Thursday, August 6, 2015

අනාගත හිමිකාරිණියට ලියා තබමි !



ඔබ මා දන්නවා විය හැකිය.
නොදන්නවාද විය හැකි ය.
මෙය සටහන් තබන මොහොත වන විට
ඔබ මා දැන සිටින්නේ මොහොතක, දිනයක
නැතිනම් වසරක හෝ දශකයක සිට විය හැකි ය.
ඒ කෙසේ වුවත්, මා ද නොදන්නා මා ගැන
ජීවිත කාලයක් ඉගෙන ගැනීමට සිදුවනවා ඇති බව නිසැක ය.

කාන්තා ගති පැවතුම් මම නොරුස්සන බව
අනේක වාරයක් කියනු සහ ලියනු
ඔබ අසා ඇතිවා, දැක ඇතිවා විය හැකි ය.
නමුත්,
මම මෙහිදී වඩාත් අවංක වනු කැමැත්තෙමි.
ඒ කුමක් වූවද, එයින් යම් කිසි ව්‍යුත්පන්න විශේෂයක් ඔබ තුලින් දුටු වහාම
ඔබව මා වැළඳ ගන්නා බවද කිව යුතුම ය.
පිළිගන්නා බව කිව යුතු ය.

අන් අය ආදර සබඳතා අරඹන්නේ
මං ඔයාට ආදරෙයි කියා විය හැකි ය.
මට එසේ නොහැකි බව කීවොත්
අමනාප නොවන මෙන් ඉල්ලමි.
ආදරය යන්නට මගේ අරුත,
ඕනෑම කැපකිරීමක් කිරීමට ඇති සූදානම යැයි
ඔබ දන්නේ නම් මැනවි.
එසේ නම්,
ඔබට ආදරෙයි යනුවෙන් කීමට මට වසර දෙක තුනක්වත්
ගත වනු ඇති බව,
කාලයාට ඉඩ දිය යුතු බව
ඔබ දන්නේ නම් මැනවි.
මා එසේ කියන දාට,
එහි අගය ද,එහි අරුත ද
ඔබට සිහිපත් වනවා නම් අගනේ ය.

ඔබට නේක හීන තිබෙනවා විය හැකිය.
....මල්වත්තක හිඳ ආදර වදන් මුමුනන්න,
අත් අල්ලන් වැස්සේ තෙමෙන්න......
සරල වුනත්, ඒ හීනවලට මගෙන් ඉඩ ලැබෙනු ඇත.
කෙතරම් බොළඳ වුවද, එවැනි මොහොතක ගත කරද්දී
දැනෙන සතුට, මටද සුළුපටු නැත..
එවැනි කුඩා නමුත් සුළු නොමැති
කිසිවෙකු වෙනුවෙන් කැප නොකළ හීන ගොඩක්
මටද තවම ඇත.
එහෙයින් තවමත්, මා තුල කුඩා දරුවෙකු ජීවත් වන බව මම දනිමි,
ඔබද එය දන්නේ නම් අගනේ ය.

අප දෙදෙනා එක්ව ගත කරන සුන්දර හෝරා ගැන,
ගෙදර විත් මම වචනයක් දෙකක් ලියනවා වෙන්නට පුළුවන.
ඒ වචන ඔබ ළඟ හිඳ මුමුණන විටක
මට රාජකීය හැගීමක් දැනෙනු ඇති බවද
ඔබ දන්නේ නම් හරි අගේ ය.

ඔබ හා මා අතගෙන පාරේ යන මොහොතක
අප පසු කරන කඩවසම් රුව ගැන වර්ණනා කිරීමට ඔබට නිදහස ඇත.
සිතැඟි පවසා කොක් හඬලා සිනා සීමට ද ඔබට හැක.
නමුත්, වැදගත් දේ හමුවේ
අවශ්‍ය විට නිසි තැනදී බරපතල වීමට හැකි නම් අගනේය.

සංස්කෘතියේ සළු පිළිවලින් වසා ඔබටත් මටත් ඇතුලේ සිටින්නේ
නිරුවත් වානරයෙක් බව මා සේම ඔබද දන්නවා නම් වටනේ ය.
ඔබේ සිතැඟි සිර කරනු නොහැකි සේම,ඒ සිතැඟි මා හා හෙළි කිරීම
වරදක් සේ ද මම නොදකිමි.
නමුත්, ඔබ ඔබේත්, මගේත් දෙදෙනාගේම ගෞරවය ආරක්ෂා කල යුතු ය.

මම නිහඬතාව ප්‍රිය කරමි.
අතොරක් නැතිව ඔබ හා දොඩමලු වීමට වඩා,
නිහඬතාවයෙන් සන්නිවේදනය කල හැකි සුන්දර පණිවුඩ
වචනවලට හැරවූ විට මොට වන බව මම විශ්වාස කරමි.
පැය ගණන් සවන්දීමට මෙන්ම,
පැය ගණන් එක දිගට කතා කිරීමට ද මට හැකි වග
ඔබ දන්නේ නම් මැනවි..
මා හොඳ කථිකයෙකු බවද,
මට ඇත්ත සේ බොරුත් බොරු සේ ඇත්තත්
කිව හැකි බව දන්නේ නම් හා,
එවැනි අවස්ථාවල හඳුනාගැනීමට හැකි
අතලොස්සක් සමීපතමයන් ගොන්නට
එක්වීමට හැකි වේවා යැයිද
සෙනෙහසින් පතමි.

