගියා..
මීට දෑ අවුරුද්දකට තුන් අවුරුද්දකට කලිං අපි හිතපු අපේ මාවත්, අපි නොහිතපු පැතිදෙකකට අපිව ගෙනිහින්..
ඔයාට මතක ඇති වැව් ඉස්මත්ත,ඔයයි මමයි විතරක් දන්න ඒ කතාවේ යට ගියාව.. ඔයා ගාව ඇති තවමත් ගිම්හානයට මත්තෙන්, ඔයාගෙම නමින් මම කුරුටුගාපු පදවැල් එකතුකරලා දුන්න පුංචි පොත.. බලන්න ඒකේ පෙරවදන,මං අපි හදපු ගහ ගැන දෙපෙත්තෙන් කිව්වා නේද?

   මම දන්නවා, ඔයා කොහේ කොතනක උන්නත් මේ සටහන දකිනවග. ඔයා වෙනුවෙන් මම මේ සටහන අවසාන වශයෙන් ඉතුරු කරන්නම්. මගෙ ජීවිතේටම ගත්ත අමාරුම තීරනයයි මම මේ ගන්නේ.. කවුරු කුමක් වෙනුවෙන්ද මම කියන්නේ නැහැ, ඔයාට විශ්වාස නැති නිසා..

   හැමදාමත් ,ආදරෙයි මං පණටත් වඩා.. අදට වචන ටිකක් විතරක් වුනත්,දවසක මේක ඔයාට අවබෝධ වේවි,මං දන්නවා.ඉන්න තැනක සතුටින් ඉන්න. ඔයා,මම, ලෝකෙ කොයි මුල්ලක උන්නත් මං බලාගෙන ඉන්නවා.
අවසාන වශයෙන් මේ ගී පද පේලියත් මම සටහන් තබන්නම්.

හිරු හිනැහෙන ගන නිල්වන් අහසේ

පහනකි මා හිරු එලියෙන් නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන..


සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙන් නොපෙනෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කල එළියෙන් ලොව බබලන

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුන
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

Friday, February 14, 2014

මිනිත්තුවක කතාවක්-වැලන්ටයින් සහ ඔබ



මං නම් කියන්නේ ඇත්තටම ආදරේ කරන අයට ඒ වෙනුවෙන් වැලන්ටයින් දිනයක් අවශ්‍ය නෑ. ඕනෑම කෙනෙක් හදවතින් ආදරේ කරනවා නම් ගත වෙන හැම දවසක්ම ආදරවන්තයන්ගේ දිනයක් විය යුතුමයි. නත්තලත් ආදරවන්තයින්ගේ දිනයත් කියන දෙකම අද වෙනකොට වෙළඳ භාණ්ඩයක් කරගෙන හමාරයි,වෙළඳ උපායන්ගේ බිල්ලක් වීමට හෝ  රට යන අතට තමනුත් යන්න අවශ්‍ය නෑ. සමහරවිට කෙනෙක් අද මේ දිනය සමරන්න ඇති,හැබැයි තමන්ගේ සහකාරයට හෝ සහකාරියට හැමදාමත් අද දවස සමරපු විදියටම සලකන්න.

   වැලන්ටයින් දීමනා,වැලන්ටයින් තෑගී තරඟ,වැලන්ටයින් මිල අඩු කිරීම්,වැලන්ටයින් සාද එකී නොකී අටෝ රාශියක් දේ අද වෙන විට වැහි වැහැලා.මේවාගේ ඉලක්කය කවුද? මේවාගෙන් ගම්‍ය වන්නේ ආදරය ද? මේවාගේ සැබෑ අරමුණ කුමක්ද? මේ ඔබේ බුද්ධියට නතු කර ගත යුතු කරුණුයි. අවාසනාවකට නත්තල පිලිබදවත් කීමට ඉතිරිව ඇත්තේ මෙවන් කතාවක්. දිනයක සැබෑ අරමුණ හා වටිනාකම් නටබුන් කරමින් වාණිජ ලෝකයේ අරමුණු ඒ මතින් වාසි ලබා ගොඩනැගෙද්දී එහි දුර නොදත් කොටස්කරුවන් වීම හෝ නොවීම ඔබේ සිතැඟි පරිදි තීරණය කල යුතුය.



    හැමෝම කරන නිසා තමනුත් කල යුතුමයි කියන හැඟීමෙන් මිදෙන්නත් අවශ්‍ය වනවා. මටත් ආදරය කරන කෙනෙක් ඉන්නවා, ඒ දේ දන්නා අය " අද මොකෝ කරේ" කියල අහද්දී මට දෙන්න තියෙන උත්තරේ තමයි මේ. නුවණින් හිතා බලන්න, විවෘත ආර්ථිකයෙන් එන වෙළඳ ප්‍රයෝගවලට බිලි වෙනවද, අනිත් අය කරන නිසා තමනුත් කරන්න හිතනවාද,නැත්තම් හිතට එකඟ දේ කරනවාද. තීරණය ඔබ සතුයි.

Related Posts Plugin for WordPress, Blogger...