Saturday, June 1, 2013

කවිය නුඹ.. දොරට වැඩුම අදයි..



මිතුරෙකුගේ කවි පොතකට පෙර වදනක් එක් කරන්න කියන ඉල්ලීම නිසා කරූ කොලුවාට ටිකක් පුදුමයි. "ඇඃ මං මොනා කියල  ලියන්නද හප්පේ" කරූ කොලුවා කල්පනා කළා.කොහොමින් හරි අන්තර්ජන්ජාලෙන් පිටපතේ නිර්මාණ කීපයක් ගෙන්නාගෙන බැලුවාම කරූටත් මාර හැපී ඈ.. හිතට දැනෙන අදහස් ටික වචන කීපෙකට ගොනු කරලා පෙර වදනක් සපයා දෙන්න කරූ පොරොන්දු වුනා.අපේ මේ කිවිඳිය කොළඹින් බැහැර ඉන්න නිසා ජාතික පුස්තකාලෙන් ISBN අංකය වෙන්කර දුන්නෙත් මේ සත් ගුණවත් ඉලන්දාරියාම තමා. මේ කවිකාරි වෙන කෙනෙක් නෙවේ, "මොනරු" නවකතාවට බ්ලොග් ගඩොල් බඳින  අරුණි කළුපහන. ඉතිං අද දවසේ දොරට වැඩියේ ඇයගේ කුලුඳුලේම එලි දකින කාව්‍ය සංග්‍රහය වන "කවිය නුඹ-සුළඟ සේ විත්"


පෙරවදන...


  අරුණි කළුපහන සොයුරිය විසින් පබඳින්නට යෙදුන "කවිය නුඹ" කාව්‍යමය සිත්තම වෙනුවෙන් වචනයක් එක් කරන්නේ ඉමහත් සතුටකිනි. මව්කුස පටන් වෘධ විය අවසානය දක්වා ගැහැණියකගේ දිවිය සිසිර,වසන්ත,ගිම්හාන,සරත් යන සෘතු විපර්යාස තුලින් විනිවිද දුටු කාව්‍යකරණ ආයාසයක් ලෙස කවිය නුඹ නිර්මාණ පෙළහර හැඳින්වීමට පුළුවන. කවිය නුඹ සිරස තුලින් ඇය ගම්‍ය කරවීමට උත්සහ දරන ගැහැණියකගේ ජිවිතයම කවියක් ය යන පණිවුඩය ඇයටම හුරු ආරකින් සහෘදයා වෙත ඉදිරිපත් කිරීමට අරුණි සමත්ව සිටින්නී ය.මනා සංකේතාත්මක යෙදුම්වලින් පිරි ඇයගේ නිර්මාණයන් භාව රූප ගොඩනංවමින් නිර්මාණයේ යෙදෙන අතරතුර ඇය ගමන්ගත් පථය ඔස්සේම සහෘදයා කැටුව යාමට සමත්ව තිබීම සැබවින්ම ප්‍රශංසනීය ය.
   කවිත්වය යනු උපතින් හිමි වන්නක් මෙන්ම නිතැතින් නිරන්තරයෙන් හුරු කොට ගත යුත්තකි. වදන් මගින් සහෘදයා තුල සිත් රූ මවාලිය හැකි අපූරු හැකියාව ඇය තමන්ගේ නිරන්තර හුරුව කොටගත් බව මෙම නිර්මාණ එකතුව තුලින් කදිමට පෙනී යයි.  විද්‍යා විෂය ධාරාවෙන් උසස්පෙළ කඩඉම ජය ගැනීමට වෙර දරන කාර්ය බහුලත්වය අතරතුර හුදෙක් තමන්ගේ ආත්මතෘප්තිය වෙනුවෙන් ලියවෙන ලද මෙම නිර්මාණ ගොන්න ග්‍රන්ථයක් ලෙස පාඨකයා වෙත සමීප කරවන මොහොත වෙත දායක වන්නට ලැබීම මට සතුටු කාරණයකි.අණුක සුත්‍ර ශ්‍රිත ප්‍රස්තාර අතර සිරවී නොසිට ලද විවේකයන් අතරතුරදී  තව තවත් මෙවන් රසබර කවිකම් කිරීමට අරුණි කළුපහන සොයුරියට දිරිය ශක්තිය ලැබේවා යි මම ඉතසිතින් ප්‍රර්ථනා කර සිටිමි. 

බී.පී.කරුණාරත්න
ලේකම්
අනද කවි ගී සඳැල්ල
ආනන්ද විද්‍යාලය-කොළඹ 10.
ප.ලි. උපුටා ගැනීම් පසුවට බලාපොරොත්තු වන්න. ( අරුණිගේ කොපි රයිට් මෙව්වා එක ඇපෘ වෙන්න එපායෑ)

Tuesday, May 28, 2013

සුදු වැලි පාර...


අප්පච්චිට ලියුමක්...



මතකද, මම පුංචි සන්දියේදී.. අපේ ඉස්කෝලේ අද්දරින් වැටිලා තිබ්බ සුදු වැලි පාර දිගේ මම දුවගෙන එනකන් ඔයා බලං ඉන්නවා? මට හොඳට මතකයි අප්පච්චියෝ. නිල්පාට හැට් එක එක්ක ලොකු කන්නාඩි කුට්ටමත් වරද්දන් නැතුව දාගෙන ඇවිල්ලා,මම එනකන් ඔයා බලං ඉන්නවා. මට පෙන්නේ නෑ ඔයා බලං ඉන්නේ කොහෙද කියලා,ඒ ඇස් කන්නාඩි කුට්ටමට වැහිලා දිස්නේ දුන්නට,මම දන්නවා ඒවා බලාගෙන ඉන්නේ මං එනකන් කියලා.සුදු වැලි පාර උඩහට ගියාම තියෙන වෙරළු ගහ,මතකද අප්පච්චි ඔයාට? හවසට ප්‍රිෆෙක්ට් කෙනෙක් දානවා අපේ ලොකු සර්,අපේ එවුන්ට වෙරළු ඇහිදින්න යන්න දෙන් නැතුව හිර කරන්න.  එත් කවදාවත්ම ඒ ප්‍රිෆෙක්ට්වත් ලොකු සර්වත් දැනන් උන්නේ නෑ,ගොඩක් දවස් වලට වෙරළු ඇහිඳලා මගේ යාලුවන්ට බෙදන්නේ අපේ අප්පච්චි කියලා. ඔයා කොල්ලන්ට දාල තිබ්බ නම් මතකද අප්පච්චි? මගේ පරණ ඉස්කෝලේ ඒ යාලුවන්ගේ ඇත්ත නම් අද වෙද්දී මට මතක නෑ,හැබැයි ඔයා දාපු නම් මට හොඳට මතකයි..මතකද අප්පච්චි ඔයාට බී.ජී.ව? මට අවරුදු ගානකට පස්සේ හම්බුනා මේ ලඟදි.. . මතකයිද,අම්ම අපිට බනිනවා ළමයින්ට නම් හදන්න එපැයි කියලා? අපි නම් නෙවේ ඒ වැඩ නැවැත්තුවේ,නේද මගේ අප්පච්චියෝ.. ඔක්කොමත් හරි, මම දුවගෙන ආපුවාම මව උස්සල බයිසිකලේ ඉන්දවගන්නවා ඔයා.. මට නැගගන්න බෑ ඒ කාලේ. ඉන්දවගෙන මුලින්ම කරන්නේ ඔයාගේ අත යට හන්ගන් ඉන්න නිල්පාට හැට් එක මට දාන එක. මතකයිද අප්පච්චි ඒ කාලේ ළමයි අපිට විහිලු කරනවා මාළු තොප්පි දානවා කියල? දැන් කාලෙනම් ඔන්න කියයි මින් ජුන් හෝ වගෙයි කියල. ඒකට අපි නම් නෙවේ අපේ තොප්පි ගැලෙව්වේ. ඔයා හෙමීට පදිනවා බයිසිකලේ, මම අම්මට හැමදාම ගතු කිව්වා හෙමින් පදින්නේ කියලා.. මතකද අප්පච්චිගේ බයිසිකලේට මම දාල තිබ්බ නම? ඉබ්බ බාගේ,ඉබ්බාගේ වේගෙනුත් බාගයයි.

අම්මට ඉස්කෝලේ ඇරෙන්නේ දෙකට.එයා හෙමින් හෙමින් ගෙදර එනකොට ඉතිං තුනවත් වෙනවනේ.එතකන් මම ඔයාගේ ඔඩොක්කුවේ ඉඳන් කතන්දර අහපු හැටි මතකද අප්පච්චියෝ? ගාල්ලේ ඉන්න කාලේ කරපුවා,දරුමදාසගේ කතන්දරමහවැලි අධිකාරිය,ජල විදුලිය..,ඇයි ඉස්කෝලේ බිග් මැච් එක,පැරඩ් ගියපුවා? මට ඒ කාලේ ඒ දේවල් හරි අමුතුවට දැනුනේ අප්පච්චෝ,ඔයා දන්නවනේ,මම ගිය පුංචි ඉස්කෝලේ එහෙම දේවල් නැතෙයි කියල.ඔයාගේ ඔඩොක්කුවයි අම්මගේ ඔඩොක්කුවයි හරිම වෙනස් අප්පච්චි.දැනෙන විදිය,සුවපහසුව හරිම වෙනස්.එහෙම බැලුවොත් මම අම්මට තමයි වැඩිපුර කැමති.එත් අප්පච්චිත් හරිම ශෝක්.ඔයා ගාව දැනෙන සුවඳයි,අම්ම ගාව දැනෙන සුවඳයි හරිම වෙනස්.එත් ඒ දෙකටම මම ආසයි කියල කවදා හරි දැනිල තිබ්බද අප්පච්චෝ? හැබැයි ඔය දෙන්නම මට ගැහුවා. මට වැඩියෙන්ම ගහල තියෙන්නෙත් ඔයයි අප්පච්චි,ඔන්න ඔන්න මාත් එක්ක තරහ වෙන්න එපා ඉතිං. අම්ම මට ගහන්න පේර කෝටුව කඩලා ගෙනත් තිබ්බම,ඒක හොයාගෙන මට පෙන්නලා "අපි මේක කඩමු පුතා-ජී" කියපු හැටි මට අමතක නෑ ඉතිං. අපේ අම්ම නෙවේ නේද එකෙන් සැලුනේ,අපි දෙන්න කඩන්න කඩන්න එයා ගෙනත් හංගනවා මට ගහන්න. අන්තිමේදී බැරිම තැන තමයි මම පේර ගහ කපන්න ගියේ.චන්ඩියා වගේ ගියාට මට බෑ ඒක කපා ගන්න.ගහන ගහන පිහි පාරට පොත්ත යනවා විතරයි ගහේ,ඔන්න ඊට පස්සේ තමා දවසක් මම ඉස්කෝලේ ඇරිලා එනකොට පේර ගහ ඔයා කපල තිබ්බේ. එක දැක්කම මගේ මූණ, අම්මේ...

