හාදුවක්.. උණුසුම්ම උණුසුම් හාදුවක්.. මොහොතක
විරාමයක් ඇතුලේ, කල්ප
කාලාන්තරයක් අරගෙන හෙමින් හොරෙන් ලං වෙලා පුදන, අනුරාගයේ මතක වස්තුවක්.. තව මොහොතකින් දෑඟිලි
අතරින් ලිස්සා යන මේ ගතවෙන මොහොත, අනාගතයේ කිව නොහැකි දවසක සිදු වන්න ඉඩ ඇති වෙන්
වීමක් අද්දර වුණත්, සදා
කල් මතකයේ රදවන, මේ
ගෙවන මොහොතට ජීවය පොවන, අනුරාගයේ
මතක වස්තුවක්..
හාද්ද....!
ඔබේ දෙතොල් පෙති ලිහි - පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වේ
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
දෑසට දෑස බලන් ලං වෙලා, සිනහ වෙනුවෙන් පිපෙන දෙතොල් මල් රොන් සොයන මොහොතේ, නොදැනීම පියවෙන ඇස්, ඒ හීන නිද්‍රාව වෙනුවෙන් පියවෙද්දී දකින සිහිනය, "සසර සැරි සරණ තෙක්-ඔබ මගේ ඔබ මගේ" හැරෙන්න, අන් කවරක් ද?
පියවුන දෑස්, තදින් වෙලී ගිය දෑත් වෙළුම් ලුහු වද්දී, තරු නිවී ගිය තෙරක් නොපෙනෙන අහස සයුර අද්දර, අප දෙදෙනා විතරක්ම, තට්ට තනියම තනි වෙලා. ඒ දෙතෙර එක්නොවෙන නොදන්නා
ඉම දිහා, කළුවර
ඇතුලෙන් නෙත් යොමනවා.. ලිහිල් වුන වෙළුම්, සෙමින් විවර කල දෑසින්, ඔබේ නුවන් කෝ කොයි ද? අදත් මං සොයනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ හීනය, දෑස් පියාගත් සැන්දෑවක, ආයේ ආයෙත් දකින්න...
හිරු නිවී මුහුදු තෙර - රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
දුටුවනම මා වෙනුවෙන්, නොපිපෙන ඒ හසරැල් විල, පූදින්න වෙනුවෙන් කල කී දෑ අනන්තයි. කොළ පාට නා අතු, රතු පාටින් දළු දමද්දී, ඒ අද්දර ඉඳගෙන සුපුරුදු බටනලාව වයන්න, ඒ නාදළු රඟන රිද්මයට ඒකාත්මික වන්න, වෙලාවකට මට නොහිතෙනවා නෙවේ.. ඒ අද්දර, රතු පැහැයෙන් ලෙලෙන නාදළු දකිනකොට, මං වෙනුවෙන් නොපිපුණත් පිපෙනු වෙනුවෙන් වෙර දරාපු සුදු පාට නා මල් දකිනකොට, අනුරාගයේ මතක වස්තුව, ආයේ ආයෙමත් හිත ඉල්ලනවා.. "සසර සැරි සරණ තෙක්, ඔබ මගේ ඔබ මගේ" ඒ සිහිනය, යලි යලිත් දකින්නට...
නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
අනුරාගයේ මතක වස්තුව.. කල-කී අන් සියල්ලේ යට
ගියාවට උඩින්, මතකයේ රැඳී
එකම වස්තුව! ඇයි මේ? මම
පාලමක්, දෙගොඩ යා
කරන, එගොඩටත් මෙගොඩටත් අයිති නැති, නිර්වචනයක් තවම නැති මම. යා කල දෙගොඩ මැද, මතකයේ රැඳී එකම වස්තුව, අනුරාගයේ මතක වස්තුව! පුදුමයි, පුදුමයි..
යුග ගණන් පැමිණි මඟ - පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
ඔබ ඉන්න අහස යට, පොලව පමණක් මගේම වෙලා.. මං ඉන්න මහ පොලව, ඒකවත් මගේ නෙවෙයි ද, මං වෙලාවකට හිතනවා.. සියොලඟම තැවුනත්, තවත් මං ඉන්නවා, තවත් මං ඉන්නවා.. අනුරාගයේ මතක වස්තුව තනිකඩව, මතක සැමරුම් සමරනවා..
අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
සසර සැරි සරණ තෙක්.. මේ ගනුදෙනුව ආයේ ආයෙම නැවත
සිද්ධවෙන බව, මේ පලවෙනි
අවස්තාව නොවන වග, වෙලාවකට
මම කල්පනා කරනවා...
ඉතිං, සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
BMICH? mistaken? yeah mistaken, just forget about that buddy (:



















