Saturday, June 6, 2015

එන්න! හදවතේ පිපෙන මල් බලන්න එන්න!!

ඉහත සේයාරුව
අදාළ හිමිකරුවා සතුයි
සුගිය දිනක රැකියා ස්ථානයෙන් ලැබුණු හදිසි ඇමතුමක් මත දෙයියනේ කියා නිවසේ රැදී සිටි උදේ වරුවෙම නැවතත් රොස්මීඩ් පෙදෙසේ කාර්යාලය වෙතට මම ඇදුනෙමි. අවශ්‍ය වූ ලිය කියවිලි ගොන්න කාර්යාලය වෙත බාර දුන් පසුව සවස් යාමයේ මගේ පැරණි පාසල් මිතුරෙකු හමු වී කොළඹ ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ගියේ මාස හයකින් පමණ හමු නොවූ මගේ ඒ අතිජාත මිතුරා සමග කතා බහ කරගන්නට දහසකුත් එකක් කාරණා තිබූ නිසා ය. ඔය අතරේම මගේ තවත් මිත්‍රයෙකුගේ ඇරයුමක් නිසා, සවස නිවසට ඒම පසෙකලා රාජකීය විද්‍යාලය අසලින් 122 අවිස්සාවේල්ල  බස් රථයක මා එල්ලී ගත්තේ එකී මිතුරාගේ නිවසට ගොස් තවත් අපූරු කටයුත්තකට අත ගසන්නට ය. හදිසියේ ලැබුණු ඒ ආරාධනාව මත යොදා ගත් ඒ ගමන,මන කළඹන අත්දැකීම් ගොන්නක් මා වෙත ගෙන ඒම සඳහා ලැබුනක් බව මගේ තුන් හිතකවත් අදහසක් නොවී ය!




සංගීතය පිලිබඳ කතිකාචාර්යවරයෙකු සහ ගත් කතුවරයෙකු වන මගේ මිතුරාගේ පියා සමග, එතුමන්ගේ මීළඟ පොත වෙනුවෙන් සරල ගී රචනයක යෙදෙන්නට මමත්, මගේ මිතුරන් දෙදෙනෙකුත් එදා රාත්‍රිය වෙනුවෙන් එක් රැස් වී සිටියෙමු. පසුදා පාන්දර දෙක තුන වන තුරුම කුඩා දරුවන්ගේ මනසට උචිත අයුරින් සංකල්පනා ගොඩ නගන්නටත්, පොතේ අරමුණුවලට උචිත පරිදී වචන හරඹ කොට ඒවා ගොඩනගන්නට ලැබීමත්, එතුමන්ගේ අදහස් සහ නිර්මාණවලට සවන් දෙමින් අගනා කාලයක් ගත කිරීමටත් ලැබීමත් තුලින් අපට කාලය ඉගිලී යනු පිලිබඳ හැගීමකුදු නොවී ය.

කුඩා ළමුන්-ගේ කවි ලියන්නේ කුඩා ළමුන් ය. නමුත්, "කුඩා ළමුන්-ට" කවි සින්දු ලියන්නට නම් එසේ මෙසේ ජගතෙකුට  බැරි බව යම් වෙලාවක් ගත වෙද්දී මම වටහා ගතිමි. කුඩා ළමුන් වෙනුවෙන් නිර්මාණ කිරීමට කුඩා ළමයෙකුගේ මට්ටමට "බැසිය යුතු" බව කෙනෙක් සිතනවා නම්,එහි "බැසිය යුතු" යන යෙදුමේ යම්කිසි වරදක් තිබේ. වැඩිහිටි සංකල්ප සහ වැඩිහිටි පරිසරයේ සිටින, වැඩිහිටි කෙනෙකු, කුඩා ළමුන් වෙනුවෙන් යම් නිර්මාණකරණයක යෙදෙනවා නම්, ඔහු තමන්ගේ සිතිවිලි මට්ටම සීරු මාරු කර ගත යුත්තේ පහලට නොව ඉහලට බව මම වටහා ගතිමි. කුඩා දරුවන්ගේ සිතිවිලි තුල සැරිසරමින්, ඔවුන් වෙනුවෙන් ඔවුනගේ ලොවට උචිත සංකල්ප ඉදිරිපත් කරමින්, වැඩිහිටි සමාජය තුලදී කාබාසිනියාවට ලක් වූ වැඩිහිටි සංකල්ප මග හැර ගනිමින් හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබීම මා ලැබූ හොඳ මානසික අභ්‍යාසයක් විය.



ම'මිතුරාගේ සෙල්ෆිය!

නොදන්වාම ඉගිලී ගිය කාලයෙන් පසුව මගේ මිත්‍රයාගේ ශබ්දාගාරය තුලට ගොස් බිම එලා තිබුන කලාල මත වැතිර සිනමා සිත්තමකින් සන්තර්පණය වී නැවත එලියට පැමිණ නින්දට යන විට උදෑසන හය ද පසු වී තිබිණ. නැවත දහවල් එකොළහට පමණ දෙයියනේ කියා නැගිටගත් මාත් මගේ මිතුරාත් හනික හැඳ-පැළඳ ගත්තේ මා තබා ඔහුද හරි හැටි විස්තරයක් නොදැන සිටි ගමනක් වෙනුවෙන් ය. පොසොන් පොහෝ දිනය වූ එදා ළමා නිවාසයක සිදු වන යම් කටයුත්තක් පිළිබඳව සහබාගී වන ලෙස ම'මිතුරාට ලැබී තිබූ ඇරයුම වෙනුවෙන් ඔහු ද ගිටාරයක් පිටේ එල්ලාගෙන මමද කැමරා ආම්පන්න සූදානම් කරගෙන මොටෝ බයික් එකේ නැගී පාදුක්ක මලගල ප්‍රදේශයට පිටත් වීමු.

ගමන පුරාවට "ළමා නිවාසයක්" පිලිබඳ අදහසක් වූවත් ස්ථානයට ලඟා වී ගත් පසුව අප දෙදෙනාම දැනගත්තේ ඒ බුද්ධිමය ඌණතා සහිත පුද්ගලයන්ගේ රැකවරණය වෙනුවෙන් පිහිටවූ "මන්දුල නිවස" නම් පුණ්‍ය ආයතනයක් බව ය.2005 වසරේ ආදී-නාලන්දීයයන් කණ්ඩායමක් විසින් පිටිටවූ බව කියැවෙන පුවරුවක් ද එහි දැක්විණි. නොහඳුනන මුහුණු රැසක් සමගින් දන්නා එකම මුහුණ වූ මගේ මිත්‍රයා සමග එහි රැස්ව සිටි තරුණ තරුණියන් සමග හෙමි හෙමින් මම කුළුපග වීමි.






පොසොන් පොහෝ දා සූදානම් වී තිබූ ඒ කටයුත්ත ගැන මගේ ප්‍රසාදයට පත් කාරනා බොහොමයකි. පිටස්තරයෙකු වශයෙන් හෝ එම කටයුත්ත වෙත අවසන් මොහොතේ සම්බන්ධ වූ කෙනෙකු වශයෙන් මට දැනී ගිය ප්‍රධානම වැදගත් කාරණය නම්, වර්තමානයේ මෙවැනි කටයුත්තක් සංවිධානය වද්දී වැඩි අවධානයක් යොමු වන රටට අඬබෙර ගැසීමත්, බුකියේ අත ඇරීම සඳහා ෆොටෝ ගැනීමට හොම්බ දිග කැමරා ආදිය  සූදානම් කිරීම් ආදිය පිලිබඳ කිසිදු අවධානයක් වෙන් කර නොමැති වීමත් ය. බොහෝ විට වත්මනෙහි සිදු වන්නේ අදාළ කටයුත්ත සරුසාර කර ගැනීම වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට පෙරාතුවම ෆොටෝ ගහන්නට කැමරාමන් කෙනෙක් සොයා ගැනීමත්, ඒ පිළිබඳව විශාල මුදලක් වෙන් කිරීමත් වැනි හිස් අරමුණු වෙනුවෙන් ය. ජීවිතයේ සිහිවටනයක් වශයෙන් ඡායාරූප ළඟ තබා ගැනීම අනාගතයේ සොඳුරු මතක ආවර්ජනයකට මග කීවත්, අද පත්ව ඇති තත්වය නම් එකී මූලික අරමුණින් ඉතා බැහැරව ගොස් තිබේ. පුහු ආටෝප නොමැතිව, එහි නිවැසි බුද්ධිමය ඌණතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට සහ සැප පහසුව වෙනුවෙන් මිස, අනවශ්‍ය කිසිදු දෙයක් වෙනුවෙන් මුදල් වැය කොට නොතිබීම බාහිර පුද්ගලයෙකු වශයෙන් මගේ ප්‍රසාදයටත් ප්‍රීතියටත් හේතු වූ බව මේ සටහන තබන මොහොතේ නොකියාම බැරි ය.