ඔයා හරිම කලුයි.අම්ම නම් සුදුම සුදුයි.ඔයත් සුදු උනා නම් මටත් මීට වඩා සුදු වෙන්න තිබ්බනේ කිව්ව එකට ඔයා මාත් එක්ක තරහ නෑ නේද අප්පච්චි? ආ, දන්නවද? මේ ලඟදි මම ගත්ත ෆොටෝ එකක් ටිකක් කළුවරේ, එකේ ඉන්නේ මම නෙවෙයි අප්පච්චි ඔයා.ඔව් ඔයාම තමයි ඒ ඉන්නේ,මම නම් නෙවේ.ඒ මූණ,ඒ පාට එහෙමමයි අප්පච්චි.හැබැයි ඔයා වගේ හිනා වෙන්න මම දන්නේ නෑ,ඒ හිනාවෙ සිරියාව මට කවදාවත් අමතක වෙන එකක් නෑ.අමතක වෙන්න? මම මේ මොනවද මන්ද කියන්නේ.. මගේ අප්පච්චි හිනාවෙද්දි  කවදාවත් දත් පෙන්නන්නෙත් නෑ,කවදාවත් සද්දෙට හිනා වෙන්නෙත් නෑ. අනේ, මටත් ඔයා වගේ වෙන්න ඇත්නම්.. මහින්දෙ ටයි එක දාගෙන,වයස දාහතේදී ගත්ත පින්තුරේ ඔයාට මතකද අප්පච්චි?එක දැක්කම මගේ ඊරිසියාව,මට නම් මේ කපේදී එහෙම ලුක් එකක් ගන්න බෑ අයියෝ.. ඉතිං කියන්න,මං නොට්ටිගේ පුතා තමයිද කොහෙද..

කාලය ගොඩක් දේවල් වෙනස් කළා නේද අප්පච්චි? මම අන්තිමට කොළඹ රටට ආවා.ඉගෙන ගන්න,ලොකු මහත්තයෙක් වෙන්න. හොඳ මනුස්සයෙක් වෙන්න පෙරුම් පිරුවට පිය-පුතු ගැටුම කියන්නේ ලෝකේ සදාතනික ධර්මතාවක් කියලා මට ඒ කාලේ තේරුනේ නෑ අප්පච්චි.ඒ කාලේ ගෙදර වැඩියෙන්ම වලි දාගන්නේ අපි දෙන්න.මතකයි නේද?සමහර වෙලාවට අම්මට වත් බේරගන්න බෑ. අපි තරහ උනා,යාලු උනා.කාලෙත් ඒ එක්කම ඉගිල්ලුනා අප්පච්චි. දවසක් මම ගෙවල් පැත්තේ ආව කොළඹ රටේ ඉඳන්.ඔයා ගෙදර නෑ.ඒ මදිවට අපි තරහත් වෙලා.. මම එන්න ආවා,ටවුමේදී මම දැක්කා අප්පච්චි ඔයාව. මෙච්චර වෙලා මම කිව්ව හැමදේම ඔයා දැනන් උන්නත්, මම එදා එවෙලේ ඔයාව දැක්කා කියල අදටත් දන්නේ නෑ නේද අප්පච්චි? මම දැක්ක ඔයා,පාරේ අනිත් පැත්තෙන් හුළඟ වගේ වේගෙන් යනවා.මම ආව කියන ආරන්චියටවත්ද? මම ලඟම තිබ්බ වාහනේකට මුවා උනා.ඔයා නොපෙනීම යන්න ගියා අප්පච්චි.. මම ඔයාව දකින අන්තිම දවස එදා කියල මම දැනන් උන්නනම්?

මම ඔයාට ආදරෙයි අප්පච්චි. මම කවදාවත් එහෙම කියලා නැතුව ඇති ඔයාගේ කන් දෙකට ඇහෙන්න.එහෙම කියන්න අවස්තාවක් මට ලැබෙන්නත් නැතුව ඇති,ආයේ එන එකකුත් නෑ අප්පච්චි.ඔයාගේ කට හඬ මගේ හදවතින් ඈත් වෙලා තිබුනත්,ලඟදි හීනෙන් මාව බලන්න ඇවිල්ල කියපු දෙයින් ඒ කට හඬ ආයෙත් මට දෝංකාර දිදී ඇහෙනවා අප්පච්චි,ඇත්තමයි..ගෙදර යන වෙලාවට ඔයා ආපහු ඇවිල්ල ඇතී කියන අහිංසක බලාපොරොත්තුවෙන් මම අවරුදු ගානක් මග බලං උන්න මගේ අප්පච්චි,ඔයා කවදාවත් ඇවිත් තිබ්බේ නෑ.. මගේ හිතේ ඒ ගැන කහටක් නෑ අප්පච්චියෝ, ඉන්න තැනක හොඳින් සතුටෙන් ඉන්න.මට ඕනා එච්චරයි. කොල්ලෙක් විදියට මට ඔයාව ඕනම කරන කාලෙක.... නෑ. එව ඕනේ නෑ. මාව මතක් උනොත් ආයේ දවසක හීනෙන්වත් එන්න අප්පච්චි,මම බලං ඉන්නවා..


                                                                                         මම ඔයාගේ එකම,
                                                                                              "පුතා-ජී"

Saturday, May 25, 2013

සුළඟ වගේ ඇවිදින්.. සුළඟ සමග ඇවිද ගියෙමි..


 දෙවන හැරී බැලුම..

සුළඟ වගේ ඇවිදින් පොත කියවපු උනුසුමෙන්ම දිනේෂ් කොළඹගේ සොයුරා( ඔහුත් සහෝදර ආනන්දියෙකු බැවින් එසේ අමතනු කැමැත්තෙමි) වෙත ඊයක් යැවූ බව කරූගේ සිත් රූ එක්ක එකතු වෙලා උන්න ඔයාලා දන්නවා. සමනලුන් වගේ කාලයත් එක්ක පියාඹා ගිය පාසල් කාලයේ මතකයන් නෙතට කඳුලක් කැඳවාගෙනෙමින්ම මතක් කර දුන් නිර්මාණයක් ලෙසයි "සුළඟ වගේ ඇවිදින්" මට දැනුනේ.. ඉතිං ඒ මතකයන් එක්කම මගේ හදවතට සුළඟේ සිසිල දැනුනේ කොහොමද කියල තමයි ඒ ලිපිය. ඔන්න ඒක කියෙව්වේ නැත්තම් මෙතනින් කියවන්න.

ලිපිය ලියවෙන්නේ පොත ගැන උනත්,ඔන්න කරූ නම් කීයටවත් කතාවේ සාරාංශය සදහන් කරන්න ලැස්ති නෑ.කතාව ගලා යන්නේ කොයිබටද කියලා පොත කියවලාම දැනගන්න කියලයි කරූ ආරාධනා කරන්නේ.ළඟකදී මේ පොතේ අලුත්  ප්‍රින්ට් එකකුත් එලියට ආවා,හොයාගන්න බැරි උනොත් pdf ෆයිල් එකක් විදියට මෙතනින් බා ගන්නත් පුළුවන්.

  සුළඟ ලියැවිලා තියෙන්නේ හරිම සරල භාෂාවකින්,හරියට මේ පොස්ටුව ආරම්භයේදී කොටන්න හිතපු ශෛලිය වගේ තමයි. උසස් පෙළ කාලේ ගත කරන කොලු රෑනකගේ විත්ති කියන්න හොඳම භාෂාව දිනේෂ් විසින් තෝරාගෙන තියෙනවා.ඉතිං මේ පොත මගේ හදවතට මේ තරන්ම ලං වෙන්න හේතු වුන හේතු මතක සටහන් ටිකක් මම මේ ලිපියට එක් කරන්නම්.

  කතාව ගොඩ නැගෙන්නේ කොළඹ නගරය,නුගේගොඩ මහරගම ප්‍රදේශය වට කරගෙන.කතාවේ ප්‍රධාන පිරිමි චරිත වන මාලින්ද,බින්දු,කොටා,ගිහාන්, අමිල ඉගෙන ගන්නා පාසල තියෙන්නේ කොළඹ නගරයේ මරදාන අවට කියලා හුරු පුරුදු ඕනෑම කෙනෙකුට දැනී යනවා. නමුත් දිනේෂ්ගේම වචනයෙන් කිව්වොත්, "එක මරදානේ ඉස්කෝලයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්" නමුත් ආනන්දියකු වුන දිනේෂ්ගේ ආනන්දනීය මතකයන් ඔහුටත් දැනී නොදැනීම මේ නිර්මාණයට එක් වන්නට ඇතී.සමනල් සේයාවෙන් පාවී ගිය පාසල් කාලයේ සුන්දරත්වය ආනන්දයෙන් විඳි,නොවිඳි ඕනෑම කෙනෙක්ට සමීප කරවන්න දිනේෂ්ගේ ඒ ආයාසය හේතු වන්නටත්  ඇතී.

