ස්ථානය, පන්නිපිටිය දුම්රියපොළ ඉදිරිපස ය. පොද වැස්සෙන් බේරෙන්නට දුම්රියපොළ පාරේ එළවළු කඩයක් යටට වී වට පිට ගැන අවධානයෙන් පොඩි චැට් එකක් දමාගෙන සිටින වැඩි වයසක් නැති කොල්ලෙකු සහ කෙල්ලකි. 'පොතේ හැටියට' මුන් දෙන්නා හමුවන අවසාන දවස ය. කොල්ලාගේ බෝඩිම මාරුවන නිසා, ආයේ 138 බස් පාර පැත්ත පළාතේ ඌ එවෙන්නේ නැති සීන් එකක් ය. කෙල්ල යුනිෆෝම් නොවූව ද, කොල්ලා යුනිෆෝම් ය. කෘෂි විද්යා සංගමයේ 'ඩේ' එකට 'ස්පොන්සර්ශිප්' ටෝක් කරන්නට ගිය නිසා කොල්ලා ඇඳගෙන සිටියේ සුදු දිග කලිසම නොව කලු දිග කලිසම සහිත 'අර්ධ යුනිෆෝම්' එක ය. ඕනෑම දෙයක් ටෝක් කර ගොඩ දැමීමේ කලාවේ පිකාසෝ කෙනෙක් වේ නම් මේ ඒ කොල්ලා ය, ස්පොන්සර්ශිප් නම් නතින් ය!
ඉතින් මේ කොල්ලාට කෙල්ලව හමුවන්න ලැබෙන අවසාන අවස්ථාව වන්නට පුළුවන් ය. කොල්ලා "දිවවිත් විනිසුරු පසු කරමින් 'ඔයා මට කැමති ද' නම් වූ ෆුල්ටොස් පන්දුවක්" පිතිකාරිනීය වෙත එල්ල කළේ ය. පිත්ත වෙත එක එල්ලේ පැමිණි පන්දුව වෙත ඉදිරියට පැමිණ පාදයක් පෙරට තබා දර්ශනීය ඩ්රයිව් පහරක් එල්ල කර පන්දුයවන්නාට ඉහළින් හයේ සීමාව වෙත පන්දුව යොමු කිරීමට පිතිකාරිනිය සමත් වූවා ය. "අකමැති නම් මම මෙහෙම ඇවිදින්න එයි ද ඔයා එක්ක" මූණ බිම හරවා හිටිය ද ඇස් දෙකෙන් කොලුවාගේ මුහුණ බලමින් ඈ උත්තර දුන්නා ය! එම වාර්තාගත පිතිකරනය සිදු වූයේ අදින් වසර අටකට පෙර ය!
කොල්ලා හමුවන අවසන් දවස බැවින් ඌට දෙන්නට කුමක්දෝ යමක් ගෙන ආ බව කෙල්ල කියමින් සිටියා ය. නමුත් මේ "පිතිකරනයෙන්" පසු ඇය දැන් නම් එය කොහෙත්ම දෙන්නට බැරි බවම කියනවා ය. කොහොම හෝ වදෙන් පොරෙන් එය ඉල්ලාගෙන කොල්ලා ගෙදර ආවේ ය. පිටු හතරක ලියුමකි. අවසන් ඡේද දෙකට පැමිණෙන විට එය දෙන්නට බැරි යැයි කියූ හේතුව කොල්ලාට තේරුම් ගියේ ය. 'ඔයා මට කැමතිද' බෝලය කොල්ලා එල්ල නොකරත් කමක් නැතිය, කෙල්ල හරි ලස්සනට එය අවසන් ඡේද දෙකෙන් එල්ලකර තිබුණා ය!
* * *
ස්ථානය, මරදාන දුම්රියපොළ ඇතුළේ ය. කොල්ලෝ රංචුව ටිකට් ගැනීමට මාරු කාසි කලෙක්ෂන් දමන මොහොත ය. කොල්ලා මාරු කාසි හොයන අතරම වහ-වහා ඒටීඑම් කාඩ් පතක් එළියට ඇද "අඩෝ මේකෙන් ගෙවන්න බැරිද බං" කියා වට වී සිටි කොලු රංචුවෙන් ඇසී ය. මොහොතකින් එහා පැත්තෙන් ඇසුණ කෙල්ලන් රංචුවකගේ මිණි කිංකිණි සිනා නාදයකි! කොල්ලා ඒ වචන ටික කියූවේ ඒ තරම් හයියෙන් නොවුන ද දැන් වැඩේ නෝන්ඩි වී හමාර ය.