අපි ඔවුන් සමග කතා බහ කළෙමු, කෑමෙන් බීමෙන් සංග්‍රහ කළෙමු, ඔවුන් සමග ගී ගයමින් නටමින් විනෝද වුනෙමු,ඔවුන් සමග සහ සම්බන්ධ වූ සවස් යාමය ඉතා සන්තුෂ්ටිජනක සැදෑවක් වූ බව ඒ කාගේත් හදවත සාක්ෂි දරනු ඇති.





අවසන් වශයෙන් මුත්, සඳහන් කල යුතුම වැදගත් කරුණ අනෙකකි.ඒ මෙකී ආයතනයේ යට ගියාව සහ අරමුණ පිලිබඳව ය.මන්දුල නිවස පිහිටුවාලීමට කටයුතු කර ඇත්තේ 2005 වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදී සිසුන් සහ මෙවැනි දරුවන්ගේ දෙමාපියන් එක්ව පිහිටුවාගත් මන්සහන සංවිධානය තුලිනි.එහිදී මේ දරුවනට රැකවරණය ලබා දෙන්නේ, එවැනිම දරුවෙකුගේ දෙමාපිය දෙපලක් වීම විශේෂිත කරුණකි. මේ පුණ්‍යායතනය පිහිටුවා පවත්වාගැනීමේ ඔවුන් තුල පවතින එකම අරමුණ වන්නේ සසර උපදින කිසිදු භවයක මෙවැනි වේදනාවකට ලක් වීමට නොලැබේවා යන අහිංසක පැතුම යි. තම දරුවාගේ රැකවරණය වෙනුවෙන් සොයා ගිය ආයතනවල ඔවුන් සියසින් දුටු තත්ත්වය හේතුවෙන්ම, අද ඔවුන් දෙපල තම දෑතින්ම මෙවැනි දරුවන් රැසක් සෙනෙහසින් රැකබලා ගැනීම ප්‍රශංසනීය ය. 

ඔවුන්ගේ අරමුණ සහ ඉලක්ක වන්නේ බුද්ධිමය ඌණතා සහිත දරුවන් සඳහා පූර්ණ කාලීන නිවෙස්නක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ සෞඛ්ය තත්ත්ව අනුව අවශ්‍ය පහසුකම් වෛද්‍ය අවධානය ලබා දෙමින් ඔවුන්ව දිගු කාලීනව රැක බලා ගැනීම ය. ඒ අතර වාරයේම ඔවුන්ගේ ශක්‍යතා හඳුනාගෙන පුහුණු වැඩසටහන්ද මේ ආයතනය තුල ක්‍රියාත්මක ය. ඔවුනගේ අතින් හැඩ වූ නොයෙක් අත්කම් විස්කම් ඔබට එහිදී දැක බලාගැනීම තුලින් විස්මය මුසු හැඬුම් කඳුළු නැගෙනු ඇති බව මට විශ්වාස ය.

ඔබත් මෙවැනි දරුවෙකුගේ මවක් හෝ පියෙක් වන්නට පුළුවන, එසේත් නැති නම් එවැනි දෙපලක් ඔබේ හිතවතුන් අතරෙ හෝ සිටිනවා වන්නට පුළුවන. මන්දුල නිවසේ මේ ආරාධනය, ඒ වේදනාව දන්නා ඔබගේ සියතින්ම, මේ පුණ්‍යායතනයේ කටයුතුවලට සහභාගීවන ලෙස ය. මුදල වෙනුවෙන් වේතනයක් වෙනුවෙන් එහි සේවයට කෙනෙක් ලබා ගන්නවා වෙනුවට, ඔවුන් වෙනුවෙන් සෙනෙහස දිය හැකි දෑත් ඔවුන් පතන්නේ එබැවිනි. එසේ නොවුනත් ඔබට ඔවුන් වෙනුවෙන් කල හැකි දේ බොහොමයක් තිබෙන්නට හැකි බව මට විශ්වාස ය.



ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා,

මන්සහන සංවිධානය
නොම්බර 100/A
කහවල, පාදුක්ක.

දුරකථන/ෆැක්ස් 0112830250
විද්‍යුත් ලිපිනය : mansahana_sl@yahoo.com



Thursday, June 4, 2015

'ගප්පියා' සොඳුරු හදවතක් හැබැහින් මුණ ගැසුනෙමි

සමාජයේ හමුවන පුද්ගලයන් විවිධාකාර ය. විවිධත්වය යනු, සාපේක්ෂ අසමානතා මෙන්ම සමානතා ය. ඇතැම්හු සුවිශේෂවන අතර, සුවිශේෂ වීම පවා සාපේක්ෂ හා නිරපේක්ෂ තලවල පවතී. නිරපේක්ෂ පුද්ගලයෙකු පිලිබඳ සිදු කරන්නට ලැබුණ සාපේක්ෂ කතා බහක් ගැන සටහනකි මේ.

ඔහු නමින් තරිඳු විජේසේකර ය. සිංහල සයිබර් අවකාශය තුල ඔබ දන්නා නමින්, ගප්පියා ය.  ගප්පියා මුණ ගැසෙන්නට මට අවස්තාව සැලසුනේ අහම්බෙන් මෙනි. ගප්පියා ශ්‍රී ලංකාවට පැමිණි බව දැනගන්නට ලැබී වැඩි දිනක් ගත වීමට මත්තෙන්ම, ඔහුව මුණ ගැසෙන්නට ලැබීමත්, සුහද පිළිසඳරක යෙදෙන්නට ලැබූ අවස්ථාවෙන්, යූටියුබයේ  ඔබ අප මුණගැසෙන විහිලුකරුවාගෙන් ඔබ්බට, ඔහු තුල සිටින මිනිසා තුලට මම එබී බැලීමි.


සුහද ආගිය කතා බහකින් අනතුරුව, ගප්පියා නම් මිනිසා තුලට එබී බලන්නට මම උත්සුක වුනෙමි. ඔහු මා වෙත පවසා සිටි, අනාගත ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් "ලොකුවට" සෑදීමේ ආසාව ගැන මම විමසා සිටියෙමි. "ගප්පියා ෆීචර් ෆිල්ම් එකක් ලොකුවට හදනවා කියන්නේ ලොකු බජට් එකකට යනවා කියන එක ද?" සවස් වරුවක උද්යෝගජනක කතා බහක්  අතරතුර ඔහු හා මවුබිම වෑන් රියෙන් ඔහුගේ නිවසට යන අතරතුර මම ඇසීමි.  "නැහැ, මුදල නෙවෙයි වැදගත්. හොඳ කතාවක් හොඳ ස්ක්‍රිප්ට් එකක් එක්ක,හොඳ නිර්මාණයක් ටිකක් දිග කතාවක් විදියට  සැලසුම සකස් කරන එකයි වැදගත්. එතනින් එහාට ඒක ෆෝන් එකකින් වීඩියෝ කලත්, හොඳ නිර්මාණයකට යන්න පුළුවන්". 

"එතකොට ගප්පියා කියන්නේ, අදහස් වගේම නිර්මාණශිලිත්වය අතින් පමණක් බජට් ඒක බිග් වුනාම ඇතිද? 

"අනිවාර්යෙන්ම". ඒ ඔහුගේ පැහැදිලි දැක්මයි.