  පොත ගැන දැනුන අදහස්වලින් බිඳක් එක් කරලා යවපු ඊයට පිළිතුරු දෙන්න දිනේෂ් සහෝදරයා කාරුණික උනා. පොත කියවන විට රචකයාගෙ ස්වභාවය ගැන හිතේ ඇඳුනු චිත්‍රය ඒ විදියටම රැකුන පිළිතුරක් මට ලැබුනා කිවොත් මම හරි.ඔහු තමන්ගේ පෞද්ගලිකත්වය ඉහලින්ම අගය කරන නිසා පාඨක ඔබටත් වැදගත් වේ යයි හැඟෙන අදහස් කිහිපයක් පමණක් මම එයින් උපුටා පල කරන්නම්.


පොත කියවන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක ඇත්ත කතාවක්ද කියන එකනේ. මෙන්න ඔහු ඒ වෙනුවෙන් ලබා දෙන පිළිතුර. "බුද්ධි, මම කවදත් මගේ  නිර්මාන එලියට දාලා හැංගිලා ඉන්නේ. මොකද, මම තදින්ම විශ්වාස කරනවා  වඩාත් වැදගත් නිර්මාණය මිසක් නිර්මාණකරුවා නෙමෙයි කියලා. සුළඟ‍, අහසේ ඔහේ පාවෙන ලස්සන සරුංගලයක් කියලා හිතන්න..සරුංගලේ ලස්සන බලන්න..., සැහැල්ලුවෙන් ඒකත් එක්ක පාවෙන්න.ඒක ඇත්ත සරුංගලයක්ද? එහෙම නැත්නම් මායාවක්ද?,  ඒක හැදුවේ කවුද...?,  ඒ ඇයි ? කියලා හොයන්න ගියොත් අපිට සරුංගලේ ලස්සන බලන්න බැරිවෙනවා.
හැබැයි එහෙම විස්තර හොයන්න හිතෙන එකත්, ඒ කුතුහලයත් සාමාන්‍යය දෙයක්. මගෙන් පොත බලපු හැමෝම වගේ ඔය ප්‍රශ්ණය අහනවා." 

ඇත්ත. සුළඟ සමග පියඹා යන්න,ඒ සුළගේ සිසිල විඳගන්න ඒ සුළඟ ඇත්තක්ම වෙන්න ඕනෑ නෑ.සුළගේ සිසිලස අපට සමීපව දැනෙනවා නම්,ඒ සිසිලස අපට හුරු පුරුදු නම් අපට ඒ සුළගේ ඉගිලෙන සරුංගලයේ ලස්සන දැනගන්න පුළුවන් වේවි. ඉතිං ඔහුට මම මේ වගේ පිළිතුරක් ලබා දුන්නා."සරුන්ගලයේ නිදසුන මම එකසිතින්ම පිලිගන්නවා අයියේ.ඒ සරුංගලය මට විශේෂයි,මොකද කිව්වොත් සුළඟ වගේ පා වෙලා යන ඒ සරුංගලය මීට අවුරුදු දහ අටකට කලින් පාවුණේ මගේ සරුංගලය දැන් පාවෙන අහසේම වුන නිසා,ඒ සරුංගලේ සමහර රැලි,පාට මගේම සරුන්ගලයේත් තියෙන නිසා.. :) සුළඟ වගේ ඇවිදින් පොත තවත් දස දහසක් දෙනාගේ සිත්වල රැදේවි,සුළඟ වගේ ඉවතට නොයා ම"

    වසර දහ අටකට එහා පාවුණ ඒ සරුන්ගලේම හැඩය ගත්ත මගේත් සගයන්ගේත් සරුන්ගලවල පාට ගැන මතකයන් මේ සටහනට එක කරන්නම්.

"ඒයි.. අද ඇප්ලයිඩ් සර් නෑ! "
කොහේදෝ ඉඳල ආපු ජැකා පන්තියටම කෑගැහුවා.
"නියමයිනේ. ලාස්ට් පීරියඩ් දෙකම සොමියේ ඉන්න පුළුවන්."
කොටා කිව්වා.
#35 පිටුව
(12 B4  ක්ලාස් එක,කැමරාව ජැකාගේ!)





මේ!
මට එහා පැත්තේ ඉඳපු කෙල්ලක් කතා කළා
මටද? මම හැරුනා
ඔයාගේ නම මාලින්දද?
ඔව් ඇයි?
ක්ලාස් ඉවර වෙලා මාව හම්බු වෙන්න පුලුවන්ද?
ඇයි?
එතකොට කියන්නම්.
මාව කරකොල අතැරිය වගේ උනා.
ඒ ගමන මේ මොකද්ද වෙන්න යන්නේ ?
#45 පිටුව

(අනද අබිමන් ප්‍රදර්ශනයේදී,-කරූ)
මේ  පීරියඩ් එක ඉවර උන ගමන්ම පනිමු එලියට.
ඊට පස්සේ උඹගේ ලව් පාටිය දීපං..
නැත්තන් ඕවා කල් දාගත්තොත් ජීවිතේට හම්බු වෙන්නේ නෑ..
#166 පිටුව
#cake #cake#cake# නුගේ හන්දිය!

කට් එක
දෙල්කඳ හන්දිය!

අරුණි මගේ දිහා බැලුවා.
මම හිනාව බොහොම අමාරුවෙන් නවත්තගෙන
  176 කරගම්පිටිය බස් එකට අත දැම්මා
#174 පිටුව

(අපි 176කට අත දාන්න බලාගෙන,මරදානේ)

"අපි ගැන්සිය දහයක් විතර පිට්ටනියෙන් එලියට ආවා.
කොටා,අමිල,මම,අසංග බිංදු...
කට්ටියම නැග්ගා බොරැල්ල සුපර් මාකට් එකට..
අමිල ගෙනාපු ඩ්‍රම් එක ගහන්න පටන් ගත්තා.

පාරේ නටපු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලනුව උඩින් ඇර සොයිසා.. ලනුව උඩින් ඇර...
හායි හායි හිප්පි හිප්පි හායි...

#116 පිටුව



අපි දෙන්නා පාරෙන් එහා පැත්තට ආවා.
අරුණි අක්කගේ  යාළුවො ටික එතනම නැවතුනා,බස් එකේ නගින්න.

"ටවුන් හෝල් ගිහින් 138ක නගිමු නේද?"
"හා.."
#91 පිටුව
(වෙනදට 138 අල්ලන්න ටවුන් හෝල් එන අපි,
පාන්දර දෙකට පෝස්ටර් අලවන්න ඇවිත්)







"අන්ජලී මේ හරියේ නිදහසේ කතා කරන්න
 පුළුවන්  එකම තැන පාක් එක විතරයි.
#60 පිටුව

(පැරඩ් ගිහින් අන්තිමට යන්න තැනක් නැතුව විහාරමහදෙවියට සෙට් උන අපි-12 වසර) 











































    මතකයට නගන්න,සුළඟ සමගින් මතකයෙන් අවදි වෙන්න තියෙන සිහිවටන බොහොමයි. ඒ මතකයන් එක්කම සංවේදී වන හදවතකින් මෝදු වන කඳුළු බින්දු ගැන දිනේෂ් අදහස් දැක්වුවේ මෙහෙමයි.සුළඟ කියවලා දෙනෙත් තෙත් වුනා එකගැන මට කියන්න තියෙන්නේ, මාලින්ද සහ අරුණි ගැන දුක් වෙන්නේ බොහොම සංවේදී හදක් තියෙන අය කියලා. මට හිනායන්නේ නැති, හැඟීම් දැනෙන්නේ නැති, ඇඬෙන්නේ නැති කතා මම ලියන්න ආසා නෑ. මට දැනෙන දේ අනිත් අයටත් දැනෙන එක ගැන නම් අවංකවම සන්තෝසයි. (සමහර වෙලාවට ස්කෝලේ වැරුද්දක් වෙන්නත් පුලුවන් :-) ).  සත්තකින්ම ඔහුට දැනෙන දේ,ඔහු සන්නිවේදනය කල දේ හදවතට සමීප වීම වෙනුවෙන් මට තිබු සුදුසුකම අප දෙදෙනාගේ ඉස්කෝලේ වරද නම් නොවේ! කියමනට කියන "හතුරෙක්ටවත්වෙන්න එපා වර්ගයේ ඛේදයකට මුහුණ දෙන මාලින්ද ගැන හදවතක් ඇති ඕනෑම අයෙකු සංවේදී වේවි.ඒ වෙනුවෙන් කඳුලක් හලාවී.එහි ඇති රහස නම් ඔහු මේ කතාන්දරය පාඨකයාට ඉදිරිපත් කරන සමීප වූ භාෂාවයි.එය කියවන විට දැනෙන්නා වූ රසය ඨාකුරයන්ගේ ගෝරා කියවන විට දැනෙන රසය හෝ විභූතිගේ අරණකට පෙම් බැඳ කියවන විට දැනෙන රසය ආකාර නොගත්තත් සුළඟ පොතද ඔබ කියවූ ආදරණීයම පොත් ගොන්න අතරට එකතු වනවා ඇතී.

"බලපන් මේ සුමානෙම අධ්‍යාපනේ කියල සත පහක දෙයක් කලේ නෑ.
අදවත් පාඩම අහගන්නවා කියල ආවේ.එදාට සර් නෑ.
යන්ද ලයිබ්‍රි? පාඩමක් දාන්න."
#14 පිටුව
⬛පබ් එක 


කතාව මේ තරමටම හිතට අල්ලන්න තවත් එක හේතුවක් උනේ සිදුවීම් මාලාවේ තියෙන තාත්වික බව. සුළු සිද්ධීන් එකට යා කරමින්,ප්‍රධාන සිද්ධි කිහිපයක් අතරේ දෝලනය වෙන මේ කතාවේ දෙබස් වලත් තියෙන්නේ හිතාගන්න බැරි තාත්වික බවක්.කතාව ගොඩ නැගෙන පරිසරයේ තිබෙන සමීප බවත් එක්කම ඒ පරිසරය කතාවේ ගලා යාමට දක්වා ඇති සහයෝගය නිසාම,මෙහි හුදු කල්පිතයකට එහා ගිය සත්‍යතාවක් ඇතැයි ඕනෑම අයෙකුට දැනෙයි.සුළඟ සත්‍යක් යයි මාද ඇතුළුව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නට පෙළඹෙන්නේ ඒ නිසාම විය යුතුය.