"මේ, උඹලා ටිකට් අරන් වරෙල්ලා, මං අර කෙල්ලො ටික බැලන්ස් කරලා එන්නම්" කියා කොල්ලා මාරු විය. කෙල්ලන් තිදෙනා මරදානේ ගුවන් පාලමේ සිට 9 වෙනි වේදිකාවට පඩිපෙළ බසින විටම ඌ කෙල්ලන්ට කිට්ටු කරේ ය. "බලන්ඩකෝ නංගි! කාඩ්වලින් ගෙවන්ට බෑ කිව්වනේ!" කලු සපත්තු පළඳින, කොටු කර සහිත කොට ගවුම් අඳින මරදානේ එක්තරා බාලිකාවක මේ කෙල්ලන් තිදෙනාගෙන් කැරලි කොණ්ඩයක් තිබූ සුදු ලස්සනම කෙල්ල කොල්ලාගේ මූණට එබී මල් මල් හිනාවක් පෑවා ය.
"අයියා ***** නේද ඉන්නේ!" මළ හොන්ඩරයකි. මේකි මේ අහන්නේ කොල්ලා හරියටම බහින බස් හෝල්ට් එකේ නම කියමිනි. "ඔව් නංගි, කොහොමද දන්නෙ?" කොල්ලා වහ වහා දිවේ පැටලී තිබූ වචන අමුනාගෙන ඇසුවේ ය. "මං ඉන්නේ ***** නේ අයියා", කෙල්ල මේ කියන්නේ කොල්ලා බහින බස් හෝල්ට් එකට කලින් හෝල්ට් එක ගැන ය. ඒ කියන්නේ දෙන්නාම කොට්ටාව ස්ටේසමෙන් බැස ගෙවල්වල යන්නේ එකම බස් එකේ ය. අම්මපා! මේකිව කලින් මීටර් නැති හැටි! කොල්ලා කල්පනා කළේ ය.
කොල්ලා කොන්දොස්තරගෙන් ටිකට් ඉල්ලන්නේ කොහාටදැයි අසා ගැනීමට කෙල්ල කී දවසක් උත්සහ කලාදැයි කොලුවාට කීවේ පස්සේ ය. උදෑසන කොට්ටාවෙන් "මරදාන එකක්" කියා ටිකට් ඉල්ලන කොල්ලාගේ කටින් වචන දෙකක් ඇහෙන ටිකට කණ් දීමට කොල්ලාට කලින් ස්ටේශමට ආ හැටි කීවේ ද පස්සේ ය. දුම්රියෙන් බැස්ස විගසම කෝ මූ කියා සෙවීමට වට පිට බලා හෙමීන් උගෙ පස්සෙන් වැටී උගේ හැඩ බලමින් ප්රධාන පාරට එන හැටි ගැන කොල්ලා දන්නේත් පසුව ය. කෙල්ල ඒ කාලයේත් අම්බානක දියුණු ය! මාස හයක් තිස්සේ එච්චර දෙයක් කරමින් සිටි මේ කෙලීව මීටර් වන්නට මෙතරම් ප්රමාද වූයේ කොල්ලා පාරේ අල තම්බමින් වඩේ විකුණමින් හෝ භාවනායෝගීව උන්න නිසා ද කියා කොල්ලාට අදටත් තේරෙන්නේ නැත!