මම විකල්පයක් නොවෙමි.
දෙවෙනි තෝරා ගැනීම ද නොවෙමි.
හදිසි තෝරා ගැනීමක් ද නොවෙමි.
දිගුකාලීන හඳුනාගනීමකින් පසු
කෙරෙන තෝරා ගැනීමක් ප්‍රිය කරමි.
එවැන්නක් කෙරෙහි
දැඩි විශ්වාසයක් හා ගෞරවයක් තබමි.

ඔබ මගේ ආදරයට ප්‍රථම ගෞරවය දිනා ගත යුතුය.
කොට ඇඳුමක සරාගී බව මෙන්ම
දිග ඇඳුමක ගර්වය හා රාජකීය බව ඔබ හැඳිනිය යුතුය.
කොට ඇඳුමකින් අවධානය යදින
අසරණ යාචිකාවක් නොවිය යුතුය.
හැඩට සිටින්නට ඔබට ඇති ප්‍රියතා මම හඳුනමි,
ඔබ එසේ සිටිනවාට මම ද කැමැත්තෙමි,
අවශ්‍ය දේ කිරීමට,ඔබට ඕනා තරම් ඉඩ ඇත.
අවධානය යදින්නියන් සහ එසේ නොවන්නන් හඳුනාගැනීමට
මට ඒ තරම් අපහසු නැත.
ඔබ වෙනුවෙන් පූර්ණ අවධානය මා සතුව ඇත.
වෙන කවුරු කියලද, මගෙ අයිතියට?? අම්මා තාත්තා?? සහෝදර සහෝදරී?
නැත! කිසිවෙක් නැත!
තනි,නොබෙදුණු අයිතියක්, ඔබට ඇත!

සුදු පිරිසුදු බවත් කළු සිත්කළු බව හැබෑය,
පෙනුම සිත්කළු නොවුවද
ආකල්ප හා හැසිරීම අවධානය කැන්දා ගන්නා අපූරු ගුණයෙන් යුතු විය යුතු ය.
කෙනෙකු මගෙ ආශ්‍රිතයන් අතර සිටී නම්, මේ කරුණ මත මම දැඩිව පිහිටන බව
ඔබ දැන සිටිය යුතු ය.


මම නිදහස ප්‍රිය කරමි, සංචාරයට ප්‍රිය කරමි.
ඒ, මගෙ ගෙදර අසබඩ කොහේ හෝ වන්නට මෙන්ම
සැතපුම් සිය ගණනක් ඈත කොහේ හෝ වන්නට ද පුළුවන.
පැයක රාජකාරියක් වෙනුවෙන් පිටත් වන මිනිසා
ක්ෂණයකින් තව ගමනක් පිටත්ව,
එදින නිවසට නොඑන්නට ද පුළුවන.
ඕනෑම මොහොතක සූදානම් ගමන් මල්ල සමගින් පිටත් වන මම,
පිටත් වන මොහොතේ නැවත එන මොහොතක් ගැන නොසිතමි.
ඔබට ද,
මා හා එක්වීමට නිදහස සහ විවේකය තිබිය යුතුම ය!

මම තනි තීරණ ප්‍රිය නොකරමි.
සාකච්ඡා කොට තීරණ ගැනීමට හැකි
සම සීල,සම චාග, සම පඥ්ඥා ඇති පුද්ගලයෙකු
වන්නේ නම් මැනවි.

ඔබගේ පෙනුම මට අදාළ නැත.
මේ සටහන රූපයට විශාල තැනක් දෙන්නෙකුගේ නොවන බව
කියවාගෙන යන ඔබට වැටහෙනු ඇත.
ඔබගේ පෙනුම කෙසේ වුවද
බැඳීම තුල ගැබ්වන ආකර්ෂණයේ මෙහෙයවීමෙන්
මා නිතර වර්ණනා කරනු ඇති බව නම්
නොකියාත් බැරි ය.

ඔබ පතන්නේ සාමාන්‍ය ජීවිතයක්,
රස්සාවක්,මුදල්,දරුවන්,උන්ගේ ඉස්කෝලේ හා
අන්තිමේ නාකි වී මිය යාම නම්
මා තෝරා නොගන්නා මෙන් ද ඉල්ලමි.
මා සොයා යන අරමුණක් ඇත,යා යුතු මාවතක් ද ඇත.
සමාජය සහ සුද්දා විසින් උසස් යැයි සම්මත කර දුන් දේ ගැන
මට කිසිදු උවමනාවක් නැත.
සම්මත රාමුවකට කොටු වී
බෙදාගත් වගකීම් යුතුකම් ගොන්නකට මැදි වීමට බලාගෙන
මගෙ ජීවිතයට නාවාටද කමක් නැත.
මම මොහොතකින් අමතක වන දැනුම පසෙක ලා,
ආකල්ප පසුපස හඹා යමි.
ඔබද මා හා ඒ ගමනේ කොයිම හෝ තැනක සිට එකතු වන්නෙක් නම්
මම කැමැත්තෙමි.

