Monday, December 26, 2016

මිය යා යුතු මතක

"කැඩපත" මට හමු වූයේ කෙසේ ද යන්න කෙනෙකු ඇසුවහොත් එය මට ද උත්තර දීගත නොහැකි පැනයකි. නමුත් ඔබ එය මගෙන් නොඅසා සිටින්නේ නම්, ඔහු කැඩපතක් වන්නේ කෙසේ ද යන්න පමණක් මට ඔබට පැවසිය හැකි ය. දිය මතට වැටී පෙණ බිඳී විසිර යන දිය කඩිත්තකින් පෙනෙන ඡායාවක් මෙන් නොව, "කැඩපත", මගේ අතීතයත්, ඇතැම් ගතිගුණත් සේම, සමහර විටෙක මගේ අනාගතයේ සේයාවක් ද රැගෙන මා ඉදිරිපිට නැගී සිටියේ ය.


"කැඩපත" උගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ය. උඩරට පෙළපත් නමකට හිමිකම් කී කැඩපත, ඒ පිලිබඳව උවමනාවකට වඩා වංහුං විපරම් කිරීමට වැඩි උනන්දුවක් දක්වූ අයෙකු නොවී ය. පාසලෙන් අනතුරුව නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටි ඔහු, දරුවන් සතර දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලිය සමග පෙමින් වෙලී සිටියේ ය. පාසල් වියේ පටන් බිත්ති පුවත්පතටත්, අකුරටත් පෙම්කල කැඩපත, තමන්ගේ ප්‍රේමය ඇය හා බෙදා හදාගැනීමට තීරණය කර සිටියේ ය.

හෙතෙම පාසල් වියේ පටන් සමාජශීලී වූවෙකු නොවෙන බව ඉඳුරාම කිව යුතු ය. නමුත්, යම් තොරතුරක්, සොයා ගත යුතු දැනුමක් වේ නම් වසා අසා දැනගත යුතු පුද්ගලයා සේම, වචන ගලපා ලිපියක්, රචනයක් සරි කර ගැනීමට වේ නම් ඒ සඳහා හමු විය යුත්තා ලෙස පාසලේ ජනප්‍රිය වූ පුද්ගලයා ද කැඩපත බව මා කිව යුතු ය. ඔහුගේ තෝරා ගැනීමක් වේවා,නොවේවා, ඔහුගේ ඇසුර ලැබූ පුද්ගල චරිත, මිතුරන් ගණන ඉතාම සීමා සහිත විය. එම සීමා සහිත ඇසුරුකම් අතර, හිත ගිය යුවතියක පෙම්වතිය වී හිමි වීමෙන් ඇය වෙත ලැබෙන ආකර්ෂණයත්, සෙනෙහසත් සුළුපටු නොවූ බව කිව යුතු ය.

කැඩපත ඇය ගැන තම සිතට නැගුනු අදහස්, වචන සිය දහස් ගණනින් එකතු කර වියමන් කරන්නට ඇත. ඇය, ඔහුගේ පළමු රසිකාවිය වන්නට ද ඇත. ඩිජිටල් යුගයෙන් බොහෝ කලකට පෙර දිග ඇරුණු මේ කතාව, අකුරෙන් අකුර බැඳ ලියවුණු ලියමන් අතරින් ඉදිරියට ගලාගෙන යද්දී එයට කණ කොකා හඬන දවසක් එතැයි සමහරවිට ඔවුන්ට ද  නොදැනෙන්නට  ඇත. ගෙවෙන හැම මොහොතක් පාසා සංකල්පනා මැවූ, වින්දනීය ප්‍රේමාදරයක නිමාව සනිටුහන් කිරීමට සිදු වන මොහොතක් ඔවුන් වෙත එළඹෙමින් තිබුණේය. දරුවන් සිවු දෙනෙකුගෙන් වැඩිමලිය වූ ඇය, සෙස්සන්ට මග සලකුණු ඉතිරි කරමින් වෛද්‍ය සිසුවියක වීමට වරම් ලබද්දී, ඔවුන් දෙදෙනා අතර කෙමෙන් ගොඩ නැගුනු දුරස්ථ බව තර කිරීමට ඉන්දියන් සාගරය ද එක් විය. අවසානයේ දරාගත නොහැකි වේදනාවකින් දෙදෙනාම පෙලෙන මොහොතක, එකෙකු හසරක් නොදන්නා රටක වේදනාව පමණක් එකම සගයා කොට ගනිමින් තනි වී සිටියේ ය.