ඉහත දැක්වෙන්නේ කාර්යබහුල යුගයක, මේ බ්ලොග් පිටුව අතහැර දමා තිබූ වකවානුවක වූවත්, ඒ දිනවලදී මා ලියා තබන්නට ආරම්භ කල සටහනකි. මාස ගණනාවක් පුරා අසම්පූර්ණ-පල නොකළ ලිපි ගොන්න අතර තිබූ මේ ලිපිය සොයා අද අවසන් කරන්නට සිතුනේ, මේ ඊට හොඳම වකවානුව බව මට සිතුනු නිසාවෙන් ය.

ගප්පියා පිළිබඳව නැවත කතා බහට ලක් වන්නේ දින දෙකකට පෙරාතුව පොසොන් පොහොය දිනයේ ඔහු පල කර තිබූ එක්තරා කාටූනයක් ය.


ෆෙස්බුකිය සහ සිංහල සයිබර් අවකාශය පුරාවටම ඉහත කාටූණය පිලිබඳ සාධාරණීකරණය කරමින්, එමෙන්ම දොස් නගමින් විවිධාකාර ලිපි සහ සටහන් මේ දින දෙක පුරාවටම එකතු වී තිබිණ. නමුත් ඒ පිලිබඳ අදහස් දැක්වීමකට වඩා, මේ කාටූණය පසුපස සිටිනා මිනිසා ගැන මට හැඟෙන දේ සටහන් තබන්නට මම කල්පනා කලෙමි.

ඔහු දැනට දස වසරක පමණ පෙර සිට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඒ දිනවල ඔහු ලංකාවට පැමිණ සිටියේද වසර දහයකට පසු පළමු වරට ය. ශ්‍රී ලංකාවට පැමිණි අලුතම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ලබා ගත් පුවත්පත් සහ වීඩියෝ සම්මුඛ සාකච්චාව අවසානයේ නිවසට ගිය පසු, 'අර කෑල්ල දාන්න එපා-මේ කෑල්ල දාන්න එපා' යැයි නේක ගතු නොකී, මහ පොලව මත පිහිටි මිනිසෙකු ලෙස මම ඔහුව හඳුනා ගතිමි. ඕස්ට්‍රේලියාවේ කල රැකියාව ලෙස මා සමග පැවසු 'වලන් සෝදන රස්සාව' යන පිළිතුර, මා සමග පෞද්ගලිකව සේම නිල සම්මුඛ සාකච්ඡාවටත් එක ලෙස පැවසු අපූරු පුද්ගලයා ඔහු ය. ඕස්ට්‍රේලියාවේ ගෙවුන අවුරුදු දහයක අවසරයෙන් කටට සිංහල නුහුරු කර නොගත් මිනිසෙකු සමග ලැබුණ ඒ අවස්තාව මට විශාල ගෞරවයක් විය. සැබවින්ම එය පොලවේ පය ගැසුවත් පොලවට බරක් නොවුන නිහතමානි මිනිසෙකු සමග සුන්දර අදහස් හුවමාරුවක් බව මට දැනුන හැගීමයි.

ලංකාවේ පුවත්පත් අතිරේකවල 'තරු පිටු' කියවන පාඨකයාගේ රසය වෙනක කි. එකී පාඨකයන්ගේ හිතසුව වෙනුවෙන් සිදු කල ආගිය කතා බහෙන් අනතුරුව පෞද්ගලිකව ඔහු අල්ලාගන්නට ලැබුන රාත්‍රී වාහන තද බදය අතරතුර ඔහුගේ නිවස වෙත ගිය ගමන අතරතුර සිදු වූ කතා බහ තුලින්, ඔහු කන-බොන දේ යන එන තැන් ආදියෙන් බැහැරව වැදගත් යමක් මගේ බ්ලොග් පිටුවෙන් හෝ සටහන් කිරීමට මම සිතා ගතිමි.
වචනවලින් පොලවේ පය ගසන මිනිසුන් සේම සැබවින් පොලවේ පය ගසන මිනිසුන් වශයෙන්, බැලු බැල්මට පෙනෙන පොලවේ පය ගසන්නන් වර්ග දෙකකි. ඔහු සැබවින්ම ක්‍රියාවෙන් පොලව මත පිහිටි චරිතයක්ම බව, ඔහු හඳුනාගෙන ගත වූ කාලය ඇතුලත මට පසක් වූ බව සටහන් නොකර බැරි වන්නේ පෙර කී වචනයෙන් පොලවේ පය ගසන්නන්ද මට හමු වී ඇති බැවිණි.



මචං, සල්ලි පස්සේ එලවන්න එපා. ඔහු මද නිහඬතාවයකට පසු කට හඬ අවධි කලේ ය.  තමන් ආස දේ කරන්න, සල්ලි ලැබෙන්න ගනියි, හදිසියේ නෙවේ පසුවට..

ඒ ඔහු එකතු කල අදහස්වල සාරාංශය යි.


"ගප්පියා රඟපාන්න කවදා හරි ඉගෙනගෙන තියෙනවද? ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවද? ටෙලි නාට්‍යවලට එහෙම අඩගැහුවොත් යනවද?"
මගෙන් ප්‍රශ්න වැලකි. "ඉගෙනගෙන නැහැ, බැරි දේ කරන්න ගිහින් චාටර් වෙන්න ඕනේ නෑනේ, මට පුළුවන් දේ කරගෙන මම ඉන්නවා". ඒ ඔහු දැක්වූ අදහසයි.


කෙසේ හෝ මා හඳුනාගත් ගප්පියා යනු, තමන්ගේ අදහස වාරණයකින් තොරවම ඉදිරිපත් කරන එකෙකු බව ඔහුගේ නිර්මාණවලින්ම වඩා හමු වූ මුල් වතාවේදීම පසක් කර ගතිමි. කාර්යාලයේ එක්තරා නිලධාරියෙකු, සම්මුඛ සාකච්ඡාවට මොහොතකට පෙර ඊට සූදානමින් සිටි මට සහ සහෝදර මාධ්‍යවේදී දෙපල වෙත පවසා ගිය කාරණයකින් අනතුරුව, "එයාගේ ලොකු එක නෙහ්?" කියා ගප්පියා ඇසු විට අපි මොහොතකට නිරුත්තර වුනෙමු. සිතට නැගෙන අවංක අදහස වාරණයකින් තොරව ඉදිරිපත් කිරීමේ අව්‍යාජ බව මේ මිනිසා තුල පවතින බව මම නැවත නැවතත් දිටිමි. 

ගප්පියා ගැන කාලීන මාතෘකාව වන ඉහත කාටූණය පිළිබඳව මට පැවසීමට ඉතිරිව ඇත්තේ ද එය යි. සෙල්පිවල ඇති වැරද්දක් නැති මුත් අවශ්‍ය වුවත් පමණට වඩා අවශ්‍ය නැති බවට ඒ පණිවිඩය දෙන්න ඔහු කල කදිම නිර්මාණයක් හැරෙන්නට, බුදු දහමට කල අපහාසයක් නම් මම ඒ කාටූණයෙක් නොදිටිමි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උඩු යටිකුරු කල එම සිදුවීම දා පවා සිටියේ අද වැනි සෙල්ෆි මේනියා කාරයන් නම් සිදු වන්නේ එවැනි දෙයක් බව ඔහු මතුකළ අදහස යි. ලිපියේ අරමුණ තවත් එකී කාටුණය පිලිබඳ අදහස් දැක්වීම නොවුන ද,මා ඒ ගැන දරන මතයට ආසන්න මතයක් ලියවී තිබූ ලිපියක සබැඳිය මෙලෙස එකතු කරන්නම්.

ලිපිය 01


සටහන


අවසාන වශයෙන්, ගප්පියා යනු අපි වගේම කොල්ලෙකි. ඌට අහවල් තරු අමාරුවක් තිබුනේද නැත. කියන්නට ඇති දේ කෙලින් කියන ගතියට කවුරුත් ආස කරන්නේ කෙලින් කිව්ව දෙයින් රිදෙන්නේ තමන්ට නොවන තාක් ය. රිදෙන්න ඕනේ තැනට රිදෙන්න බැරි නම් ඕනේ මගුලක් වෙන්න කියා, කියන්න තියෙන දේ කියන්න පුළුවන් මිනිස්සු නැති කාලෙක එකෙක් දෙකෙක් හරි ඉන්න එක ගැන මට නම් සතුටු ය.