ජීවත් වීම පිණිස මුදල් මිස
මුදල් පිණිස ජීවත් වන්නට අවශ්‍ය නම්
මා හා එක් නොවූවාට කමක් නැත.
නමුත්, ගෞරවය යනු මම ඉහලින් අගය කරන සංකල්පයක් බව
වටහා ගන්නේ නම් මැනවි.
ඒ ගෞරවය යනු, සුද්දාගේ දැලට අහු වී ලංකාවේ සමාජය විසින් සම්මත කර ගත්
ඊනියා ගෞරවයක් නොවන බවද වටහා ගන්නේ නම් මැනවි.
ඒ බහුතර සමාජය විසින්,
මම උදේට සරමක් හැඳ හන්දියට පාන් ගෙන්න පයින් යනවා දකිනවා හැරෙන්න
මං ගැන වෙන දෙයක් නොදැන සිටියාට මට දුකක් ද නැති බව
ඔබ හඳුනාගෙන තිබෙනවා නම් යහපත් ය.

ඔබ මා ගැන දැන නොසිටිය යුතු යැයි විශ්වාස කරන
කිසිවක් නැති බව ද මම විශ්වාස කරමි.
ඔබට දැනගන්නට අවශ්‍ය කුමක්ද, ඒ සැම දේටම පිළිතුරු දීමට
මම ශක්තිමත් බව ඔබ දන්නේ නම් අගනේ ය.
මගෙ මුරපද, මගේ ගිණුම්, ඔබේ පාවිච්චියටද ඔට්ටු බව කීවොත්
තව දුරටත් පැහැදිලි වනු ඇතැයි ද සිතමි.

අවසාන වශයෙන්,
මම ජීවිතය පෙළ ගස්වා ගන්නේ
පනස්පහෙන් හැටෙන් මොකෝ මම කරගත්තේයි විස්සෝප වන්නට නොව
කල කී දේ ගැන සතුටු වන්නට,
ජීවිතේ හැම දවසක්ම වෙනස් දෙයක් කරන
ඒකාකාරී නොවන
අලුත් දවසක් කරගන්න බව ද ඔබ දැන සිටිය යුතුය.
ඔබ ද ඊට උනන්දු නම්,
ඔබ වෙනුවෙන් හදවතේ කුටීර හතරම බලා සිටිනවා ඇත!
අන් සියලු සබඳතා ද, වගකීම් ද
ඔබ හමුවේ ශූන්‍ය කිරීමට හැකි බවද
එතැනට මා ගෙන ඒමට ඔබට හැකි වගද
මම අවසන් වශයෙන් කියමි..

ඔබ හමු වූ දිනෙක, මම මෙය ඔබට පෙන්වමි,
ඔබේ අදහස්
දවසක් වුව අසා ඉමි!

ලියා අත්සන් කලේ,
අවන්කෙන්ම මං

Tuesday, August 4, 2015

ගෘහස්ත මෘදුකාංග නිෂ්පාදනය නව මගකට-සු.ප්‍රේ.



මෘදුකාංග නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ගෘහස්ත කර්මාන්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව වෙත නොමිලයේ අන්තර්ජාලය සැපයීම වෙනුවෙන් ඇමරිකාවේ ගූගල් සමාගම හා එක්ව ගූගල් ලූන් ව්‍යාපෘතිය සමගින් තබා ඇත්තේ ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ ගමන් මගෙහි නවමු සංසිද්ධස්ථානයක් බව හිටපු පා.ම. සුනිල් ප්රෙමජයනෙත්ති  මහතා පවසයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති බටහිර කුමන්ත්‍රණවල අවසානය සනිටුහන් කිරීම සඳහා දේශයේ පංචායුධය වන විමල් වීරසේන මැතිදුන් විසින් ගෙන ගිය උදාරතර සංග්‍රාමයේ ජය අත් කරමින්, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ උන්නතිය සඳහා සහ ගෘහස්ත මෘදුකාංග නිෂ්පාදනය සඳහා උර දීමට, එක්සත් ජනපදයේ ප්‍රධානතම මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් තම නවතම මෙහෙයුම් පද්දතිය වන වින්ඩෝස් 10 ද නොමිලයේ නිකුත් කිරීම, ජාති මාමක බලවේගවල නොමද උත්සාහයන්ගේ ප්‍රතිපලයක් බව ද එතුමන් වැඩි දුරටත් සඳහන් කරයි.

Saturday, August 1, 2015

කරනවා නම්, මෙන්න ජීවිතේ ලස්සනම සරල දේවල්

මහ රෑ තනියම, මැස්සෙක්වත් නැති කෝච්චියේ පාපුවරුවේ බිම ඉදගෙන, කළුවර දිහා බලාගෙන එන වෙලාවක, ගෙදර ගිහින් මේ ලෝකේ මම කරන්න ආසම කරන දේවල් ගැන පුංචි සටහනක් තියන්න හිතුණා.