ඔබෙ පාසල් දිවියත් සුළඟ වගේ පැමිණ ගොස් ඇතී. නැතිනම් සුළඟ සේ දැවටෙමින් තවමත් ඔබ ලඟම ඇතී.නමුත් දිනයක එය සුළඟ සේම නික්ම යාවි.කාටවත් නොදන්වාම.පාසල් ප්‍රේමයේ සුන්දරත්වය ඔබට මතක් කර දීමට සුළඟ සමත් වේවි.සුළඟ සමග ඇවිද යන්න. එය රස විඳින්න.එය මගේ මෙන්ම ඔබෙත් පාසල් මතකයන් අවදි කරනවා සත්තයි.ඊළඟ පොස්ටුවෙන් හමු වෙමු.

Monday, May 20, 2013

ටෙලි කෑලි..


     පුංචි තිරයෙන් පාර්ලිමේන්තුවට...



අකුරු,පද,පේලි ගලපලා එලි දැක්වෙන නිර්මාණයක් තුලින් සමාජයට යම් කිසි පණිවුඩයක් දෙන්න පුළුවන්,දෙන්න කැමති අය කීප දෙනෙක්ගේ එකතුවෙන් හදාගත්ත හවුලක් විදියට "අනද කවි ගී සඳැල්ල"හඳුන්වන්න පුළුවනි. අද පොස්ටුවෙන් මම කියන්න යන්නේ "අනද කවි ගී සඳැල්ල" ගැන නොවුනත් මේ නිර්මාණය මගේ බ්ලොග් අඩවියට එක්කාසු කරන්න කලින් ඒ ගැනත් වචනයක් කියලම පටන් ගන්න  ඕනෑ කියල හිතුවා.මේක ලිව්වේ සඳැල්ලේ ආරම්භකයා වගේම  අපේ ලොකු පුටුව.නමින් මංගල සේනාධිපති.ලොකු පුටුව කියලා හැඳින්වුවත්  ඔහු අපි වගේම සරල පුද්ගලයෙක්,සහෘදයෙක්. වචන දහසකින් ලියන්න ඕනෑ ලිපියක අපූර්වත්වය,හාස්‍ය උපහාසය එක්කම හිතන්නට යමක් ඉතිරි කරමින් වචන කීපෙකට කැටි කරපු නිර්මාණයක් ඔහුගේ අතින් නිමවුණේ මෙහෙමයි.. මංගල සේනාධිපති මේ නිර්මාණය එක් කරන්නේ ඔහුගේ "එකසිය විසිහයෙන් දහ තුනක්" කාව්‍ය සංග්‍රහයේ "පන්ති කවි" වෙළුමට.සඳැල්ලේ සම ලියන මහත්තයා විදියට බ්ලොග් අවකාශයටත් මේ නිර්මාණය මුදා හරින්න මම කල්පනා කළා..


ටෙලි විසෝන් එකේ ඈ උන්නා - අඟර දඟර කෝමල දන්නා
සුරතල් හිනාවකුත් පෙන්නා- ඒවා දැක්කම මත් වෙන්නා

කතාව තාලෙට ඉංග්‍රීසි-ගවුමෙන් ඉතිරෙයි බොහෝ කාසි
පැණි වෑහෙන ලෙස රස දෝසි-මායම් පෙන්නයි හොර පූසි

දැන් ඈ ඉන්නේ ටෙලියේ මෙගා-දුක මතු කර දෙයි කෙඳිරි ගගා
දුටුවම ඇයගේ එවැනි රඟා-දෑසම සේදෙයි කඳුළු පොඟා 

මේ අතරේ කතිරය එනවා-ඈ ලා කතිරය ඉල්ලනවා
පක්සේත් අමතක වී යනවා-උඩ පැන පැන කතිරය දෙනවා

රට කරවන මහා සබයේ පුටු-වල ඉන්නවා මේ කෑලි හොටු
ජනතා බුද්දිය වුනා පටු-පොදු ජනයාටයි ඔටුනු කටු

සූටින් හවසට ඇන්නෑවේ-අලුත් එකක් හෙට තිරගත වේ
මීටින් තිබුනට වන්නාවේ-බලුත් වටින්නෑ ඈ කීවේ

ජනතාවගේ අං වගේ රිටී-දෙන්නට හිතෙනවා කෙවිටේ ගුටී
මෙහෙම ගියොත් රට හොඳට හිටී-නරකාදියටයි යන්නේ වැටී

                                        ©මංගල සේනාධිපති



Saturday, May 18, 2013

සුළඟ වගේ ඇවිදින්.......

                      *දිනේෂ් කොළඹගේට ඊයක් යැවූවෙමි.























ඔබ දිනේෂ් කොළඹගේ ය  යන විශ්වාසයෙන් යුතුව ලියමි.මම පොත කියෙව්වේ ඊයේ.පොත කියවද්දී හිතේ ඇඳුන පසුබිම ආනන්දය මිසක අනෙකක් නොවේ.පයින් ටවුන් හෝල් ඇදලා 138 අල්ලන එක,තාප්පේ තරණය, ධවලෙන් තොසේ පාරක් දාන එක,පපට්ලගේ සරඹ,පබ් එකේ වල බැහිල්ල,නුගේගොඩ නටන පිස්සු අදටත් පොදුයි. කතාව හදවතට මේ තරම ලං වුනේ ඒ නිසා වෙන්න ඕනෑ. මාලින්දලා පිට්ටනිය දෙසින් පැන ගිය වසර 50ක් පමණ පැරණි තාප්පය මීට වසර දෙකක් පමණ වනතුරුම ආනන්දය වට කර තිබිණ.අද ඇත්තේ එහි කොටසක් පමණි. පොතක් කියවලා ඇහැට කඳුලක් අන්තිමට ඉනුවේ මම 7 වසරේදී,විභූතිභූෂණගෙ අපරාජිත ජිවිතයක් කියවලා, ඊට පස්සේ ඊයේ.හේතුව,සුළඟ වගේ ඇවිදින්..

කතාව කියවා අවසන් වූ මගේ සිතේ රැඳී පැණ නම් බොහොමයකි.නමුත් මා ඒ පිළිබඳවද ඔබෙන් ප්‍රශ්න කර වෙහෙස කරවීමටද අදහස් නොකරමි. හුදෙක් දැනුවත් කිරීම සඳහා ඒවා සඳහන් කිරීමට කැමැත්තෙමි.බ්ලොග් අවකාශය තුල මෙම පොත ගැන සොයා බැලීමේදී මෙම පැණ ඇත්තේ මට පමණක් නොවන බවද දැනගතිමි.නැගුන ප්‍රධානතම පැනය නම් මෙය සත්‍ය කතාවක්ද යන්නයි.එසේ වුවද නොවුවද මම මෙකි කතාව සත්‍යක් යයි විශ්වාස කිරීමට කැමැත්තෙමි.එය මම කතාව තුල විඳි රසය ඔපවත් කරවයි.එසේම තවත් පැනයක් වන්නේ මෙය සත්‍ය කතාවක් වුවද එය දකින අවසානය පවා සැබෑ ලෝකයේ සිදු වුවක්ද නැති නම් අවසාන කොටස ප්‍රති නිර්මාණය කරන ලද්දක්ද යන වගයි.සැබවින්ම අරුණි මිය නොගියානම් මම කැමැත්තෙමි.නමුත් කතාව හා සැබෑව අතර වෙනස අරුණිගේ අකමැත්ත නොතකා ඇයව සමන්ට විවාහ කර දීම නම් හා එසේ සිදු වී හෝ ඇය ජීවත්ව සිටිමම යන්න යැයි විටෙක මට සිතෙයි.එසේම අරුණිගෙ මරණයෙන් පසුව මාලින්දගේ ජීවිතය කෙසේ ගලා ගියේදැයි යන්න මට කුහුලකි.

මෙය මා කියවූ ප්‍රථම සිංහල ආදර කතාවයි. ජිවිතයේ මුල්ම වතාවට ආදර කතාවක් කියවීමට වයස අවරුදු දහඅටක් අවසාන වනතුරු හිඳිම ප්‍රමාදයක්දැයි මම නොදනිමි.කෙසේ හෝ මෙම නව කතාව ඇතුලත හමු වූ සිදුවීම් හා පසුබිම් මෙන්ම චරිතද,හැබෑ ලෝකයේදී මා ආනන්දයේ ගත කල දිවියේදී හමු වී තිබීම මෙය මගේ හදවතට වඩ වඩාත් සමීප කරවීමට සමත්විය.මාලින්ද,බින්දු,අමිලයා,ගිහාන්.... ඔව්හු අප අතර අදටද සිටිති.අන්ජලීලා,ඉසංකාලාද අප අතරම සිටිති.අදටත් 138පාසල් බස් රථය උදෑසන 6.45 වන විට අනිවාර්යෙන්ම මහරගමට ලඟා වෙයි.7.45වන විට විහාරය අසල නැවත්වු විට බින්දුලා,මාලින්දලා සීසන් අතට ගෙන පපට්ලාට පෙන්වා මාරු වෙති.හැමදාම වරද බස් ඩ්‍රයිවර්ට පැටවෙයි.සුළඟ සේ ඇවිදින් කතාන්දරය කතාන්දරයක් සේ මට නොදැනෙන්නේ එනිසා විය යුතුය.එසේම මා රස විඳි එක්තරා ගීතයක්ද මෙම නවකතාවේ තේමාව ඔස්සේ ගලා යන්නේ නොවේදැයි මට සිතේ.එම ගීතය තුල සුළඟක් වගේ ඇවිද... වැනි පදයක් එක්ව තිබීමෙන් මෙම නවකතාව අරබයාම ලියවුනක් දැයි මට සිතෙයි. එම ගීතය මෙසේය.


රෑ අඳුරේ තනි රකින
තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැලුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගේ ලෝකයේ

සුළඟක් වගේ ඇවිද මගේ විජිතයේ
පුද දුන්න කුලුදුල් සෙනේ
මිහිදුම් වලා
සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ

දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්න ප්‍රේමාදරේ
සසරේ සදා
පෙරුමන් පුරා
හමුවන්න මල්මාලියේ

ගීතය මෙතැනින්..