ගප්පියා සමග කල වීඩියෝ සාකච්ඡාව




Friday, May 29, 2015

මනමාලි-ලෝරන්ස්-සුදු කළු සහ අළු

පහු ගිය දොහේ ගත්ත තීරණත් වෙච්ච අලකලන්චිත් එක්ක, ජීවිතේ ජීවත් වෙන බව දැනෙන දවස් අඩු වෙලා එකම රූටින් එකට දුවපු දවස් ගාන පොඩ්ඩක් වැඩි වුනත්, අද පොඩ්ඩක් එලියට බැහැලා වෙනදා හිනා වෙලා ඉන්න කොලුවාව එලියට ගන්න යාන්තන් පුළුවන් වුණා. ඒ ඉස්පාසුවට අද කලේ ඉස්කෝල කාලේ යාළුවො දෙන්නෙක් එක්ක මරදානේ ටවර් රඟහලට ගිහින් ලෝරන්ස්ගේ මනමාලිවත් බලාගෙනම,සුපුරුදු ධවලගිරියෙන් වඩේ පාරක් කන එකයි.


ලෝරන්ස්ගේ මනමාලි නාටකය, සුදු පාටයි කළු පාටයි අතරෙ දෝලනය වෙලා අළු පාටින් කෙලවර වෙන කතාවක් කිව්වොත් සමහරවිට හරි. ඉන්නට ගෙයක් නැතත් පාරට බහින්නට පයිසයක් නැතත් ලෝකය ඉදිරියේ මමී-ඩැඩී ආලවට්ටම්වල එහා අන්තයත්, සරම බැනියම හා අමු හෙළුවෙන් වැනිල්ලේ විප්‍රකාරත් වේදිකාවේ අමු හෙළුවෙන් දූෂණය වද්දී කැකිරි පලා ඔල්වරසන් නගන ප්‍රේක්ෂකයා ගෙදර විත් කන්නාඩියෙන් මුහුණ බැලු පසු කොට්ට බදාගෙන හඬනු ඇති බව නම් මට විශ්වාස ය.සමාජ රාමුවකට කොටුවී ඒ රාමුවෙන් පිට මයිල් ගසක් සෙලවීම පවා නොරුස්සන, මහපොළවට නොපිහිටවූ දෙපා වේදිකාව උඩ දනගස්වන අතරම, ප්‍රේක්ෂකයා සිනාවෙන් ගිල්වද්දී, සිනාවෙන් පසු ගත යුත්තක් නොසැඟවීම එලියට ආ හැටි නම් අපූරු ය. නමුත් ඉන් යම් කිසි අන්තයක් උපහාසයට ලක්වීම උචිත නොවේ නොවේ වැනි හැගීමක් ඔබට ඇති වේ නම්, ඔබේ මධ්‍ය ශූන්‍ය ගැල්වනොමීටරයේ අංශුමාත්‍රීය හෝ උත්ක්රමණයක් ඇත්නම් එහි දිශාව ඔබටම සොයාගත හැකි වනු ඇත.


ලෝරන්ස්ගේ මනමාලි බැහැදකින්න ගිහින් මුළු පැය දෙකම ලෝරන්ස්ගේ ආගමනය වෙනකන් බලාගෙන උන්න හැමෝටම, අන්තිමේ සිදු වූයේ එක දෙයකි.. එන්ජිනියරින් ඩිග්‍රිය සහිත, ඉන්ට ගෙයක් ඇති සාම්ප්‍රදායික පරිපූර්ණ බෑනාගේ නූතන මූලාවයවයන් සහිත ලෝරන්ස්, කතාව ඉවර වෙන තුරුම වේදිකාවට නාවත්, අවසානයේ ලෝරන්ස් ඔබටත් මටත් හමු වන්නේ අපගේම සිත් තුලින්ම ය. ඒ අතින්, බඳින්නට ලෝරන්ස් කෙනෙක් සොයන 'ලෝරන්ස්ගේ මනාලියනුත්' , මනාලියක් වෙනුවෙන් 'ලෝරන්ස්' වෙන්න පතන මනාලයනුත් හැර ඒ දෙ-කුලකයට හසු නොවන නිදහස් මිනිසුන් සිටින්නේ ඉතාමත් සොච්චමක් වෙන්න ඇති, බාගදා, නැතුවාත් ඇති යන්න මගේ අවසාන හැගීම විය.


සුදු පැහැයේ නග්න බවටත් කළු පැහැයේ අඳුරටත් ඇති වෙනතුරු සිනා වෙන ප්‍රේක්ෂකයා අවසානයේ නවතින්නේ සුදුත් නොවන කලුත් නොවන 'ප්‍රේම් කුමාර්' සමගින් ය. 'ප්‍රේම් කුමාර්' ලෝරන්ස්ට අප අප තුලින්ම සොයා ගැනීමට ඉඩ තබා මනමාලි අවසානයේ කැටුව යන හැටි නම් හරි අගේ ය. ලෝරන්ස්ගේ ආගමණය වෙනුවෙන් බලාසිටින ප්‍රේක්ෂකයා අවසානයේ සතුටු වන්නේ 'ප්‍රේම් කුමාර්'ගේ වික්‍රමය දැන කියා ගැනීම තුළිණි . ලෝරන්ස් ඔන්න එතැයි මෙන්න එතැයි කියා කූටප්‍රාප්තිය වෙත අප ගෙන යන නාට්‍යකරුවා අවසානයේ අපිට දෙන තිළිණය නම් අපූරුය. නාටකය බලන්නටම වටින්නේ එනිසා ය.


නාට්‍යයේ ආලෝකකරණය ඉතා ඉහලින් මගේ සිත වැළඳ ගන්නා මට්ටමක තිබු බව නොකීවොත් මේ සටහනෙන් පලක් නැත. කතාවට වඩා මා බලා සිටියේ ආලෝකය තුලින් හැගීම් දැනවීමේ අපූරු හැකියාව කදිමට භාවිතා කර තිබු සැටියේ අපූර්වත්වය ය.


'ලෝරන්ස්'ලා එන්න, 'මනමාලියෝ' එන්න, 'ලෝරන්ස්ගේ මනමාලි', පරක්කු වෙලා දැන් හරි බලන්න!


Wednesday, May 20, 2015

පියෙහි සම්පයොගො-පියෙහි විපපයොගො

කාලෙකට උඩදී හිතාදර මිත්‍රයෙක්ගේ කෙටි කාලීන වෙන්වීමක් වෙනුවෙන් තබපු සටහනක්.. මාස කීපයකට පස්සේ කියවද්දීත්, හදවතට දැනුන හැගීම් ගොන්න නිසා, බ්ලොග් පිටුවේ අලවලා සංරක්ෂණය කරන්න හිතුවා.. පාසල් වියේ මිතුරුකම්වල වටිනාකම හා තරඟ කරන බැදීමක්, අදටත් මට හමු වෙලා නැහැ.වගකීම් යුතුකම් පෙරදැරිව එන ගනුදෙනු ස්වරූපී හැඳුනුම්කම් විනා, මිතුරුකම් ලැබෙන තැනක් පාසලෙන් පසු හමු වන්නේ නැහැ.. 
මේ ඒ සමනල් වියේ හමුවුණු සුන්දර හදවත් කීපයක් වෙනුවෙන් තැබුන සටහනක්. 




ජීවිතේ හරිම පුදුමයි මචං.. උසස්පෙළ කාලේ එක පන්තියට වැටිලා, මාසයක් හමාරක් වුනත් ඉස්කෝලේ නයිට අදින්න වැඩිම නිදහස තිබුන කොල්ලෝ හතර දෙනා, Kalanaka උඹ, මම, Janaka සහ අපේ Evindu මෝරා යාළුවො සහෝදරයෝ කලේ අනද අබිමන් කරද්දී එකට කාගෙන බීගෙන, හිඟා කාගෙන වගේම බඩගින්නේ නිදිමතේ වේලි වේලි ඉද්දි තිබුන බැඳීම, ඉස්කෝලේ වෙනුවෙන් නිදි මරාගෙන කාපු කට්ටට හරි යන්න දෙවියෝ මට දීපු තෑග්ග, උඹලගේ සහෝදරකම.