අංක පිළිවෙලක්, හොඳම එක මොකද්ද කියන්නවත් මම දන්නේ නැති වුණාට, මෙන්න මේ දේවල් තමයි මගේ ජීවිතේ දැනට කරලා තියෙන, සහ ඉදිරියටත් කරන ආසම දේවල් කියලා මට කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්, සීමා විරහිත දේවල් එකතු කරලා ලියවුන සීමා සහිත සටහනක් මේ.

මම කරන්න ආස දේවල්වල විශේෂම දේ තමයි, ඒ කාරනාවල සංයුතිය තනිකරම කාරනා දෙකක් මත පිහිටා තිබීම. ඒ තමයි මට බොහෝ වෙලාවට හොයාගන්න අමාරු වෙන "නිදහස් මනසකින් ඉන්න මම", සහ ඒ වෙනුවෙන් ගත කරන්න කාලය සොයා ගැනීම. කාලය ඒ වෙනුවෙන් කොහොම හරි නිදහස් කරගත්තත්, මගේම ඇතුලාන්තය නිදහස් කර ගැනීම තමයි අමාරුම කාරණය. ඒ කාරනා දෙක මුහු කරලා මම ගන්න 'මගේ ආතල් එකේ' පදම සාපේක්ෂව වෙනස්. ඒ වගේම මේ සටහන ලියලා ඉවර වුනාට පස්සේ මටම දැනුන දෙයක් තමයි, ඒ බොහෝ දේ ඇතුලේ ඉන්න එකම මනුස්ස ප්‍රාණියා මම විතරක් වීම, ඒ නමුත් කිසිසේත් ම 'මම' කියන්නේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න හිතන මනුස්සයෙක් නම් නෙවෙයි. 'මම' කියන්නේ නිදහසේ පියාඹන්න ආස, කොහේටවත් බැඳීමක් නැති, තනියම හැදුන, නිදහස් නිවහල් කුරුල්ලෙක්! මට හිතෙන්නේ එහෙමයි. මූලිකවම, මම ජීවත් වෙන බව මටම දන්වන,මගේ ප්‍රධානම සන්නිවේදන මාර්ග තමයි මේ කියලා මම කිව්වොත් වඩාත් හරි.

පාසල් කාලේ ඉදන්ම, මම කරන්න ආසා වුන දෙයක් තමයි නිදහස් චතුරශ්‍රය වටේ තියෙන තණකොළ නිල්ලට වෙලා මුළු දවසම ගත කරන එක. එක යායට වවපු තණකොළ ගොල්ල උඩ, දාගෙන ගිය සෙරෙප්පු දෙක ඔහේ විසි කරලා දාලා, පිටේ දාගෙන ආපු බෑග් එකත් පැත්තකට විසි කරලා, ඉඳගෙන,ඇවිද ඇවිද, ගහකට පිට දීගෙන, බිම නිදාගෙන එකී මෙකී නොකී විවිධ ඉරියව්වලින් මම මේ තැනට වෙලා ඉන්න පුදුම තරම් ආසයි. බිම දිගා වෙලා අහස දිහා බලන්, කකුලක් පිට කකුලක් දාගෙන,මුළු වරුවක්ම මොනාදෝ හීන දකින, ඩෙනිමකුයි අත් නවාපු ෂර්ට් එකක් උඩින් දාගෙන ඉන්න එකෙක්ගේ දර්ශනයක් දැකලා පුරුදු නම්,බොහෝ විට ඒ මං වෙන්න බැරි නෑ! උදේ අටට වගේ මම යනකොට සුපුරුදු ගස මට අහිමි වෙලා නම්, ළඟ පාත කොතන හෝ වේවා මගේ ක්‍රීම් සෝඩා ලීටර් දෙක එක්ක තනි වෙලා,සමහර වෙලාවකට මගේ වටේ ඇවිදින මිනිස් මූණුවලට එබෙන එක මගේ පුරුද්දක්. හිතට කලකිරීමක් දුකක් ආ වෙලාවලටත්, මේසේටයි පුටුවටයි වටනොවී පොතක් පතක් බලාගන්න ඕනේ වුනාමත්, සුහද හමුවකටත් මම යොදාගන්න හොඳම තැන තමයි ටොරින්ටන් තණ නිල්ල. මෙතනට වෙලා අවුරුදු දහ නමයේ විස්සේ 'බබාලා' එක්ක අල්ලන සෙල්ලන් කරපු දවසුත්, බෝතලෙකින් ෆුට් බෝල් ගහපු,ලොකු ලොකු ප්ලෑන් ඇඳපු දවස් එහෙමත් ඕනෑ තරම් ඇති. දැන් නම් එතනම ආකේඩ් කියලා එකක් හදලා තියෙන නිසා තැන ගැන නම් නොදන්නා කෙනෙක් නෑ. උදේ අටේ ඉදං හවස පහ හය වෙනකන් ඔය අවට තනියම නිදහසේ ඇවිද ඇවිද හිටපු දවස් ඕනෑ තරම්.