එම ගීතය පුරාවට කිසිදු වදනකින් එක එල්ලේ මල්මාලිය මිය ගිය වගක් නොකියවුනද,එහි තාලය ඔස්සේ මට දෑනී ගියේ එකී මල්මාලිය මියගොස් ඇති බවක්ය.එය මට දැනී ගියේ මා පොත කියවීමටද පෙරාතුවය.

 ඔබගේ තවත් නිර්මාණ වේනම් ඒවා ගැනද දැනගැනීමට කැමැත්තෙමි.ඔබ කල එළියේ බැබලීමට අකමැති අයෙකු වශයෙන් මගේ සිතේ අදහසක් ගොඩ නැගී ඇතත්(එය එසේ නොවේනම් සමා වන්න) ඔබ මෙම ලිපියට ප්‍රතිචාර දක්වනු ඇති සිතමි. මගේ බ්ලොග් අඩවියේද පොතෙන් මා විඳි රසය ගැන ලිපියක්  පල කිරීමට සිතා සිටිමි.http://karuugesithroo.blogspot.com/ ඔබ එයට දිනක පැමිණ බලනු ඇතැයි සිතමි.

ජය වේවා!
බී.පී. කරුණාරත්න.
ආ' 2013


















Tuesday, May 14, 2013

සිත් රූ ගෙතුන හැටි..


    
















   කරූගෙ සිත් රූ බ්ලොගිය පැත්තට ආපු ගියපු කස්ටිය 1000 පනින්න යන මොහොත ඔන්න. සිංහල බ්ලොග් අවකාශයේ දැවැන්තයොත් එක්ක බලංනැහෙ එක නිකන් මහසයුරට දියදෝත වගේ බව හැබෑව. එත් සිංහල බ්ලොග් අවකාශයේ අයනු ආයනු කියාගන්න තතනන මම වගේ ඈයෙක්ට එක ලොකු ගානක් නොවෑ ආයුබෝවන්ඩ..ඉතිං ඒ චිත්ත පීරීතිය බෙදාහදා ගන්ටයි මේ වෑයම ඕං..

    සිංහල බ්ලොග් අවකාශය ගැන දැනගන්ට හම්බුනේ අහම්බෙන් වගෙයි. ඒ සුදාරක අයියගේ අන්තර්ජාල සටහන නිකෝමට වගේ ඇහැ ගැටිලා.. ලින්කුව හම්බුනේ බුකිය පැත්තේ කරක් ගගහ ඉන්නකොට වෙන්ට ඕනෑ මයේ මතකේ හැටියට.. ඒක කියවනකොට තමා මගේ මේ පුංචි හිතට :P මගේම කියලා බ්ලොගියක් ලියන්ට ඕනෑ කියන පැහැබර අදහස ආවෙ ඔන්න.. ඔය අල්ලපනල්ලේ තමයි දවසක් අපේ GIT ගුරුතුමා ඉස්කෝලේ පැත්තේ නාපු දවසක වෙනත් කොල්ල ටයිප් එකේ සර් කෙනෙක් අපේ පන්තියට එව්වේ.. වෙනදාට GIT වගේ රසවත් විෂයක රසය දරාගන්න බැරි වෙයි කියල බයට පුස්තකාලගත වෙන අපි වගේ ගොබිලන්ට කොහොමින් හරි එදා ඒ වැඩේ මග ඇරුන. පුස්තකාලෙන් එලෙව්වත් ඉටිපන්දම් පැකට් තුන් හාරසීයක ගමනක් ගොහින් තමයි අපි ආයේ පන්තියට එන්නේ.අඩුම තරමේ කැන්ටිමෙන් පාන් රොඩ්ඩක් හරි කොටාබාන්ට කල්පොනා වෙන්නේ ඔය වෙලාවට තමයි ඕං. කොහොමින් හරි එදා පන්තියේ රැඳුන එක මගේ විනෝදාංස වෙනස් කොළා. 2011 අවුරුද්දේ දවසක මගේ බ්ලොගර් අකවුන්ට් එක හැදෙන්න පාර දැන කියා ගත්තේ ඒ ගුරු  උතුමගෙන් තමයි.. මොකද මම වැඩිය අන්තර්ජන්ජාලේ කරක් ගහන ගොබිලෙක් නෙවී නෙව.කොහොමින් කොහොමින් හරි බ්ලොගර් අකවුන්ට් එක හරහා සිංහල බ්ලොග් අවකාශයේ පුංචිම පුංචි කොටස් කාරයෙක් වෙන්ට මටත් පුළුවන් උනා.. දෙයියනේ කියල සිංහල බ්ලොගියක් පටන් ගන්ටත් මාස දෙකකට උඩදී මට පුළුවන් උනා.. කරූගෙ සිත් රූ..... පටන් ගත්තේ අන්න එහෙමයි.. ඇස්වහක් කටවහක් නෑ ආයුබෝවන්ඩ මේ පුංචි බ්ලොග්කරන ආයාසය බලන්න ආපු ගියපු ඈයෝ 1000 සීමාව පසු කොරන්ටයි මේ සුජානම...හිතට දැනෙන සන්තෝසේ කියාගන්ට බැරි තරම්..

   කරූගේ සිත් රූ අඩවියේ පළවුණ බොහොමයක් නිර්මාණ බ්ලොගියේ පල කරන්න කියල හිතාගෙන කරපුවා නෙවි.පතේ පොතේ වැඩ අස්සේ හිරවෙලා ඉන්න කොට දැනෙන විඩාව නිවාගන්න ලියවුන ඒවා තමයි බොහොමයක්.. ඉතිං තවත් දේවල් ඉස්සරහටත් පලකොරන්ට  තමා බලාපොරොත්තුව. ඉදිරියටත් මගේ පොස්ටු රස විඳින්න කියල බුලත් පිලිගන්නන ගමන්ම,මුන්නැහේලාගේ යෝජනා චෝදනා කාරියත් කොමෙන්ටුවකින් කොටලා යන්ට කියලයි ඉල්ලා සිටින්නේ.. ඒවා සිත් රූ ලියන කරූට යෝධ බල යෝධ වීරිය ගෙනත් දේවි.. එහෙනම් කස්ටියටම ආයුබෝ වේවා.. ඊළඟ  පොස්ටුවෙන් හමු වෙමු..

Friday, May 10, 2013

ලියන වගට සංදේශය...





















අමාවක රැයෙක
        අඳුරු අහස යට
අනදුරෙන්
         ආලෝකමත්ව
නිහඬතාවය
        සිහසුන ඉල්වන
යාමයේ..
       නොතනියෙන්
ඔබ හා....

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී. . . . . . . .











කපුටු පියා 
පවන් සලා
සිහිලෙ රඟයි
නදට කොහෝ....


      © කරුණාරත්න

Saturday, April 27, 2013

වරද කොතැන ද????





 











 පාසල් කාලයේ මගේ මිතුරෙකු විය. හේ නමින් මොහොමඩ් සදුර්දින් අමානාත් උසාමා ය. ඔව්! ඔබෙ සිතිවිල්ල නිවැරදි ය.ඔහු උපතින් ඉස්ලාම් භක්තිකයෙකි. ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ මා උගත් සමයේ අංශයේ සිටි මුස්ලිම් ළමුන් තිදෙනාගෙන් එක අයෙකු වූ ඔහු සිටියේ මගේ පන්තියේ ය.හේ මිත්‍රශිලිය,එසේම කෙළියට නැඹුරුය. සිංහල විද්‍යාලයත්, බුද්ධධර්මයත් ඔහුට හරාම් නොවිය. ඉස්ලාම් දහම උගෙනීමට පහසුකම් රහිත වූ ම'පාසලේ බුද්ධධර්මය විෂය අවස්ථාවන්හිදී අප හා එකට එකතුව පාඩම අසා සිටීම ද ඔහුට හරාම් නොවිය.හේ අපූරු චරිතයකි. හේ තම මව අමතන නාමය "උම්මා" බව මා සමග පැවසීමට ලැජ්ජා වූ අයුරු තවමත් මගේ මතකයේ ඇත. 2001 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ  ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ අල් ක්වයිදා ප්‍රහාරයට පසුව සිංහල මිතුරන්  ඔහුව ඇමතු සුරතල් නාමය වූ ඔසාමා බින්-ලාඩන් යන නම කෙතරම් දරුණු වුවද එයද ඔහුට හරාම් වුයේ නැත.ඔහු කැමති වේවා අකමැති වේවා හෙතෙම එය උපේක්ෂාවෙන් ඉවසා සිටියේ ය. කොටින්ම අප විවේකයේදී අනුභව කරන ඕනෑම කඩචෝරුවක් ඔහුට හරාම් වුයේ නැත.අප ගෙදරින් රැගෙන එන කෑම පාර්සලයක් ඔහුට හරාම් වූ කිසිදු දිනයක් පිළිඹඳ මගේ මතකයේ තිබීමට හේතුවක් ද නැත.හේතුව එවන සිදුවීමක් කිසි දිනක සිදුවීම උගහට බැවිනි.අප එකල කල අපූරු කෙලියක් වූයේ ගිනිසීරියා දඬු ගෝනි නූල් වලින් බෙල්ලේ එල්ලා සකසා ගන්නා තුවක්කුවලින් කල යුධ කෙළියයි. අපගේ යුධ පිටිය වූයේ පාසලේ අන්තිම කෙලවරේ වූ ගුරු නිවාසය පසුපස මිදුලයි. අතහැර දැමු වැසිකිලි පද්ධති කිහිපයක් අපගේ "බංකර" ලෙස භාවිතා වූ අතර විරුද්ධ පිලේ "බංකර" වෙත කඩා පැන ද්වන්ධ සටනකට එළඹී මොහොතකදී අප දෙදෙනා අතර තුවාල සිදුකරගන්නාතෙක් සටන් කල මතකයක් තවමත් මගේ මනසට සිනහ රැල්ලක් ගෙන එයි. එලෙස බොදු,කිතුනු මිතුරන් හා කෙලි සෙල්ලම ඔහුටද අප හා සමානව විනෝදය ගෙන දුන්නා මිස එය ඔහුට හරාම් නොවීය.