අපි රටේ තැන් තැන් වලින් ඇවිත් එකතු වෙච්ච හැටිත් පුදුමයි. කලයා, උඹ ඔක්කොම ඉස්කෝල 6කටයි කොළඹ ඉස්කෝලේ 3 කටයි ගිහින් අන්තිමේ ආනන්දෙන් නැවතුන අමුතුම පොරක්. මෝරා උඹව 6 වසරේ ඉඳන් දැනගෙන උන්නත්, උඹයි මමයි හරියටම සෙට් වුනේ 6 වසරේ අපේ පරණ යාලුවා ඉසුරු ගැන කතා කරන්න ගිහින්. ජනක උඹනේ අපේ බහුශෘත අති පණ්ඩිත පිසික්ස් ශූරී ස්ත්‍රී විසේසඥ සංගීත විශාරද අතිගරු පෙරමොන් තුමා.

බොහොම පස්සේ කාලෙක, කලනක, ජනක උඹල දෙන්නා එක්ක මම, එකොළහ වසර ෆ්‍රිට් කුන්ස් බිල්ඩිම දිහා ඉඳන් විහාරේ පැත්තට ඇවිදගෙන එද්දී දැනුන පුදුමාකාර අඩුව මොකද්ද කියලා කල්පනා කරද්දී, අඩෝ මචන් මෝරා නෑ කියලා දැනෙනවා නේද බන් කියද්දී කලනක කල්පනා කර කර උන්න දේත් ඒක. ළඟ උන්නා නෑ කියලා නෑ, අපේ නම් වෙනුවට කියවුන ස්ත්‍රී ලිංග නම් කාලෙන් කාලෙට කොච්චර වෙනස් වුනත්, නොවෙනස් වුන එකම දේ අපේ ෆිට් එක විතරයි.

හැබැයි ජනක මම උඹ එක්ක මාස 13ක් කතා නොකර උන්නා. හැබැයි චීත්තවලට අපිව කොටවන්න දෙන්න බැරි බව, පාඩම් ගණනාවකින් පස්සේ උඹත් මමත් තේරුම් ගත්තා.

ආපහු හතර දෙනා කම්ප්ලීට්. හැබැයි තව සති දෙකකට විතරයි කියලා මතක් වෙද්දී පිස්සු වගේ මචං.
මචන් කලනක.. කෙලීගේ තාත්තා අසනීප වෙලා අයි සී යු ඉන්න දවස්වල, මාත් එක්ක හොස්පිටල් ගානේ කාපු කටු අමතක නෑ මචන්, ඒ දවස්වල මෝරා උඹයි අමන්දයි ජනකයි දුන්න සප් එක අමතක වෙන්නේ නෑ. මගේ හිඟන පාත්තරේට හෙනහුරා කඩන් වැටුනාම, මගේ ෆන්ඩ් රයිසින් වලට තමන්ගේ කෑමබීමත් අමතක කරන අමුතුම තාලේ එකෙක් තමා උඹ, අනිකා තමා Sulakshana.. උඹලා මගේ වෙනුවෙන් තියෙන බැඳීම මාරයි මචං, මට ගෙදර පවුලේ වෙන කිසි එකෙක්ට වඩා උඹලගේ සහෝදරකම ඉස්තරම්. හැම දේටම මිලක් නියම වෙන මේ සමාජ ආර්ථික රටාවේ, අන්න ඒ දේට මිලක් දෙන්න සක්කරයාගේ පුතා වයිමාටවත් බෑ මචං.
මචං කලනක, මේ සටහන තියන්න පටන් ගත්තේ උඹ වෙනුවෙන්.. හැබැයි මෙතනට එන්න කලින් බොහොම ලොකු වටයක් එන්න වුනා මචං.. උඹට හැම දේම හරි යනවා, මතක තියාගනින්, ඒ හැම දේම හරි යන්නේ උඹේ හිත ලස්සන හින්දා. අන්න ඒ දේ නැති කර ගන්න එපා මචන්. යන ගමන ලස්සනට ගිහින් ගිය වැඩේ ලස්සනට කරගෙන වරෙන්. හිත ගියොත්, හිත ගිය ලන්තෙන්ම මාලිගාව ගහපන්, හිත ගිය උන්දෑවත් එක්කම යන නිසා. මන් වෙනුවෙන් වුන අර පොරොන්දුව ඉටු කරපං, ඒ දේ මගේ අතේ දුරට ආපහු ආවොත් එනකන්..

හොඳ දොස්තරෙක් වෙයන්. උඹට පුළුවන් එහෙම එකෙක් වෙන්න. උඹට එහෙම වුනාම අම්බානක් හම්බ කරන්න බැරි වෙයි සමහර විට. හැබැයි මිනිස්සු හම්බ කරපං, මැරෙද්දි ගෙනියන්න පුළුවන් දේවල් ගොඩ ගහගනින්. වෙන එකෙක්ට වඩා උඹට මන් මෙහෙම කියන්නේ, උඹේ විදිය මම දන්නා නිසයි. ඔව් උඹට පුළුවන්.

මෝරා, බඩියා, කලේ ඇන්ඩ් ජේක්. අවුරුදු ගානකට පස්සේ හතර දෙනා ආපහු බදාදා හමු වේවි. තව අවුරුදු ගණනාවක් වෙනුවෙන් අපිට වෙන් වෙන්න සිද්ද වෙන්න කලින්, ජීවිතේටම මතක හිටින, ගොඩක් වැදගත් දවස් කීපයක් ගත කරන්න ලැබෙයි මචං. කොහේ ගියත්, ලංකාවෙත් ආනන්දෙත් නම තියපන්. උඹට වරදින්නේ නෑ.

කලයෝ, උඹට ආනන්ද මාතාවගේ සරණයි!

Monday, May 18, 2015

තරිණිට මොකෝ වුනේ?

තරිණි, දැන් ඕක තමයි සෑහෙන දවසක ඉඳන් බුකියේ ට්‍රෙන්ඩින් ටොපික් එක.

කොල්ලන්ට තරිණි තරිණි කියන්නේ හෙන ආතල් එකක්, කෙල්ලන්ට නම් ලොකු කුතුහලයක්, මොකද්ද සීන් එක කියලා අහපු කව්රුත් නොකියන බවයි වාර්තා වුනේ.


හැබැයි ඕකේ පොඩි ගත යුත්තක් තියේ.

තරිණි ගැන කිව්වොත්, තරිණිලා හැම තැනම අද ඉන්නවා. ඒකට හේතුවක් තියේ..

සමාජයේ අපි දකින සමහරු විතරක් සාන්තුවරු, සමහරු විතරක් මැරයෝ, යක්කු,වනචරයෝ, දෙවිවරු. ඒ නිසාම, ශරීර කූඩුව ඇතුලේ ඉන්න චරිතේ එක එකාගේ එක එක විදියයි, එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ.

නෑ. ඒක වැරදි යි.


ඇත්ත කාරනාව, "මනුස්සයා" කියන නමින් අපි හඳුන්වන, කලින් කිව්ව කොයි ජාතියේ මිනිහා ඇතුලේ වුනත් ඉන්නේ එකම සතා යි. දෙවියා, යක්ෂයා,වනචරයා වගේම වනචාරියා ඔය කොයි චරිත ලක්ෂණත්, කොටින්ම ගල් යුගයේ උන්න මස් වැද්දාගේ ඉඳන්ම ගති ගුණ අනලා මුහු වෙච්ච එක හා සමාන "චරිතයක්" තමයි ඔය කොයි කාගේත් ඇතුලේ ඉන්නේ..

ඇයි එහෙනම් මේ ගති ගුණ වෙනස් වෙන්නේ, කොයි කාගේත් ඇතුලේ ඉන්න එකෙක් නම්?