මම වැඩිපුරම කරන්න ආස දෙයක් තමයි, පහුවදා උදේ පාන්දර කොහෙවත් යන්න නැති සැනසිල්ල තියෙන දවස්වල, රෑ එළිවෙනකන් ඇහැරගෙන, මහ රෑ දවල් හීන දකින එක, ඒ ගැනම මොනා හරි ලියන එක හෝ පොතක් කියවන එක. පාන්දර එක,දෙක,තුන,හතර කියන්නේ මං අහසේ පා වෙවී ගත කරන කාලයක්.එහෙම ගත කරන සමහර දවස්වලට, ප්ලේන් ටී හයක් හතක්, කිරි වීදුරු දෙක තුනක් නැත්තම් කොකා කෝලා ලීටර් දෙකක් නම් වරදින්නේ ම නෑ. මම එදා මෙදා තුර පටන් ගත්ත හැම අලුත් වැඩක්ම සිහියට ආවේ, ඒවා සැලසුම් කලේ, ලියලා තියෙන කවි පංති, නිසදැස්, වෙනස් විදියේ පුවත්පත්/බ්ලොග්/සඟරා ලිපිවලින් වැඩි හරියක් ලියලා තියෙන්නේ මෙන්න මේ හෝරාවල තමයි. පාන්දර ගතවෙන පැය කීපය කියන්නේ මගේ ඔලුවට එක දිගට අදහස් ගලාගෙන එන වෙලාවක්. සමහර මිත්‍රයෝ මගෙන් අහන, මං කවදාවත් උත්තරයක් දීලා නැති "කොහෙන්ද බුද්ධි මේවා ඔලුවට එන්නේ" ප්‍රශ්නෙට දෙන්න පුළුවන් එක උත්තරයක් තමයි මේ මේ කාලයේ මට දැනෙන මැජිකල් ගතිය එක්ක මගේ හිත දුවන දිවිල්ලේ රඟ!

මීට අවුරුදු කීපෙකට කලින් මම ආස වුන දෙයක් තමයි, ආදරේ කරන ගෑනු ළමයාගේ අතින් අල්ලාගෙන යන්න පුළුවන් හැම තැනම ඇවිදින එක. ආදරෙන් ලං වෙලා උන්නත්, කොල්ලයි කෙල්ලයි ජීවිතේට කතා නොකරන විදියේ මාතෘකා කතා කරන එක, ඒවාට රණ්ඩු වෙන එක. ආදරෙන් කතා කරනවට, ගොඩාක් වෙලා ඕන දෙයක් අහන් ඉන්නත් මහ පුදුමාකාර බොළඳ ආසාවක් තිබුණා. ඒ දේවල් නම් අද වෙද්දී ගොඩක් වෙනස්. අද එහෙම ඇවිදින්න කෙල්ලෙක් තියා ඒ තරමට ලං කරගත්ත මිතුරියක්වත් නැති වුනත්, දවසක මම ආස ආයෙත් ඒ දේවල්ම කරන්න නෙවේ. හුඟක් ලඟින් ඉදං ඉන්නවට වඩා මම කැමති යම් පරතරයක් ඇතිව,ඈතින් ඉදගෙන ඉන්න. කතා කරන වචන ගණන වැඩි වෙනවට වඩා, කතා කරන වචන අතර නිහඬතාවය,ඒ නිහඬතාවයෙන් සන්නිවේදනය කරන තේරුමේ ගැඹුර වැඩි වෙනවට මං කැමතියි. කිසිම කෙනෙක් අනවශ්‍ය අගෑලුම් පාන ඒක ගැන, මගේ කිසි මනාපයක් නැහැ. කාලයා විසින් ආසා දේ ආසා නැති දේ බවට හරවන එක ගැන හොඳ උදාහරණයක් මේකත්.

හැන්දෑවේ හතර හමාරෙන් පහෙන් පස්සේ, කවුරුත් ලස්සනයි කියලා නොහිතන තැනක ෆොටෝ ගගහා ඇවිදින්නත් මම පුදුම තරම් ආසයි. හරියටම කිව්වොතින් පිටකොටුව වගේ තැනක,සුද්දගේ කාලේ පරණ ගරා වැටුණ ගොඩනැගිලි, මිනිස්සුන්ගේ නාවර පිරුණු මූණු, වෙහෙස ජීවන බර දැනෙන වටපිටාවක් මැද්දෙන් කැමරාවක් බෙල්ලේ දාගෙන ඇවිදන් යන එක, ඒ රූප සටහන් ගෙදර ගෙනත් පැය ගණන් බලන් ඉන්න එක,මට මහා පුදුම ලස්සන දෙයක්. තව මාස කීපෙකින් හොඳම විවේකයක් අරගෙන ලංකාව පුරා ඇවිදින්න ඇඟිලි ගැන ගැන ඉන්නෙත්, ළඟකදී හිත ගිය මේ පුදුම ලස්සන කටයුත්තේ රහ වැටුණ නිසා. ඒ රූප රාමුවලට ඉගෙනගත්ත දේ යොදවන එකත්, ඒ වෙනුවෙන් පැය ගණන්, වෙන අයගේ වචනවලින් 'නාස්ති කරන' එකත්, මට මහ පුදුම ලස්සන, මම ජීවත් වෙනවා කියන හැගීම මට උපරිමයෙන්ම දෙන කටයුත්තක්.