     ඔහුගේ මව ද සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවකි. පාසලේ අතිරේක පාඩම්වලට හවස්කාලයේ රඳවා ගන්නා දිනයන්හි ඇය නොවරදවාම කෑම පාර්සලය සමග දෙහි යුෂ බෝතලක් එවන්නේ කිසි දිනක ඔහු එය පානය නොකළ බව දැන දැන මෙන්ම ඇතැම් දිනක මුළු බෝතලයම එක උගුරට ඉවර කරන්නේ මා බවද දැනගෙන විය හැකිය. ජාති වාදීන් ලෙස හංවඩු ගසා ඇති (මා ද ඇතුලත්ව) අයවලුන් ඔබගේ මනසට ඇතුලත් කර ඇති දත්තයන් විශ්ලේෂණය කරන ඔබට "උපත් පාලනය" නම් වැකියක් මා එය කියන විට මතක් විය හැකි වුවත්, මා ඔහුව අවසන් වරට දුටු මා පාසලෙන් සමුගත් දිනයෙන් වසර 7කට පසුව හදිසියේ කොළඹ නගරයේදී මා දැක හඳුනාගෙන  වැළඳගත් ඒ සහෝදරයා ගැන එවන් අදහසක් මා තුල ඇති වීම කෙසේ සිදුවිය හැක්කක් ද?

    අද හලාල් ගැන කුඩා දරුවෝ පවා දනිත්.එය කෙතෙක්ද යත්, වසර 5ක කුඩා දරුවෙකු පවා ආහාර දවටනයක හලාල් ලාංඡනය හඳුනා ය ප්‍රතික්ෂේප කරන මට්ටමක් දක්වා එය පැමිණ ඇත.එය අතිශයෝක්තියක් නොව මා දන්නා සත්‍ය සිදුවීමකි. දැනගෙන යන්නන් මෙන්ම නොදැන යන්නන් යන දෙපිරිසගේම අරමුණ කතරගම යාම වුවද, මග නොදැන කතරගම යන්නාගේ ඉරණම හා මග දැන කතරගම යන්නාගෙ  ඉරණම කිසිදිනක සමාන වේ ද? කතරගම යාමට සිතීම නිවරද තීරනයක් විය හැකිය. නමුත් මග නොදන්නේ නම් මග උගත යුතුමය.නැතහොත් පෙනීයන්නේ පෙනය පාන නයා පසුපස සිට වෙලුනු කොස් කොලයක් ඔසවන ගැරඬියකුගේ සිනහ උපදවන දර්ශනයකි.මෙහිදී කිව යුතුම කාරණයක් වන්නේ මා සර්ව ආගම වැළඳගත් හෙන්චයියකු නොවන බවය. එවන් අමුතු ආගමක් වැළඳ ගැනීමට හේතු භූත වන සාධක කිසිවක් මා හැදුනු වැදුණු පරිසරයේ හෝ මා උගත් පාසල්වල හෝ,අවම වශයෙන් මගේ උප්පැන්න සහතිකය තුල හෝ නැත. මගේ මව හෙළකම ,බොදුකම හඳුනන පවුලක තැනැත්තියකි. මගේ පියාගේ පියා සුද්දන්ගෙන් ගත තානාන්තරවල නිස්සාර බව අත්දැකීමෙන් හඳුනා ගත තැනැත්තෙකි.මගේ මවත් පියාත් මමත් තිදෙනාගේම කටට ඉංගිරිසිය හොඳින් හුරුය. නමුත් මා පාසලේ සයවන වසර උගත් සමයෙන් පසුව කසිදු දිනක නිවැසියන් අතරේ පරගැති බස වනා නැත. ඉන් පෙර එවැන්නක් සිදු කලේ මගේ උගැන්ම තකාය. මම වසර ගණනක් දහම් පාසල් ගියෙමි. එසේම එහි ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද කටයුතු කලෙමි. ඉදින් මම ද හෙලකම මෙන්ම බොදුකම හඳුනමි. අවසාන මොහොත තෙක් හෙළ බිම සිංහ කොඩිය ළෙලදෙවන්නට කටයුතු කල කන්ද උඩරැටියන්ගේ ලෙය දුවවන මගේ හදවතට රට ජාතිය ආගමට එරෙහිව සිදුවන දෑ නිකරුනේ බලා සිටීමට ඉඩක් සපයා නැත.එය මගේ පෞද්ගලිකත්වය යි. නමුත් මෙපරිද්දෙන් එය නිරාවරණ කිරීමට හේතුව මා ලබා සිටින ජාතිවාදී බෝඩ් ලෑල්ල මත්තෙන් සර්ව ආගමික කපුටු වසුරෙන් අපවිත්‍ර වූ පිරුවටය කිසිවෙකු එලලීම වැලක්වීමට ය. සිංහලයාට අනන්‍ය වූ ශිෂ්ට සම්පන්න බවක් ඇත. ශිෂ්ට සම්පන්න භාෂාවක් ඇත. සියවසින් විසි එකක් වූ අද දවස ශිෂ්ට යැයි කියාගන්නා අයවලුන්ට ද පුදුම එලවනසුලු ශිෂ්ට සම්පන්න බවක් එදා හෙළයා සතු වූ බව එදා හෙළදිව දුටු රොබර්ට් නොක්ස් සනාථ කරයි.අපේ කම,අපේ උරුමය රැකගැනීමට කරන අරගලයේදී ශිෂ්ට සම්පන්න බව අගය කල ,එහි අගය මතක් කල අයවලුන්ට සර්ව ආගමික නම්බු නාමය නිකුත් කරන මෙවන් සමයකදී එවන් නිරාවරණයක් නොකරම බැරි ය.

   ඔබගේ අසල්වැසියා මුසල්මානුවකු විය හැකිය.ඔබගේ හොඳම මිතුරා මුසල්මානුවකු විය හැකිය. ඔබ ප්‍රියතම නළුවා මුසල්මානුවකු වන ඛාන් කෙනෙකු වීමට හැකිය. එය ඔබගේ අයිතිය යි. එය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට නොහැක. ඇතැමුන් අන්තවාදය ලෙස හඳුන්නවන සටන ක්‍රියාත්මක වුයේ,වන්නේ ඔවුන්ට එරෙහිව නොවන බව දැන සිටීම කතරගම යන කොයි කාගේත් මග දැනුමට යහපත් ය. මෙකි ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ එහා ගෙදර වෙසෙන මොහොමඩ්ට විරුද්ධව හෝ,හන්දියේ කුඩා තේ කඩයකින් තම ජීවිකාව ගෙනයන නජීම්ට විරුද්ධව හෝ,තම දරුපැටවුන් බලා කියාගෙන නිවසට වී සිටින ෆාතිමාට විරුද්ධව නොවේ.මේ දිවයිනට ආවේනික වූ සංස්කෘතියක් ඇත. ඒ මත ගොඩනැගුනා වූ මහා ශිෂ්ටාචරයක්ද මේ දේශයට හිමිය. එහි සැබෑ අයිතිකරුවෝ තවමත් මේ දිවයිනේ ජිවත් වන්නෝ ය. උස් මිටිකම් නොසලකා හැරි විට ලෝකයේ කුමන රටේ වුවද මීට සමාන තත්වයක් ඇත.එවන් සංස්කෘතියක් හිමි කුමන ජාතියක් වුවද තවත් දේශයකට ඊර්ෂ්‍යා කිරීම හෝ කෙල හැලීම තමන්ටම කරගන්නා නිගාවක් සේ දැකිය යුතුය. ඉදින් මෙකි සටන,එවන් අන්තවාදී ජිහාඩ් සංවිධානවලට එරෙහිව මිස හුදීජනයාට එරෙහිව නොවේ.එසේම එය ජාතිවාදය නොවන අතර,එය ජාතිවාදයට විරුද්ධවීම සේ දැකිය යුතුය.ඉදින් එකී ව්‍යාපාරය ක්‍රියාත්මක විය යුත්තේ පෙරකී උරුමයන් රැකගනිමින් තම සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට වල කපන පිරිස්වලට විරුද්ධවය.ලාට රටින් පිටුවහල් කල විජයට පවා තම නැව මෙහෙයවිය යුතු අත ගැන දැක්මක් තිබිණි. එසේ නොවුයේ නම් ඔහුට සිදුවන්නේ තම පිරිවර සමග තම්බපන්නියට ගොඩ බැසීමට නොව මුහුදට බිලිවිමටය. අරමුණ නොදැන අරඹන,අන්ධ මානසිකත්වයක් සමගින් යාත්‍රා කරන කොයි කාටත් සිදුවන්නේ වලපල්ලට යාම විනා අන් දෙයකට නොවේ.

    දිනක් මා දුම්රියේ ගමන් ගන්නා විට මුසල්මානු කාන්තාවන් දෙදෙනෙකුගේ ගාලගෝට්ටියක් කණ වැකිනි. මීළඟ දුම්රිය ස්ථානය මරදාන ද නැද්ද යන්න පිළිබඳව වූ එම විවාදය මිනිත්තු කිහිපයක් පුරාවටම මහා කන්දොස්කිරියාවක්ව විය. තරමක සෙනගක්ද දුම්රිය මැදිරිය තුල වූ බැවින් ඔවුන්ගේ අභිනවයන්ද අසල සිටියවුන්ට හිංසාවක් බව මම දුටුවෙමි. කෙසේ හෝ ළඟ සිටි අයවලෙක් මීළඟ දුම්රිය ස්ථානය කුමක්දැයි සනාථකොට ඔවුන් නිහඬ කරවීය.අවසානයේ ඔවුන් ගමනාන්තයට ලඟා වූ විටද හැසිරුනේ ඉතාමත් අශෝබන අයුරිනි. අන් මගීන් ඉතාමත් නොඉවසිලිවන්ත ලෙස පෙරලා දමමින් ඔවුන් දොරටුව වෙත ලංවීමට උත්සහ දරනු දුටු මට "මුං හැසිරෙන්නවත් දන්නේ නැ,ඒ වුනාට කල්පනාව රටත් අල්ලන්ට"යයි කියවිණි.ඔවුන්ට එය  ඇසුණු නොඇසුණු බව පිලිබඳ මම නොදනිමි. නමුත් මා එය නොඇසුනේ නම් මැනවයි දැන් මට සිතේ. හේතුව එවන් චෝදනාවක් කිරීමට මට කිසිදු අයිතියක් නොමැති බැවිනි.ඔවුන්ගේ හැසිරීම අනෙක් මගීන්ට බාධාවක් වූ බව සත්‍යකි,නමුත් ජාති වාදයෙන් ඔද වැඩි ගිය එවැනි චෝදනාවක් කිරීමට නොහැක. එසේ කිරීමට නම් ඔවුන් රට ඇල්ලීමට කුමන්ත්‍රණ කල බවට මා සතුව පැහැදිලි සාක්ෂි තිබිය යුතු ය.
 