ඔය ඇතුලේ ඉන්න චරිතෙන් කොයි කොයි ලක්ෂණ ඉස්මතු වෙලා කොයි කොයි ලක්ෂණ යට යනවද කියන කාරණය, කොටින්ම දෙවියෙක් වෙනවද යක්ෂයෙක් වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ උගේ ගත වුන ජීවිතය මත. ගත වුන ජීවිතය කියන්නේ මොකද්ද කියනවා නම්, උගේ බාල කාලය, උගේ ඇසුර, ඌ ඇහුව දැක්ක දේවල්, ඌ ඇසුරු කල පොත පත වගේම එතනින් එහාට සිදු වුන හැලහැප්පීම්, උගේ වෘත්තීය කියන දේවල් මත කොයි කාගේත් ඇතුලේ ඉන්නේ එකම එකෙක් වුනත්, උගෙන් මතු වෙන්නේ කුමන ලක්ෂණද කියන දේ තීරණය වෙනවා.

අතීතයට වඩා අද තරිණිලා වැඩි ද?


උත්තරේ ඔව්.

ගෑනු පිරිමි බේදයක් නැතුව, එදා අද වෙනසක් නැතුව, ඇතුලේ ඉන්න එකා කවදත් එකම උනත්, අද තරිනිලා මතු වෙනවා වැඩියි. ඒකට හේතුවක් තියෙනවා. අර ඇතුලේ ඉන්න 'එකී'ගේ බලපෑම නිසා, කාන්තාවෝ කොහොමත් කැමති නිදහසේ ඉන්න. එක, තනි පිරිමි පරානෙකට ඇලීලා පවුලකට බැඳිලා ඉන්න ප්‍රියතාවක් කොහොමත්ම කාන්තාවන්ට නැහැ.


මාතෘත්වයට ගෞරවය දීලා තියෙන සමාජයක් ඉස්සරහා, පොඩි කාලේ ඉඳන් ඔලුවට වැටුන/දාපු අදහස් වලට එදිරිව මෙහෙම කතා කරන්න ගියොත් ගුටි කන්න වුනත්, ඇත්ත කතන්දරේ තමයි ඒක. අතීතයේ කාන්තාව කියන චරිතය පිරිමියාගේ රැකවරණය අවශ්‍යම තැනක තියලා බෙල හීන කරලා තිබුන බව නොරහසක්. තමන්ගේ නිදහස, තමන්ගේ විමුක්තිය අවශ්‍ය බව දැනුනත්, තමන්ගේ දේ තමන්ට කරගන්න බැරි තත්වෙක උන්න කාන්තාවට, තමන්ගේ පිරිමියාට බැඳිලා සිටිනවා විනා කල හැකි අන් දෙයක් තිබුනේ නැහැ. කෙටියෙන්, එදා තිබුන පරිසර තත්ත්වය, ඇතුලේ ඉන්න එකීගෙන් "තරිණි"ලාව මතු කරන්න ලොකු ඉඩක් දීලා තිබුනේ නැහැ. තමන්ට බැඳුන පිරිමියාගෙන් මොන අඩත්තේට්ටම් වුනත්, තමන්ට රස්සාවක් කරගන්න බැරි, තමන්ගේ කටයුතු වෙනුවෙන් සමාජය ඉදිරියේ සමාජය සමග මුසු වෙන්න වගේම ගැටෙන්න හයියක් නැති තැන, ගැහැණියට කල හැකි අන් දෙයක් ඉතිරිව තිබුනේ නෑ. කාන්තාවකගේ කෙටි කාලීන ලෝයලිටි එක ආකර්ෂණය මත පදනම් වෙලා කල් ගත වෙද්දී එක්ස්පයර් වුනත්, දිගුකාලීන ලෝයලිටි එක පිටිපස්සේ තිබුන රහස ඕකයි. අවබෝධය මත ඇතිවෙන හිතවත් පක්ෂපාතීත්වය කොච්චර දුර්ලභද කියනවා නම්, ඒ ගැන කතා කලත් කෙනෙක්ට ඇති වැඩක් නැහැ.


අද තත්වය වෙනස්.

තමන්ගේ වියහියදම් තමන්ට සපයාගන්න පුළුවන්, තමන්ට යන්න ඕනේ තැනට වාහනයක් පැදගෙන යන්න පුළුවන්,සමාජය එක්ක මුහු වෙලා තමන්ගේ අවශ්‍ය කටයුතු කරගන්න පුළුවන්, ඉස්සරට වඩා ශක්තිමත්,පිරිමියා එක්ක හරි හරියට කරට කර ඉන්න ගැහැනියකට, ඕන දෙයක් දරාගෙන එකෙක් එක්කම ඉන්න තරම් අමාරුවක් නැහැ. සිදු විය යුත්තේත් එයම යි. නමුත්, අර ඇතුලේ ඉන්න "කෙනා" සමහරවිට ඔය පියවරෙන් ඔබ්බට කාන්තාව මෙහෙයවපු අවස්තාවක් තමයි තරිණි. අනිකාගේ නාසය අගට විතරක් බස්තම වන්න තියෙන පෞද්ගලික හිමිකම තමන්ගේ හුදු ආශාවන් වෙනුවෙන් එකෙකුගෙන් නොනැවතී කිහිප දෙනෙක්ගේම නාස් පොලු බින්දෙන්නම බස්තම වන්න තැනට කාන්තාව පත් වීම නම්, විය යුත්තක් නෙවේ
.

පිරිමියා වගේම කාන්තාවත්, පනින කොටු ඕනෑ තරම්. එතනින්, පිරිමියා කොටු පනින්න පටන් ගන්නේ සෑහෙන මුල සිටමයි. පිරිමියා කොටු පැනලා, අවසානයේ ඇති රහක් නැති වග දැනගන්න වයසත් පහු කලාම තමයි ගැහැණියට කොටු පනින්න නිදහසක් ලැබෙන වයස උදා වෙන්නේ. නමුත්, ඔය කොයි පාර්ශවයට වුනත් ඇරියස් පිහිටියෝතින් නම්, රහක් නැති වග තේරෙන්න ගත වෙන කාලය නිසාම ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වෙන්න බැරි නෑ.

ඔය වීඩියෝ එක ගහපු එකා ඉන්නේ අන්න එහෙම තත්වෙක. හිත බිඳීම නිසා අවස්ථාවට නොගැලපෙන උන්මත්තක හැසිරීමක් පෙන්වීම හරි හෝ වැරදි වේවා, විවාහ වී දරුවන් සිටිද්දී පවා කොහේ හෝ යන තරිනියෙක් ඇඟ දවටාගෙන කරගත් මෝඩකම, ඇරියස් පිහිටීමේ විපාකයක්.



Saturday, May 9, 2015

මගේ ක්‍රෂ් මටම ක්‍රෂ් !!!

මට ඉන්න ක්‍රෂ් විවිධාකාරයි ය.මගේ ක්‍රෂ් අතරින් පලවෙනි කාණ්ඩයේ විසේසත්වය වන්නේ පෙනුම ය. හේතුව පොත්තේ සුදු කමක් හරි ලස්සනක් හරි නෙවේ ය, පෙනුමෙන් හැසිරීමෙන් නිකන් ලීඩර්ෂිප් එකක් වගේ තියෙන ගෑල්ලමයින්ට මං හෙන කැමතී කියා මට හිතෙනවා ය. පොත්ත සුදු උන් දැක්කම ලස්සනයි හිතුනත් උන්ට ක්‍රෂ් වෙන්නේ නෑ ය.  අනේ මන්දා ය. එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි මුත් උන් මාව දන්නෙත් නැතුව ඇති කියලා හිතාගෙන මං බෝම උපේක්සා සහගතව ඉන්නවා ය. 