හමුවීම්-සතුටු සාමිචිවලට මම කොපමණ තැන් යොදා ගත්තත්, ඒ වෙනුවෙන් මට හම්බුන හොදම තැන තමයි දුම්රිය පා පුවරුව. මීට මාස කීපයකට උඩදී,මැදින් පෝය දා ත්‍රිකුණාමල-මඩකලපුව රාත්‍රී තැපැල් දුම්රියේ පාපුවරුව උඩ මිත්‍රයෙක් එක්ක බිම ඉදගෙන කරපු සුන්දර ආගිය තොරතුරු පිලිබඳ කතා බහ මගේ ජීවිතේ තියෙන තාක් මතක තියේවි. වයඹ ලඳු, උතුරුමැද-නැගෙනහිර පලාත්වල මහ ගණ කැලෑ බිම් මැදින් පුර හඳ පිරුණු දවසකගිය ඒ දීර්ඝ දුම්රිය ගමන මගේ ජීවිතේ මම ගිය හොඳම ගමන බව කිව්වොතින්, ඒ කාරණය මං මැරෙන දවසටත් වලංගු වේවි කියා මට විශ්වාසයි.


මගේ ජීවිතේ මම කරලා තියෙන ලස්සනම,හිතට දැනුනම දෙයක් තමයි මං උපයාගත්ත මුදලක් ගිහින් අම්මගේ අතින් තියන එක. ඒ දේ මුල් වතාවට කරද්දී මට යන්තන් වයස අවුරුදු විස්සයි.ඒකත්, පුංචි කාලේ ඉඳන් හීන දැක්ක, මම ආසම කරපු දෙයක්.


මම උපතින්ම ඇවිදින නැකතකින් උපන්න එකෙක් බව මටම දැනුනේ සෑහෙන කල් ඉඳලයි. අවුරුදු තිස් පහක් හතළිහක් වෙනකං උපරිම මහන්සි වෙලා, ඊට පස්සේ හැම දේම අත ඇරලා දාන්න හිතාගෙන ඉන්න සිතුවිල්ලට හේතු වුන එක්තරා බරපතල සාධකයක් තමයි ඇවිදින්න තියෙන බලවත් උවමනාව. ලංකාවේ හැම තැනම, මගේ ජාතියේම එකෙක් එක්ක බැරි නම් තනියම හරි ඇවිදින්න තියෙන ආසාව, මැරෙන්න කලින් පුළුවන් උපරිමෙන්ම ඉටු කර ගන්න මම ගොඩක් වෙලාවට හීන දකිනවා.

සින්දුවක් අහන්න, ඒ සින්දුවක් එක්ක පරණ කතාවකට ආපහු යන්න තියෙන්නේ මම නොදැනුවත්කමින්ම ඇති වුන ආසාවක්. ගීතයක වයලීන් පාට් එකක් අහගෙන හුස්ම අල්ලගන්න, එක පාරටම පපුව පිපිරෙන්න එන හීල්ලුමකින් මම මෙච්චර වෙලා හුස්ම තද කරගෙන අහගෙන ඉඳලා නේද කියලා තේරෙද්දී දැනෙන්නේ හරිම පුදුම හැගීමක්. නිතර නොවෙන, කලාතුරකින් ඇති වෙන ඒ සංවේදනයට හිතා මතා යන්න බැරි වුනත්, එතනට යන්න පුළුවන් විදියේ නිර්මාණ හොයාගෙන රස විඳින එක මම ආසා කරන දෙයක්.

තව ආසාවක් තියෙන්නේ මං ආසම කරන ගායකයන් අතරින් හැකියාවට මම ගරු කරන කීප දෙනා වෙනුවෙන්, ඔවුන්ගේ කාලය ඉකුත් වී යන්න මත්තෙන් මගෙ අතින් ලියවුන පද වැලක් සංගීතවත් වෙනවා අහන්න. ඒ හීනය මංවත් නොදැන උන්න දවසක පීදිලා තිබුණා, ඉතින් ඉදිරියේදී ඒ හීනයත් මල්ඵල දරාවී.



ඒ වගේම, මම ආස කරන හැම තැනකටම, හැම මොහොතකටම එක පැයක් අතරේ හිත යවලා, මම ලිව්ව මේ සටහනත්, මං ආසම කරන දේවල් අතරට මේ මොහොතේ ඉඳන් එකතු වේවි. මම හීන දකින, මම ආස කරන, මම තේරුම් ගන්න, මට තේරුම් යන, මගේ අත්දැකීම් වගේම මම බිඳ වැටුන තැන් හැම දෙයක්ම අකුරුවලට හරවලා, අනිත් අය එක්ක බෙදාගන්න එකත්, මම ආසම කරන දෙයක්. කෙටියෙන්ම කිව්වොතින්, මගේ ජීවිතේ මං ආසම කරන දෙයක්!

Sunday, July 26, 2015

නොවැළපෙනු !

'Cause beyond every bend, there's a long blinding end.


නොවැලපෙනු !

යා නොවුණු මාවතේ.

නොවැළපෙනු !
 හැර ආ මාවත
අතීතකාමයේ ගිලී.
අතිවේග සම්මින්ජයන් කෙලවර
දිසි නොවන එහා ඉම
වේදනාවයි, මා උපරිමය විඳි.


අත හරිනු!

බිඳී ගිය රතු හද.