   දිනක් ගුරුවරයෙකු නොමැති අවස්ථාවකදී මම මගේ සගයන් ඇමතුවෙමි. විනාඩි 20ක පමණ විවාදයකින් අනතුරුව මම ඔවුන්ට පෙන්වා දුන්නේ හලාල් ලේබලය සමග සිංහල ජාතියට සිදුවීමට යන විපත ය. ඒ ගණන් මිනුම් සහිතවය. අවමය 1,75,000වූ ගාස්තුවකට යටත්ව සීමාසහිත වසරක කාලයකට හලාල් සහතිකය ලබාගන්නා 4200ක් පමණ වූ නිෂ්පාදන මිලදී ගැනීමෙන් එකී කොටි ගණනක මුදල්වලට අවසානයේ සිදු වන දෙය පිලිබඳ හේතු සහිතව ඉදිරිපත් කල විට ඔහුන්ගේ හදවත් කිරි ගැසී ගියා නොඅනුමානය. ඇතැමෙක් එදින පටන් හලාල් වර්ජනයට සිතට ගත්හ. එදිනම සවස හොඳම මිතුරියකගෙන් ලත් බීස්කට් පැකට්ටුවක් එපිට මෙපිට හරවා හලාල් දැයි බලා ප්‍රතික්ෂේප කල මගේ සගයෙක්ද විය. ඔහු අනුකරණ වාදියෙක් නොවූ බව මට සහතික ය. හෙතෙමත් , අන්ධයකු ලෙස හලාල් ප්‍රතික්ෂේප කරනෙකුත් අතර මම විශාල වෙනසක් දකිමි.අවශ්‍ය කරන්නේ එවන් අවබෝධාත්මක හැසිරීමක් විනා අනුකරණවාදී  හෝ ප්‍රකෝපකාරී හැසිරීමක් නොවේ.

   facebook හෙවත් කොයි කව්රුත් දන්නා බුකිය යනු,ලොව ඇති ජනප්‍රියතම සමාජ ජාල අතරින් එකකි. එහි අරමුණ වන්නේ මිතුරන් වර්ධනය කර ගැනීම හෝ තම දේශපාලනික අදහස්  හා මත  බෙදා හරිම නොවේ.එහි ප්‍රධාන අරමුණ වන්නේ තමන් සැබෑ ලෝකයේදී දන්නා හඳුනන මිතුරන් අතර අදහස් හුවමාරුව යි. වෙහෙසකර දිනයක අවසානයේ කෙනෙකු තම facebook ගිණුම වෙත පිවිසෙන්නේ දේශපාලනික ගැටළු හෝ විවේචනාත්මක හෝ ක්‍රෝධ සහගත ලිපි හෝ පුවරු දැක තම ලේ කෝප කරගැනීමට නොවේ. ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකින් හා ජිවන දර්ශනයක් පවතින රටක් බව සැබෑ ය. දේශපාලන විශේඥයකු වන හැරල්ඩ් ලැස්කි මහතාගේ නිර්වචනයකට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ජීවන දර්ශනයක් තුලදී  "කෙනෙකුට තම බස්තම
වැනිය හැක්කේ අනෙකාගේ නාසය අග කෙලවර දක්වා පමණි" ( one can twist his walking stick only up to another's nose).එසේ නම් රට ප්‍රජාතන්ත්‍රවාදී යයි කියා බස්තම වනන්නේ අනෙකාගේ නාස්පොල්ල කැඩී යන අයුරින් නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනුයේ කෙලෙසින් ද? ශ්‍රී ලංකාව බහු පක්ෂ ක්‍රමයක් සහිත රටකි. එසේම ඕනෑම කෙනෙකුට තම තමන්ගේ දේශපාලන මත දැරීමට හා ඒ පිලිබඳ කතා කිරීමට ඕනෑ තරම් වේදිකාද ඇත.ජාති වාදීන්ට වේවා, සර්ව ආගමික සහජීවනය ගැන කතා කරන්නන්ට වේවා,අන්තවාදීන්ට වේවා ඕනෑම කෙනෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය තරම් ස්ථාන තිබියදී තම බීජ වැපිරීමට බුකිය යොදාගැනීම අනුමත කල නොහැක. අවම වශයෙන් මා පෙර කී සභ්‍ය භාෂාව ඒ සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍ය ය. බුකිය තුල තම සෙම් සොටු වපුරන ඇතැමුන්ට බුකිය තුල වැඩියෙන්ම මතක් වන්නේ අන් අයගේ මව් පියන් ය.ඔවුන් දෙවිවරුන්ගේ මව් පියන්ද ආමන්ත්‍රණය කිරීමට තරම් මුල් ගුරු පත්වීම් ලබා සිටිති.එසේම ඇතැම් පිරිසක් බුදු රූප විකෘත කරන අතර ඇතැමුන් වෙනත් ආගම්වල ඉගැන්වීම් හාස්‍යට ලක් කරති. ආගම යනු බලෙන් ඇඟට පැටවිය යුත්තක් නොවේ. එය තම තම නැණ පමණින් දැන විශ්වාස කල යුත්තකි.අවශ්‍ය වන්නේ එලෙස මඩ ප්‍රහාර එල්ල කර ගැනීම නොව විවෘත සාකච්චාවකට එළඹීම යි. අතීතයේ වැඩ සිටි තෙරුන් වහන්සේලා පානදුරා වාදය වැනි උදාහරණ අප වෙනුවෙන් ඉතිරිකර ගොස් ඇත්තේ පෙළ පොත්වල පිටු පිරවීමට නොවන බව සිහි තබා ගත යුතුය.

   රටට අවශ්‍ය වන්නේ බුකියේ රඟදෙන කාඩ්බෝඩ් වීරයන් නොවේ. එසේම බුකියට වී මුසල්මානුවන්ගේ බූර්කා ගලවන්නන්ද නොවේ. එම ඇඳුම ඔවුන්ට අපහසු නම් එම විරෝධතාවය ඔවුන් තුලින්ම දිනක නැගෙනු ඇති. අවශ්‍ය වන්නේ රටට ආකල්පමය වෙනසක් ලබා දිය හැකි, රට ජාතිය ආගම ගැන හැඟීමක් සිත්සතන් තුල ඇති කරලිය හැකි නායකයන් ය.මුසල්මානු ව්‍යාපාර වෙත යන්නන්ට බිත්තර ගසන අශ්ලීලයන් මෙරටට අවශ්‍ය නැත. හුදී ජනයාට කාවදින අයුරින් ආදීනව පහදාලිය හැකි නායකයන් බිහි වූ දිනට බිත්තර අවශ්‍ය නොවනු ඇත.එවන් නායකත්වයක් මගින් කුණු බිත්තර සේම පෙරකී අශ්ලීල මුල බීජද තුරන් කරවීමට හැකි වනු නොඅනුමාන ය.

Thursday, April 25, 2013

ඇයගෙන් ලද පිළිතුරක්.....




























පැතුම නුඹයි මා සොයනා උණුසුමද          නුඹයි
කැකුල මමයි මිලින නොවූ එහි සුවඳ        නුඹයි
දිවි මග මා අතැර  නොයන හිරු කුමරු      නුඹයි
සංසාරෙම මගේ වස්තුව නුඹයි නුඹ           තමයි

පිය සෙනෙහසයි ආදරයයි මට                 දුන්න
හද ගැබ දිලෙන පැතුම් සඳට පන              දුන්න
ඒ රැස් මැදින් නුඹේ අත ගෙන           ඇවිදින්න
ආසයි මටත් වස්තුවේ තව බෑ                  ඉන්න

වැව් තලයේ රැලි සැඩවී ගලන                     විට
ඒ රැලි දරා පිට වානෙන් පිට                    කරන
ඔබ කුළු වැවයි මගෙ ශක්තිය            රැකගන්න
දෙපා නමදුවත් මට පව් නෑ                      ඔන්න

ඔබෙ නෙතු ළඟ සසල හැඟුම් දොරේ ගලා        යයි
හැඟුම් දියේ රැලි මුවදොර සොයා දඟ            කරයි
සයුර නුඹේ හද මඬලයි දෙතොල මුව           දොරයි
ඒ මා නොව ඔබේම වූ කෝල මගෙ               සිතයි

ඔබෙ නෙතු ළඟ කවදාවත් එපා කඳුළු               නැගෙන්න
මගේ පැතුම ඔබෙ හසරැලි සදා මුවඟ                  රැඳෙන්න
ජිවිතයේ සැනසුම ඔබෙ තුරුලේ හිඳ                    ලබන්න
මමත් එන්නේ යන්න නෙවෙයි රත්තරනේ            හිඳින්න



                                                                                 © ඇය෴

Monday, April 22, 2013

ඇයට ලියමි..










තරු ඇස් ළඟ දැවටී දැවටී මිහිර                     විඳින්න
හද මඬලට සඳ පායන සිසිල                      දැනෙන්න
නුඹේ සෙනෙහෙ උණුසුම ළඟ සැනහී              ඉන්න
රත්තරනේ මම එනවා බලා                           හිඳින්න..