අනිත් වර්ගයේ  ක්‍රෂ් එක අදහස් ආකල්ප වලට ක්‍රෂ් වෙන එක ය, මේ කැටගරි එකේ ඉන්න ඔක්කොම මට වඩා අවුරුදු හතර පහ හය හත වැඩිමල් වීම විසේස ලක්සනයක් ය. එව්වා ඉතිං ඔබ්වියස් ක්‍රෂ් නිසා බය වෙන්න දෙයක් නෑ මූණටම කියනවා ය. මේ වර්ගයේ ක්‍රෂ් මොකක් හෝ කෝලමකට ඇඟට නගින්න එන තුරුම ක්‍රෂ් එක නොනැසී පවතිනවා ය. කෝමත් මං මගේ වයසේ උන් (ගෑල්ලමයි) එක්ක වැදගත් දෙයක් කතා කරන්න ආස නෑ ය. උන් ඉන්න සුරංගනා ලෝක මම උපේක්ෂාවෙන් විඳ දරාගන්නවා ය. මේ කැටගරි එකේ ක්‍රෂ් එක්ක වැදගත් මාතෘකා කතා කරන්න මං හෙන කැමැත්තක් දක්වනවාය. හැබැයි මුන්ගේ පෙනුම ගැන කීමට ඒ හැටි දෙයක් නැතිය. එච්චරටම චොර යැයි ද හිතන්නට එපා ය. 


අනිත් ක්‍රෂ් ජාතිය ඉන්ස්ටග්රම් ක්‍රෂ් ය, අම්මෝ ගොඩක් උන්නා ය.  එක ඉන්ස්ටා ක්‍රෂ් එකක් නම් හැබැහින් දැක්ක මුල්ම දාම එපා වුනා ය.  හැබැයි තාම ක්‍රෂ් නමුත් දැන් පලවෙනි කැටගරි එකේ ය..  මේ කණ්ඩායමේ එකෙක්වත් මාව දන්නේ නෑ ය.


ඔය ඔක්කොම හිච්චි හිච්චි ඒවා ය. කෝමත් එකෙක් තෝරාගන්න වෙන දාට කිසිසේත්ම ඕක කොලිපිකේසොන් එකක් නම් වෙන්නේ නෑ ය කියා මම දන්නවා ය.


මෙයිනුත් පලවෙනි හා තුන් වෙනි වර්ගයේ අය සමග වචනෙකට දෙකකට වඩා කතා කර නොමැති වීම හෝ කිසිසේත්ම කතා කර නොමැති වීම විසේස ලක්සනයක් සේ සැලකීමට ද පුළුවන් ය. 


කතාතුරකින් සෙට් වෙන වෙනස්ම හතර වෙනි කැටගරියක්ද තිබේ ය. මේ කැටගරිය මොන මගුලකට හිත යනවාද  මං දන්නේ ද නැති ය. එක්කෝ මල කෝලමක් ය , නැත්තම් මං ගැන අම්බානක වද වෙන්න ලෑස්ති ඩයල් එකක් ය. පණ ඇරගෙන ය. හම්මෝ ය. බොහෝ විට මේ කැටගරියට පොඩි පහේ පෙනුමක්ද පිහිටා ඇති බව ඉතිහාසය පෙන්වා දෙනවා ය.


ඕම මේම බැලුවාම වත්මන් ක්‍රෂ් පහක් විතර ඉන්නවා ය. ඉතිහාසය පුරා විස්සක් විතර ඉන්න ඇති ය.  සිව් දෙනෙක්ගේ පොත්ත තරමක් සුදුය, අනිකාගේ පොත්ත ස්වල්ප වශයෙන්  සුදුය. නමුත් මට ක්‍රෂ් වීමට බලපාන්නේ පොත්තේ සුද නොවන බව ඉතිහාසය පුරා සාක්ෂි ගෙන හැර බැලීමේදී පෙනී යනවා ය.ඉන් අති බහුතරය මට වඩා කලුය. මං කලුයි කියන්නේ මට සාපේස්සව ය. කෙසේ වෙතත් දුටු මතින් ඉටි රූපයක් බඳු වූ රූප සුන්දරියන් දුටු සතුටු ලයිස්තුවේ සිටියත් ක්‍රෂ් ලයිස්තුවේ නොසිටි බව මා අවදාරණය කොල යුතුම ය.


හැබැයි ඔය ක්‍රෂ් අතරෙ තාම මගේ කරගන්න හිතෙන තරම් ප්‍රබල ක්‍රෂ් එකක් ජීවිතේට තිබිලා නෑ ය. (ඒකත් කියන්න එපයි ය.)  ඒ මොනා උනත් ක්‍රෂ් එකක් ගැන දවසට විනාඩියක් දෙකක් හෝ කල්පනා කිරීමට කතා කිරීමට ලැබීම පොඩි පහේ ලල් එකක් ගෙන දීමට සමත් ය.


මාව ක්‍රෂ් කරන් සිටි  මං දන්නා අය විවිධාකාර නැතිමුත් පුදුමාකාරයි ය.උන්ට මඥ්ඥන් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑ ය. එක්කෙනෙක් ක්‍රෂ් යුගය පුරාවට(  පසුව වෙන යුගයක් උදා වුනා ය) හිතන් ඉඳලා තියෙන්නේ මං අයියෙක් කියලා ය. තව එකෙක් මාස හයක් පුරා මගේ පස්සෙන් එලෝලා, මං බස් එකෙන් බහින තැන හොයාගන්න දුන්න අති විසාල ගේම  මම දන්නේ ඒක පාෆොච්චාරණය කොරපු දවසේ සහ ජීවිතේ දෙවෙනියට හම්බුන ලව් ලෙටර් එක අදාළ චූදිතයාම මගේ අතේ ගුලි කල දා ය (මං ඒ වෙද්දී ඒම එව්වා ලියලා නෑහ්හ් ය) මං ඔව්වා ලිව්වේ එකෙක්ට විතරයි ය.  හැබැයි ඇස් ඇම් ඇස් වෙනුවට කන්දක් විතර ඔව්වා ලිව්වා ය.


තව එක ඔබ්වියස් ක්‍රෂ් එකක් උන්නා ය, අනෝන්‍ය වසයෙන් හොරෙන් හොරෙන් කරස් වී ඉස්කෝලෙන් අවුට් වුනාටත් පස්සේ දවසක මරදාන ඉස්ටෙසොමේ පාලමේ ඉඳන් පාපොච්චාරණය කල දාටද පෙර සිට මම බළලා දැක තිබුනා ය. හම්මේ ඉතිං මේමත් කෝලන් ය.  අම්මපා ය.


මාගේ ක්‍රෂ් පුරාණය මෙතකින් සමාප්ත නැති ය. මා මේ සැරසෙන්නේ කුමක්දෝ අඩව්වකට බව නම් තතු දන්නෝ අදහස් පලකරනු ඇති ය. අනේ නැතිය. තාම නැතිය. මං මේ ටිකේ බිසී ය. බිසී ඇයි කියාද තතු දන්නෝ පවසනු ඇති ය. ඒවා මෙහි නොකිවමනා ය. 


කෙසේ වෙතත් මේ කොයි සක්කරවට්ටමත් මගේ ක්‍රෂ් එකක් වන්නේ මේකප් තලියක් උලාගෙන මදිවාට මූනේ පාටට නොගැලපෙන තරමේ අධි සාන්ද්‍ර ලිප්ස්ටික් තලියක් උලාගෙන සිටිනු මා දකින දිනය එනතුරු පමණි ය. මේකප් හොඳ ය. ලිප්ස්ටික්ද හොඳ ය. අධි සාන්ද්‍රණ වමනය කැන්දන සුළු ය. මෙතෙක් පැවතී බහුතරයක් අහවල් ඒවා පලා ගියේ එවන් මොහොතක දී වීම සිහි තබා ගත යුතු කරුණ කි ය.

Thursday, April 30, 2015

හිතේ දහම හා පොතේ දහම





















හරස්වුණු උතු නියාමයෙන්
සුසුම්ලන සුලිසුලඟ,
කඳුළුලන ගංවතුර
වැලපෙන මහ පොලව

මත නැගෙන,

සුනු නොවූ බුදු පිළිම

අද්දර..

"අහෝ සත්‍යයි බුදු දහම"

කියැවෙයි නම්,

ත්‍රිලක්ෂණයට 
හසු නොවූ
සංඛත ධර්මයක් ලෙස

'කොන්ක්‍රීට්'

ත්‍රිපිටකගත කර

බුදු දහම
නැවත 'සත්‍ය' කරනු පිණිස..