අත හරිනු!
නොවැළලුනු අතීතය.
අහිමි පෙම
අහිමි කල දේ
පෙමට නිසි වේ දැයි
සෘතු වෙනස වටහනු ඇත.


නො වැළපෙනු 

යා නොවුණු මාවතේ.

නො වැළපෙනු
නුදුටු සුව දසුන ගැන.
අවසන් නොව මැනවි, ඔබ පෙම
අවැසි දා උර බා
ඔබ නමින් සකි අසුන
තවත් මා ලඟම ඇත....


                                (අනුවාදයකි)
                         -කරූ


Weep not for roads untraveled
Weep not for paths left alone
'Cause beyond every bend
Is a long blinding end
It's the worst kind of pain
I've known

Give up your heart left broken
And let that mistake pass on
'Cause the love that you lost
Wasn't worth what it cost
And in time you'll be glad it's gone
Weep not for roads untraveled
Weep not for sights unseen
May your love never end
And if you need a friend
There's a seat here alongside me

-LINKIN PARK-


Wednesday, July 22, 2015

ඇසළ කුමාරයා 2 ( තටු ලැබූ හීන හා මගෙ සුබ උපන්දිනය )

කලින් කතාවේ කිව්ව ඇසල කුමාරයා වගේ, තවත් ඇසල කුමාරයෙක්.  රජ පවුලක නොවුනත්, කුමාරයෙකු නොවුනත්, තවත් එක රාහුල කෙනෙක්. සම්මත රාමුවලට පයින් ගහලා හතර වරිගෙම කලකිරවපු, විකාරරූපී කොලු ගැටයෙක්, ඒ මං!


Friday, July 17, 2015

සුබ පාලනයක්ද යහ අනාගතයක්ද !

මී ළඟ රජය යහපාලන රජයක් වේ යැයි එකෙක් කියනවා ය, සුබ අනාගත රජයක් වේ යැයි තවෙකෙක් කියනවා ය. එසේ කියනා කියනා එකාට එසේ නොවේ යැයි කියන උන් අම්ම මෝ නැතිව බනින අතරේ සමහරු අත්පුඩි ගහනවාය, එකෙක් දෙන්නෙක් ඕන එකකට හූමිටි තියනවා ය, කලාතුරකින් එකෙක් බකන් නිලන් ඉන්නවා ය. බකන් නිලන් ඉඳලා ඉඳලා, සමහර විට මෙහෙම ඒවාත් ලියා තබනවා ය.


Thursday, July 16, 2015

බොරැල්ල කනත්තේ නිහඬ කතා - කනත්ත හරහා නිහඬව ගමන් කල සිව් හෝරාවක්

සියල්ලෝ මිය යති. අති බහුතරය මළවුන් සේ මිහි වැළඳ ගද්දී ඇතැම්හු දිවි ඇත්තන් සේ තව තවත් සජීවින්ගේ හද වැළඳ ගනිති. එකී හදවත්වල උරුමක්කරුවෝ තම හද රැඳී ඡායාවන්ගෙන් අකුරු සිත්තම් ගොතා සදා නොමැකෙන සේ මං පෙත්වල සනිටුහන් කරති. මේ එකී කතාවල අංශුමාත්‍රයක් හෙවත්, බොරැල්ල කනත්ත හරහා ඇදී ගිය වෙනස් ආරක නෙතක ගැටුන වෙනස් ආරක කතාවයි. 

Sunday, July 12, 2015

පින්තූර කතන්දර 02

සංචාරක ජීවිතේදී ඇස  ගැටෙන  දසුන් උප නෙතේ  ඉතිරි කරන මතක සටහන්වලට පුංචි අදහසක් එකතු කරලා සයිබර් තලයට මුදාහරින උත්සහයේ දෙවෙනි කොටස...

පලවෙනි කොටසට මෙතනින්----->

Saturday, July 11, 2015

වර්ෂපූර්ණයක්-අවසානයක් පසු පස ආ ආරම්භයක්-පුංචි කතාවක්


තවත් එක වර්ෂපූර්ණයක්, තාමත් හිතින් අත ඇරගන්න බැරි අතීතකාමයක්, අවසන් වුන කතාවක අවසන් වුන තැන ඉඳන් පටන් ගත්ත අලුත් කතා කීපයක්.. දෙදෙනෙකුගේ අවසන් හමු වීම දා අලුතෙන් පටන් ගත්ත,අලුත් ආරම්භයක කතාවක්..


ඔන්න එක්තරා කොල්ලෙක් ඉන්නවා.. කෙල්ලෙකුත් ඉන්නවා.. යාලු ෆිට් එකක් තියෙන්නේ,දෙන්නට දෙන්නා පොඩි ක්‍රෂ් එකක් නොතිබී නෙවෙයි අඳුරගත්ත මුල් කාලේ, හැබැයි ප්‍රාථමික ක්‍රෂ් එකකට එහා ෆිට් එකක් ගොඩ නැගෙනවා මේ දෙන්නා අතරේ. හැබැයි දවසක් මේ දෙන්නගේ විහිළුවක් දුර දිග යනවා.. ඒකෙ ප්‍රතිපලයක් විදියට දෙන්නට දෙන්නා "ආ හබියෝ" "ආ වයිෆියෝ" කියලා කතා කරගන්න පටන් ගන්නවා, විහිලුවට.

