පහුගිය පෙබරවාරි දා හතර වෙනිදා රාත්‍රියේ, ඒ කියන්නේ 2016 අවුරුද්දේ ආදරවන්තයන්ගේ දවසේ සිද්ධ වුන සිද්ධියක්, ටික දවසකට පස්සේ මේ අඩවියට මේ විදියට එකතු
කරනවා..
__________________________
මට එතනට යනකොට දැනුනේ මස් කඩයක් ඇතුලට යද්දි
දැනෙන නාහේ විනිවිද යන සංවේදනයමයි.. ඒක එන්නේ විසිරුණ ලේ වලින්ද, නැත්තම් රතුපාට මස් එක්ක කැකෑරිලා ගිය කහපාට මේද
පටකයෙන්ද කියන්න මං දැනන් උන්නේ නෑ.
හැබැයි දෙනෝදාහක් කෑ කොස්සන් අතරේ මේ ඔලුව කඳෙන්
වෙන් වෙලා මැරිලා ඉන්නේ මනුස්සයෙක් කියන දේ විතරක් මගේ ඔලුවට සංනිවේදනය වෙලා
තිබුනා.
දුම්රියෙන් බැහැලා 'කඩිමුඩියේ' දුවන් ආපු මිනිස්සු වගේම තාමත් ටාං ටාං ගාන රේල්
ගේට්ටුවට හිර වුන වාහන රන් එකේම දාලා දුවන් ආපු මිනිස්සුත් එතන පිරිලා ඉතිරිලා
උන්නත්, විනාඩි
ගණනාවක් යනකං කාගෙන්වත් ක්‍රියාවක් පේන්න නෑ.
"....මුගෙ
අම්මට.... කැ* හු පුතෙක්නෙ මේකා මුගෙ අම්මට හැ'න්න මේකට පැන්නනේ වේස බල්ලා...."
මට ඇහුනේ ඔච්චරයි. ඒවා මැද අසරණ වෙලා බලං උන්නු
ගාඩ්ගේ ආයාචනයටවත් කවුරුත් අඩුමගානේ සාක්කුවටවත් අත දැම්මේ නෑ.
අභීත, ප්‍රශ්නවලින් පැනලා නොයන විදිය ගැන පොරටෝක් දෙන
පුරුස ලිංග ගොඩක් වට කරං අන්තිමේ ගාඩ් ම කලිසම් සාක්කුවලට අත දැම්මා.
සුදුපාට ලේන්සුවක් ඇරෙන්න මොනවත් තිබ්බෙ නෑ. කෑලි
ගැලවිලා අතට එයිද බයෙන් ගාඩ් මහත්තයම අර මිනී ගෙනියන ගෝනි හැඩල් දෙක උඩට යාංතන්
මේක බිම දිගේම අඟල් කීපයක් ඇදලා ගෝනි රෙද්ද උඩට දැම්මා.
මෙයාගෙ සාක්කුව පොඩ්ඩක් බලනවද කියලා ඉල්ලද්දි
නිහඬවුන කටවල් ආයෙත් සද්ද පටං අරන්...
"අනේ
පොඩ්ඩක් අල්ලන්න ඇතුලට දාන්න..."
එහෙම කියද්දී ආයෙත් නිහඬයි.
උඹලා මට දැන් බනී ඉතිං තෝත් බලං උන්නනේ කියලා? හැබැයි එහෙම අහන උඹලම කියයි තොට පිස්සු යකෝ කියලා
දැන්.
සයිඩ් එකේ එල්ලුන බෑග් එක පස්සට ඇදපු මං පාත්
වෙලා එක කොණකින් අල්ලන ගමං "හරි ඔය පැත්තෙන් අල්ලමූ" කිව්වා.
මගේ හඬ විධාන දෙන මාදිලියේ එකක් නම් නෙවේ, ඒ නිසාද මංදා, තව අත් දෙකක් එහා කොනින් පාත් වෙනවා පේන්න මට
තුන් පාරක් කියන්න වුනා..
මෙච්චර වෙලා කුනුහර්ප කිව්ව කටක්ම වෙන්න ඇති
"හරි අල්ලපං පොඩි එකෝ" කියනවා ඇහුනා.
ඔව්.. මං පොඩියි. මට තාම විසි දෙකයි. හැබැයි මීට
අවුරුදු දහයකට කලින් මං මෝචරියක් අස්සට යන්නත් බයයි. මෝචරියක් ගාව මුලු හවස්
වරුවක්ම, ආයේ උදේ
වරුවක්ම මං ඇඬූ කදුලින් ඉඳලා තියෙනවා.
එදා රෑ මගෙ අප්පච්චිගෙ මිනිය අඳුරගන්න ඒක ඇතුලට
යන්න උනේ අම්මට,මං
නැතුව.
ඒ ඔක්කොටම වඩා, කිසි කෙනෙක් නැති වෙලේ අමාරු වෙලා ඒ මනුස්සයව ඉස්පිරිතාලෙ
ගෙනියන ටිකට අහල පහල මිනිස්සු හැසිරුණු විදිය ගැන දහ අවුරුද්දක විඳවීමක් මගෙ ඔලුව
ඇතුලේ තිබුනා.