* * *
ස්ථානය, කොටුව අවිස්සාවෙල්ල දුම්රියේ තුන්වෙනි පෙට්ටිය ය. දැන් මුන් දෙන්නා යන්නේ ශේප් එකේ කාටත් මීටර් නොවන්නට ජෝඩු දමාගෙන ය. එදා කෙල්ලගේ උපන්දිනය බැවින් කෙල්ල කේක් කිලෝ හතරක්ම, ඒකාබද්ධ ආනන්ද-ගෝතමී 138 කෝච්චි මගීන්ට පමණක් නොව දුම්රියේ ගාඩ්ගේ ඩ්රයිවර්ගේ පටන් සෑම සියල්ලන්ටම දෙන්නට ඇති තරම් ගෙනවිත් තිබුණා ය. දුම්රිය කොටා රෝඩ් නැවතුම් පලේ නැවතූ වහාම එක හඬින් හැපි බර්ත්ඩේ ටූ යූ ගයන්නට මුලු කෝච්චි පෙට්ටියම එකතු විය! ගායනා කොට අවසාන වන විටම හූ හඬ නගා දුම්රිය කොටා රෝඩ් දුම්රියපළෙන් පිටත් වූ බව කොල්ලාට මතක ය! කොල්ලාට ඒ කාලයේ කවීන් ව මතක තිබුණ ද, දුලාජයා ට්රේන් එකේ ගිය වගක් මතක නැත. නමුත් වසර අටකට පසු ගිය සතියේ කොළඹ පාක් ස්ට්‍රීට්හීදී හමුවී පරණ දුම්රිය මතක කියද්දී, "ඔව් බං මටත් කේක් හම්බුනා. මට හම්බුනා-මං කෑවා, මං දන්නෙ නෑ කාගෙද කියල" කියා දුලාජයා කීවේ ය!
* * *
ස්ථානය, කොල්ලාගේ හිත ය. මේ කියන්න හදන්නේ මේ කතන්දර හතරෙන් කොල්ලාගේ හිත ඇතුලේ විතරක් තියෙන කතන්දරේ ය. මේ කෙල්ල කවුරුත් නොව පසුගිය දාක කී කථාවේ උන් 'ඩැෆී'ම ය. කෙල්ලගේ නම හැදුණේ 'ඩැෆඩිල්' මලෙන් ය. ඒ කාලයේ කොල්ලාගේ ෆෝන් එකේ වෝල්පේපරය වූයේ කහපාට ඩැෆඩිල් යායකි! විලියම් වර්ඩ්ස්වර්ත්ගේ 'ඩැෆඩිල්' කවියටත් දයාන් විතාරනගේ සින්දුවටත් කොල්ලා පණ ඇරලා ය!
කොල්ලා ඩැෆීගේ හුටපටයට කලින් හාද වී සිටි කෙල්ලගේ නම මල්කී ය. ඩැෆීගෙන් පසු කොල්ලා සෙට් වුණ කෙල්ලගේ නමත් මල්කී ය! නම සමාන වූවාට ඒ දෙදෙනා දෙදෙනෙකු වීම අරුම පුදුම අහම්බයක් වන්නට ඕනෑ ය. කොල්ලා ලියන කෙටිකතා/ කවිවල වැඩිම වාරයක් කෙල්ලගේ චරිතයට පසුබිම හැදුවේ ඔය දෙවෙනි මල්කි ය. (කෝඩ්නේම් එක 'මල්ගීය' ය. මේ බ්ලොගයේ වැඩියෙන්ම ලියා ඇත්තේ ද එයා ගැන ය, කොටින්ම දෙවෙනියට වැඩියෙන්ම ලියන්නට හේතු වූ පුද්ගල චරිතයේ නම එන්නේ ද එක්තරා 'මලක' නමකිනි, ඒ මල ගැන ලියූ කතා කිසිම දිනක කොලුවා කිසිම කෙනෙකුට කියවන්නට දී නැත) දෙවියනි! කොල්ලාට මල්වලින් නම් ගැලවීමක් ඇත්තේම නෑ වාගේ ය! මල්'කි ලා දෙන්නා වාගේම මේ ඩැෆඩිල් මල ද, එකී නොකී හැම මලක්ම කොල්ලාගේ ජීවිතයට සුන්දර මතක එකතු කල හරි ආදරණීය මිනිස්සු ය. මල්වල හැඩ බලන්න නම් ඒවා නෙලාගෙන පෝච්චියක දැමිය යුතු නැතත්, ඒ මල් හැඩට තිබෙන්නේ පිපී තියෙන තැන්වලම තියෙන්නට ඉඩ හැරීමෙන් බව කොල්ලා හිතනවා ය.