කොල්ලට මේ කෙල්ල ගැන තිබුනේ මොකද්ද අමුතු හැගීමක්, දැක්ක මොහොතේ ඉඳන් හුරු පුරුද්දක් වගේ දෙයක්, ක්‍රෂ් එකක් වුණාට රාගික හැඟීමක් නෙවෙයි. කෙල්ල හිතන් ඉන්නේ කොලුවා අවුරුද්දක් විතර වැඩිමල් ඇති කියලා, හැබැයි මුන් එක වයසේ.

කොහොමින් කොහොමින් හරි අන්තිමේ මුන් දෙන්නා සෙට් වෙනව.

කතාව මේක නෙවෙයි, හැබැයි ලස්සනම කතාව කියන්න මේ ටික නැතිව බැහැ.

Friday, July 10, 2015

වියපත් ජීවක පෙම්වතියට



සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ගැහෙනා එක රුහිරු බිඳක්
ඔබ හා හිනැහෙද බැලුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා පපුතුර
එදා සෙනේහයෙන් සැතපි
යහනේ සුව කොයි සෙවුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා හදවත
රස කර ලිව් පෙමකුරු රැස
කොහෙන් ගැලූවෙද සෙවුමට


සැත් තුඩකින් පලනු මැනවි
මිය ගිය දා මා මළකඳ
ඔබ හා දොඩමලු මුවගට
වදන් ගැලූ තැන් සෙවුමට



මා ඇකයේ හිස හොවාන
ඔබ කන් දුන් හද ගැහේ ද
සැත් තුඩකින් පලන අතර
හෙමින් හොරෙන් බලනු මැනව

Thursday, July 9, 2015

පින්තූර කතන්දර 01

අලුත් වැඩක් හා හා පුරා කියලා පටන් ගත්තා.. සංචාරක ජීවිතේදී ඇස ගැටෙන දසුන් උපනෙතේ සටහන් කරගෙන ගෙදර ඇවිත් පුංචි වචනයක් ඒ වෙනුවෙන් ලියන්න..

ඉතින් මේ තමයි පලවෙනි කොටස.. බුකියට දාන්න හිතාගෙන තමයි හැදුවේ, බ්ලොගේටත් දාන්න හිතුනා.

Sunday, July 5, 2015

වික්ටර්-කොදෙව්ව-මම සහ ඇය (තවත් හිරකරගෙන ඉන්න බැරි කතාවක්)

සමහර මතක ඈතට යවන්න බැහැ.
මරලා දාන්න බැහැ. 

හිතට එන හැම දේම උනත් බොහොම නිදහසෙන් අත ඇරෙන මේ බ්ලොගේට පවා, ගැලපෙයිද නොදන්නා, නමුත් හිතේ හිර කරගන්න රිසි නොවෙන සටහනක්, අද. 
පෞද්ගලික සටහනක්.

Wednesday, July 1, 2015

ඇසළ කුමාරයා ( පුංචි කෙටි කතාවක්)

"මේ කොලුවට බඩගිනි පාටයි..  කන්න මොනා හරි දෙමු.."

අවුරුද්දට දවස් තුන්සිය හැට දෙකක්ම මේ කතාව අහලා හොඳටෝම හුරුයි ඒ කාලේ. වෙසක්, පොසොන්, ඇසළ පෝය දවස් තුන , අවුරුද්දේ තුන්සිය හැට පස් දා වෙනුවෙන් ඉතිරිය ඌණ පූරණය කෙරුවා.

 මහ දවල් පල්ලිය ළඟට වෙලා නාවර පෙරුණු බට්ටෝ ටික එක්ක ඉද්දි ඉගිල්ලිලා ආපු රෝද හතරක් බඩ පිරෙව්වට පස්සේ, රෑ එළිවෙනකන් තනියට හිටියේ කාක්කෝ ලගින මාර ගහ යට කොලපාට බංකුව විතරයි. මාරුවෙන් මාරුවට ආපු බැටන් පොල්ලයි මදුරු රෑනයි නම් හිටපු ගමන් නින්ද උදුර ගත්ත. බංකුවේ නිදාගත්තට බැටන් පොල්ල නාපු දාට ඇඟ රිදෙන්නේ නෑ මෙච්චර. ඌ බීලා ආවොත්, පහුවදා මුළු දවසෙම මට බිම ඉඳගන්නවත් බෑ.


 කමක් නෑ, එදා ඇසල පෝය. පැත්ත පළාතටම ඇසල පෝයට තියෙන එකම බත් දන්සල මේ පාරත් තියේ ය කියලා පරණ බැනර් රෙද්දම සුදු තීන්ත පාරකින් හෝදලා කළු පාටින් කුරුටු ගාලා තිබ්බ. කියවන්න නම් දන්නේ නෑ, හැමෝම කොල්ල, කළුව කියල කිව්වට නමක් නෑලු මට හරියට. ඉතින් නමක්වත් නැති මං මොනා ලියන්න කියවන්නද.

Related Posts Plugin for WordPress, Blogger...