මෙතේ බුදුන්
දැන් දැන්ම වඩිනු ඇත...



-අල්තයීර්


ඡායාරුව අල්ජසීරා පුවත් සේවයෙනි.
america.aljazeera.com

Wednesday, April 8, 2015

සඳ පහන් රැයේ-මගේ හීන නිද්‍රාව..

චීනවරාය යුද හමුදා කඳවුරේදී මගේ මිත්‍රයෙක් ගත්ත ඡායාවක්
එවිඳු මොරගොඩ. 



      ඉන්දිකා උපමාලිගේ සඳ පහන් රැයේ.. ගීතය ආරම්භයේ පටන් අවසානය දක්වාම, අසන්නාව හීන නිද්‍රාවක ගිල්වන ගීතයක්.. මේ ගීතය අහන්න පටන් ගත්ත හැමදාකම වගේ, ගීතයේ මුල් පදය පටන් ගන්න මොහොතේ ඉඳන්, අවසානය දක්වාම, කිසිදා නුදුටු, හැඩරුවක් නොදන්නා සංකල්පමය කාන්තාවකට මම ආදරය කරන්න පටන් ගන්නවා.. ඇය ලස්සන ද අවලස්සන ද, ඒ කිසි දෙයක් ගැන කිසිම හැගීමක් නැහැ, නමුත්, යශෝධරා චරිතයක ආත්මීය හැඩ රුව ඒ හිතේ මැවුන "කාන්තාවගේ" හැංගිලා තියෙනවා. "අනේ, මම රාත්‍රිය වුනා නම්", මටත් හිතෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. ඒ, සිද්ධාර්ථ වගේ රෑ අඳුරේම හැංගිලා යන්න නෙවේ, ඒ හීන නිද්‍රාවේ තව තවත් මත් වෙන්න.. සමහර වෙලාවට සින්දුව රිපීට් දාගෙන, දුම්රියේ යන පැය දෙකක ගමනක් වුනත් ඇස් පියාගෙන ඉන්නේ මම ඒ නිසා වෙන්න ඇති.





මුව උඩින් පාත්වී හිඳී 
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ගීතය ඉවරවෙලා සංගීතය අවසන් වෙද්දී, දිගම දිග හීනයක හිතාගන්න බැරි දුරක් ගිය හැගීමක මම අතරමං වෙලා යනවා.. "සඳ පහන් රැයේ, උණුහුමක් හොයාගෙන හොයාගෙන ඇවිල්ලා, සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ.." ඔව්, අව්‍යාජ පද පෙලකින් හැඩවුන, කදිම සංගීත මුසුවකින් තැනුන පෙම් සිහිනයක්..

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ

උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොඳුරු පෙම් සිහිනයේ
අනේ මම රාත්‍රිය උනා නම්

මුව උඩින් පාත්වී හිඳී
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය උනා නම්

ළඟ ළඟම මා එතැයි සිතාලා
බිඳක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ මට ඔබව හිමි උනා නම්

ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ළං වෙලා හිදීමී
උරහිසේ හිස හොවා හඩන විට
හාදු වැස්සක් වෙලා වැටේ

සඳ පහන් රැයේ
මේ..........
සඳ පහන් රැයේ
සදාකල් ළඟින් හිඳින්නම්
මං නුඹව මලක් සේ රකින්නම්
අනේ මං මලක් සේ රැදෙන්නම්
ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ළං වෙලා හිදීමී
හාදු වැස්සක් වෙලා වැටේ

Friday, February 20, 2015

මගේ මේසය-අලුත් රස්සාව-ආපහු බ්ලොග් ලිවිල්ල හා අතුරු කතා



උනා  උපැස්  යුවල
වීසි කර  මේසය  මතට
දෑ අතින් හිස  බදා
බර දෙමි මේසය උඩට

හරි බරි ගැසී පුටුව උඩ
ඇඟිලි තුඩු  හිස කෙස් මුලට
තබා  තද කර සුවක් සොයමින්
පෑන් අග හපමී නිරන්තර


අත් ඔරලෝසුවේ ටිකි ටිකිය
යදී සුරතේ උණුහුම
රැයක් අද ගෙවාලූ
හෙට උදේ හිරු
එන්න පළමුව

ගෙදර  ආ විගස
වේවැල් පුටුව නොකැරකෙන
කිරි කිරිය අයදින
උඹත් මට මහ බරක්
ඉදගත් වනම මුමුණන


පාවහන් යුග පයට පෑගෙන
ඉනූ තැන තවමත් එසේ ඇත
ඇඟිලි තුඩු බිම තදින් තෙරපා
දෙන්න හිතෙයි පා පහර අද හෙට


හෙට උදේ යලි ඇදෙමි
වියපත් දෙපා විසි වසට
තවත් අඩියක් තවත් එඩියෙන්
තබන්නට ඉඩ ඇතිද සෙවුමට


ආපහු  ලියන්න, මේ බ්ලොග් කටුවම.. අපමණ දේ ලිව්වත් බ්ලොග් කටුව වෙනුවෙන් කිසි දෙයක් ලියන්න බැරි වුන පහු ගිය අවුරුද්දේ අවසන් කාලේ පටන්, ජීවිතේ සිදු වුන සංක්‍රාන්ති බොහොම යි. නොම්බර එක, පොඩිවට බ්ලොග් කටු වලටයි ලට පට අනන් මනං වෙබ් වලටයි ලිපි ලිය ලිය උන්න සූටි කොලුවා මවුබිම සිලෝන් ටුඩේ පත්තර කන්තෝරුවේ වෙබ් මාධ්‍යවේදියෙක් විදියට වෘත්තීය ජීවිතේ පටන් ගත්තා. ඒ වගේම තව උනන්දු මූණු ටිකක් එක්කාසු කරගෙන අලුත් වැඩකුත් පටන් ගන්න පුළුවන් වුනා. මෙන්න මෙතනින් ගිහින් අපි කීප දෙනෙක් කරපු වැඩ ටිකක් බලාගන්නත් පුළුවනි.  



පහු ගිය දොහේ  කරපු වැඩ අතරින් වැඩියෙන්ම හිත ගියේ වෙනම දේකට යි. අර්ධ නාගරික පරිසරයක තැලුණු පොඩි වුන පුංචි හිත් හදන අධ්‍යාපන පරිසරයක හය වසරේ ඉඳන් දහ තුන වසරට යනකං පොඩ්ඩෝ ලොක්කෝ ඔක්කොම එකතු වෙලා කරන සුහෘල්ලේඛා චිත්‍ර ප්‍රදර්ශනයට සහ සම්බන්ධ වෙන්න මටත් පොඩි ඉඩකඩක් ලැබුනා. චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය වෙන්නේ බ.ප./කැළ. මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ චිත්‍ර කලාව හදාරන සිසු සිසුවියන් අතින්. චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් සියලුම ඡායාරූප සහ ඩිසයිනින් වැඩ ටික මට බාර වෙද්දී දැනුන සතුටට වඩා, මාස කීපයක් පුරාවට මේ පොඩ්ඩෝ පොඩ්ඩියෝ එක්ක ගත කරද්දී මම ආපහු මගේ පාසල් කාලයට ගියා. සුහෘල්ලේඛා චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් මම විවෘත කරලා දුන්න පුංචි බ්ලොග් අවකාශය මෙන්න මෙතනින් බලාගන්නත් පුළුවනි. 


වසර එක හමාරක මහන්සියේ තිරය පිටුපස කතාව මගේ කැමරා කාචයේ සටහන් වුනේ මෙන්න මෙහෙම යි.

























ඔන්න චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 2015 ජුනි මාසේ  25 26 27  කියන දවස්වල, රාගම මත්තුමගල කරුණාරත්න බෞද්ධ විද්යාල භූමියේ. හැමෝටම එන්න කියලා නිල නොවන විවෘත ආරාධනාවක් කරනවා එහෙනම්. ආපහු බ්ලොග් කටුව දිගටම කරගෙන යාමේ බලාපොරොත්තුවෙන් නවතිනවා. ජය!





Related Posts Plugin for WordPress, Blogger...