මට ඔය පරන මොනවත් මතක් වෙලා නෙවේ, හැබැයි ඒ දහ අවුරුද්දක විඳවීම ඇතුලේ මගෙ හිත
නැවතුන යම්කිසි සාරාංශයක් තිබ්බා.
අන්න ඒ සාරාංශ විතරක්, ඒ වගේ වෙලාවක 'නාඳුනන කෙනෙක්' විදියට මගේ වගකීම මට නියම කරලා දීලා තිබ්බා.
ඉස්කොලේ සුදු කලිසම් අඳින කාලේ, හිතා මතා නොවුනත් කෝච්චියේ වැදුන මනුස්සයෙක් මං
උන්න පෙට්ටියට පැටෙව්වා. දැන් මනුස්සයා බිම. කතා කරගන්න බෑ,හීං දැඟලිල්ලක් එක්ක බාගෙට දෙකට කැඩුනු කකුලක්
අත් ඇඳෙන් බිමට වැටුනා. කකුල තාම සම්බන්දයි, ඉතිං මේක උස්සලා තියන්න කෙනෙක් උන්නෙ නෑ. එදත්
උන්නේ පොඩි එකෙක්,සුදු
දිග කලිසමක් ඇදපු.
සියදිවි නසාගන්න මනුස්සයින්ට අනුකම්පා කරන්න
කියන්නේ නෑ මම. අපිට හිතිලාම නැද්ද හැම මගුලම දමලා ගහලා ජීවිතෙන් පැනලා යන්න එක
පාරක් හරි?? බොහෝ දුරට
සියදිවි හානිකරගැනීම් සිද්ධ වෙන්නේ බොහොම පහසුවෙන් සුව කළ හැකි විශාද රෝගී තත්ව
නිසා. දුක,සතුට, මේ අතට අහු නොවෙන හැම හැඟීමක්ම මොලේ තියෙන
කෙමිකල්. ඒවා අපිට ඕනේ විදියට හැම තිස්සෙම සාමාන්‍ය මට්ටම්වල තියෙන්නේ නෑ.
අනුකම්පාව හෝ ගැරහීම නෙවෙයි. පුරවැසියෙක් විදියට
තමන්ගේ කාර්ය ඉගෙන ගනිව් මිනිසුනේ..
පණ ගිය එකාගේ පණ ගියත්, උඹේ එක අත් වාරුවක් නිසා ඉක්මන් වෙන මිනිත්තුවක්
නිසා තව ජීවත් වෙන සනුහරයක්ම උඹට පිං දෙයි.
අද ආදරවන්තයන්ගේ දවස. වෙළඳ මාෆියාවලට යට වෙලා
පුහු ආදර සැමරුම්වලට කලින් අපි මිනිස් වර්ගයාට ආදරේ කරන්න පටන් ගමු.
එන්න, අපි මිනිස්සුන්ට ආදරේ කරමු.
එතකොට මේ ලෝකෙ ලස්සන තැනක් නෙවේ කියලා අපිට අඬන්න
වෙන එකක් නෑ. සත්තමයි.
- Buddhi Prabodha Karunaratne
writerkaru@gmail.com
- Buddhi Prabodha Karunaratne
writerkaru@gmail.com
//අපි මිනිස්සුන්ට ආදරේ කරමු.//
ReplyDeleteyou are right.
මිනිස්සුන්ට සේම මිනිස්කමටද ප්‍රේම කළ යුතුයි
ReplyDeleteමට නං ඔය ඇස්සිඩං අනං මනං ළගට යන්න පොඩි බයක් වගේ මේව එකක් තියේ..
ඇත්තමයි.. මළ ගෙදරක ගියත් බොඩි එක බලන්න යන්නෙ තව දෙන්නෙක් වත් හිටියොත් තමයි
කරු,උඹටත් මතක ඇති අර එක වතාවක් කොච්චියෙන් වැටිච්චි කොල්ලෙක්ගේ ඇඟ උඩින් කෝච්චිය ගියාම ඌගේ ඉණෙන් පහළ කොටස වෙන් වෙලා තියෙද්දී ඒ ගාව හිටපු තව කොල්ලෙක් අර කොල්ලගේ අතින් අල්ලන් හිටපු පින්තුරය.ර කෝච්චියට ඒ විදියට අහු වුනු කොල්ලා මිය ගියත් ඒ තප්පරයක් හරි පණ අල්ලන් හිටපු එකගේ අතින් අල්ලන් හිටපු කොල්ලා අර කොල්ලට කොච්චර හයියක් වුනාද ඒ එක මොහොතකට හරි.
ReplyDeleteඑක වතාවක් ගල්කිස්සේදී කොල්ලෙක් වාහනේක වැදුනා.ඒ වැදුණු වාහනේම නහයෙහ්,කණෙන් ලේ එන කොල්ලව දාගෙන තමන්ගේ ඔඩොකුවේ තියන් ඉස්පිරිතාලයට ගියේ මගේ යාළුවෙක්.ඒ වෙලවේ ඌ ගැන මගේ හිතට ආවේ පුදුම ගැම්මක්.ඒ වගේම මට මා ගැනම ලැජ්ජා හිතුනා අරූ ගත්තු ගට මට නැති වෙච්චි එක ගැන.