නෙතු අද්දර නිහඬ සිතුම් වදන්                  ගොතන්න
මං එන්නම් මගේ උණුහුම මැණිකේට              ගන්න
තුලුල් වෙලා ඔය අතැඟිලි පහස                    ලබන්න
මං එන්නේ යන්න නෙවෙයි වස්තුවේ              ඉන්න


සොයුරි නුඹයි කෝලකමට සුරතලී                   නුඹයි
මෑණි නුඹයි මා රකිනා මිතුරියද                        නුඹයි
සෙනෙහෙ නුඹයි සෙනෙහස දුන් ගඟුල නුඹේ     නමයි
සසර පුරා මගේ හදවත හිමිකාරී                       නුඹයි

කවිය නුඹයි කවිකම දුම් කිවිඳියද                    නුඹයි
කුකවි මමයි මගේ කවියේ එලිය නුඹ                තමයි
නුඹේ අද්දර නිහඬ මගේ සිතුම් වැල                මෙයයි
නුඹේ තරු ඇස් මගේ නෙතු මත සොයන දේ     එයයි


සුපුරුදු ආදර මාවත එලිය                             කරන්න
මම ආසයි නුඹේ ඇත ගෙන ඇවිදන්                  යන්න
සෙමෙන් හොරෙන් හාදු පුදා කොපුල්          තෙමන්න
යන්න නෙමෙයි මම එන්නේ වස්තුවේ              ඉන්න..




                                                                                        © කරූ.

Thursday, April 11, 2013

මනුසතා..











ලෝකයේ පවත්වන්නා වූ
අපමණක් සතුන් අතරෙහි
ලෝකයක් නසන්නා වූ
එකම එක ඒ සතා...










උපුටා ගැනුම: අකාලිකෝ වෙළුම
                      එකසිය විසිහයෙන් දහතුනක්
                         මංගල සේනාධිපති

පොත ගැන වැඩි විස්තර, http://karuugesithroo.blogspot.com/2013/03/blog-post_31.html#comment-form






Friday, April 5, 2013

විපුල පාසල සියල් පාසල් මැද....








පණ ගිය ජාතියට පිඹීනට              ජී ව                              ගුණ
ගුණනද  හිමිගේ  දහදිය මත       ලැබුව                             පණ
සෙන්පති  ඕල්කොට්  ඉටු දෙවි      සැදුව                            මන
ජාතියේ  මහා ආනන්දය               එකලු                             වුන


ඉංගිරිසිය  කට  වණ කර  තිබු                                        යුගයේ
හෙළ වෙණ වයන්නට  හුරු  පුතුණන්                              ආයේ
බිහි කල තිඹිරි ගෙය ආනන්දය                                        වූයේ
නාලන්දාව   ඒ මවගේම  පුතු                                           වූයේ


සුද්දගේ  අණට  නතු වුන  හෙළ  බිම                              අගනේ
හෙළ සිහ  දදය  නංවන්නට   මේ                                  දෙරණේ
කවිය අවිය කොටගත්  ටිබෙටයේ                              තෙරුණේ
ඔබෙ කවියටයි  ආනන්දය  සෙවන                                  වුණේ


අවිය නසන්නට රුපු ජය කෙහෙළි                             මකන්නට
තිස් වසරක කුරිරු  සොවින්  රට                                මුදවන්නට       
ජය මං සෙව් බල ඝනයන්  මග                              පෙන්වන්නට     
ගිනි  පෙන්වා දුන් පන්නර  අනද පුතුන්                                හට


ඊළම්  සිතියම  මෙලොවින් තුරන්                                        කල
යුද ගුව නා  නායකයන්  එකවර බිහි                                    කල
ආනන්දය  නම්  නාමය  කෙදිනක  සම                                කල
හැකි යම් අන්  අසිරි තැනක්  බිහිවේද මේ                            කල


කොළඹ  නලද  උඩරට දම් රජ                                     සෙවනේ
ඇතුගල මලියදෙව්  දකුණේ  මිහිඳු                                    බලේ
සඟමිත් මියුසියස්  පෙන්වන  බොදු                              සෙවනේ 
වැඩි හෙළ දරු කැලක්  සිටියි සහයට අනද                        බලේ


එකසිය  විසි  හත්  වසරක්  නම                                        රන්දා
හැම  හද තුලම  ආනන්දය පැල්                                        බන්දා
නාලන්දයට  පෙර මං  පෙන්වා                                        සැමදා
අනද  නලඳ නම්  තුන් කල්  මන                                      බැන්දා


          © බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න  
          ආනන්ද විද්‍යාලය.


              

Tuesday, April 2, 2013

අවසන් වසරේ ආනන්දේ...

                                                     හෙවත් වසරකට පසු..

 
ජිවිතේ  අප ලබන හැම සුන්දර  අත්දැකීමක්ම  කාලයත්  සමගින් සුන්දර මතකයක් බවට  පෙරලෙ යි.  නමුත් අප විඳගත්  ඒ සුන්දර අත්දැකීම්වල ප්‍රහර්ෂය ,හදවතේ කොනක සටහන් වුන සුන්දර මතකයත් එක්කම  ගැබ්වී තිබේවි.. කාලගේ අවෑමෙන්  හදවතේ රැඳී සුන්දර  මතකයන්වල රූප රාමු පාට මැකී බොඳවී ගියත්,මතකයන් අවදි කරවන එක් සුළු සිදු වීමකින් පවා ඒ රූප රාමුවල වර්ණ අලුත් වනවා සත්තයි.. එවැනි ආදරණිය මොහොතක් ගෙවී ගොස් එළබෙන වර්ෂ පූර්ණ දිනය  එවැනි  බොඳව ගිය සිත්තම් වර්ණ අලුත් කරන  එකක් බව මගේ අත්දැකීමයි..

  දිනය  වර්ෂ 2012 මාර්තු මස තිස් එක්වන සෙනසුරාදාව.. බොහෝ දෙනෙක්ට එදා සාමාන්‍ය දවසක් වුනත්  ආනන්දයේ  අපට  එදා සුවිශේෂී දවසක්  වුණා.. අනද මෑණියන්ගේ  වසර එකසිය විසි පහක දැවැන්ත  යුග මෙහෙවර ලොවට හඬගා කිමට සංවිධානය වූ  " අනද අබිමන්" අධ්‍යාපනික,සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය පුරා සතියක් පවත්වා  එළඹී අවසන්  දිනය වූයේ එයයි.. සටහනේ  අරමුණ  "අනද අබිමන් "නම් වූ ලොව පාසලක පැවැත්වූ දැවැන්තම  ප්‍රදර්ශනය පිලිබඳ සටහන් කිරීම නොවුවත්,අද සටහනේ  පසුබිම සැකසෙන්නේ අනද අබිමන්  වටා වීම විශේෂ යි.

 එදා  වෙහෙසකර දිනය අවසානයේ එක් සුවීශේෂී  හමුවීමක් මා යොදාගත්තා. එලෙසින්ම ,වෙහෙසකර සතිය අවසානයේ මේසා විශාල කැපවීමක ප්‍රතිපලය වන  අක්කර  තිහක භූමි භාගය  පුරා පැතිරුණ  ප්‍රදර්ශන භූමිය  නැරඹීමටත්  මගේ මේ සුවීශේෂී  "අමුත්තා" සමග  සූදානමින් මා සිටියා.. ඒ අන් කවරෙක්වත් නොව, මගේ ආදරය දිනාගත් මගේ අනාගත සහකාරිය යි.සවස් වන විට ඇය පවූලේ සියල්ලන්ම සමගින්  ප්‍රදර්ශන භූමිය වූ ආනන්දය වෙත පැමිණ සිටියා. දිනයේ අවසන් යාමය ,මගේ ජිවිතයේ සුන්දරම හොරාවන්ගෙන්  පිරි  ගියේ වෙහෙසකර සතියක  විඩාව මගෙන්  ඈතට ගෙන යමින්..


   ඒ සොඳුරුතම සවස් යාමය මගේ හදවතෙහි  වර්ණවත්ව සිත්තම් වූයේ නිරායාසයෙන්ම යි .. බාල කාලයේ පටන්  මගේ  ජීවිතය සිත්තම් වූ  ආනන්දයේ පසුබිම් වට කොට ගනිමින්  තවත්  එක් සුන්දර සන්ධ්‍යාවක් මගේ ජිවිත සිත්තමෙහි සනිටුහන් වූවා..බාල කාලයේ  දුව පැන ඇවිදින විට අපට සෙවන දුන් අඹ ගස,මෙදින විඩාබර අප දෙපලට සෙවන ලබා දුන්නා.. එදා කෙලිදලෙන් ක්‍රීඩා කල සෙන්පති රාජපක්ෂ ක්‍රීඩාංගනය  මෙදා අපේ සන්සුන් ගමනට ඉඩ ලබා දුන්නා.. අවසානයයේ  මා ඈ අතගෙන ආනන්ද මාවත ඔස්සේ  පියමන් කල ඒ සුන්දර රාත්‍රිය ,මගේ  දිවියේ සොඳුරුම මතකයන් අතරට එකතු වූවා.. එය මගේ සිත් ගත් ගීතයක පද පෙළ වෙනස් කරමින්  එම ගීතය තුල ගැබ්  ගත්තා..


"  අවසන් වසරේ ආනන්දේ..

  ඔබේ අත අරගෙන ආනන්ද මාවතේ..

 අබිමන් අවසන සැන්දෑවේ..

 පිය මැනූ devian නුඹද ලඳේ..

***

පසු වදන :







                                               මේ අඹ ගස හැර වෙන අඹ ගස් ඇත් ද? 
                                                              නැත. කිසිසේත් ම නැත.


                                                                                                       

   

                                                  
       සෙන්පති  ජී.ඩබ්. රාජපක්‍ෂ ක්‍රීඩාංගනය                                       

මුල් ගීතය රස විඳීමට පිවිසෙන්න.

අසම සම මුල් ගායනය, විජේරත්න වරකාගොඩ මහතා.

"මල් ගීය"






















පියුම් පෙති මත
රත වසා
ගෙතෙනු ඇත රොද
බිඟු සදා
ගැයෙන බිඟු ගුම්
තනු අසා
තනුව පුරවමි
පද ගොතා..


Related Posts Plugin for WordPress, Blogger...