ඔහු තවමත් ගැටවර විය යන්තමින් ඉක්මවූ විසි එක් හැවිරිදි තරුණයෙකු විය. ප්‍රේමයේ විරහව නම් වූ අන්තයත්, තනිකම හා පාළුවත් එකතු කර ගනිමින් ඔහු සිය දහස් ගණන් වචන, අකුරු හරඹ කළේ ය. ඇතැම් රැයක ශරීර කූඩුවේ සීමා අතර කිටි කිටියේ සිර වී තිබූ වේදනාවන් රැය පහන් වන තුරා එලියට ගලා විත් නිදි යහන තෙත් කර තිබිණ. වේදනා පරවශව "කැඩපත" ගෙතු අකුරුවලට, හොඳම රචකයා ලෙස ජනපති අතින් සම්මානයක් හිමි වන තුරාවටම, ඔහු වේදනාව පිට කරමින් සිටියේ ය.

දෑ වසරක අවෑමෙන් ඔහු නැවතත් ආදරය කරන්නට හිත හදා ගත්තේ ය. කෘෂි විද්‍යා උපාධි අපේක්ෂිකාවක වූ ඇය ළඟ, අතීතයේ කටු කොහොල් මතක සියල්ල යටපත් වී ගියේ ය. අතීතයේ ප්‍රේම සැමරුම්වල නිස්සාරත්වය ඔහු අවබෝධ කර ගත්තේ ය. 

මා විසින් කැඩපත ලෙස නම් කල ඔහුත්, මමත්, අවුරුදු 23ක පරතරයක් සහිතව එකම ජීවිත කතාව බෙදා හදාගනිමින් සිටිමු. එකම පාසලේ එකම ගති පැවතුම් ඇතිව උගෙන, එකම වයසකදී සිව් දෙනෙකුගේ පවුලක වැඩිමහලිය වූ, පසු කාලීන වෛද්‍ය සිසුවියක වන යුවතියක සමග පෙමින් වෙලී, ඇය වෙනුවෙන් සිය දහස් ගණනින් වචන ගෙත්තම් කර, ප්‍රේමයේ බිඳ වැටීම අවසානයේ ඉන්දියන් සාගරයෙන් සැතපුම් දහස් ගණනකින් වෙන් කල පරතරය පියවා ගැනීමට වචන හරඹ කළ, වෘත්තියෙන් පත්තරකරුවන් දෙදෙනෙකු වූ අප දෙදෙනාම, අවසානයේ කෘෂි විද්‍යා සිසුවියක ළඟ සිත නවාතැන් ගෙන එකම ජීවිත පාඩමක් උගෙන තිබීම, ඇතැම්විට අදහාගත නොහැකි අහම්බයක් සේ පෙනිණ. 

තවමත් ජීවතුන් අතර සිටින "කැඩපත"ද  කැඩපතේ "අතීතය" වන මා ද, මුහුණට මුහුණ ලා සිට ගෙන, එකිනෙකාගේ වචනවලින් මෙය හුවමාරු කර නොගන්නට, අහඹුව අහම්බයකින් නොනැවතී අද්භූත කතාවක සේයාවක් ගැනීමට තිබු ඉඩ කඩ ඉතාමත් වැඩිවිය. කැඩපත පෙමින් වෙලී පසුව විවාපත් වුණු ඇයගේ සමකාලීනයන්, වත්මන් කතාවේ 'ඇයගේ' ගුරුභවතුන් සේ කටයුතු කරනවා සේම, පසුව විදුලි ඉංජිනේරුවෙකු සහ කථිකාචාර්යවරයෙකු වූ කැඩපත, ඇතැම් තන්හී මගේ වෘත්තීය භූමිකාවට අදට ද නෑකම් කියන බව කිව යුතුය.

 හදවතක් නොමැතිව ජීවත් වූ අයෙකු පිලිබඳ විද්‍යාත්මක පරීක්ෂණය සිදු කරන ඔහුගේ පැරණි පෙම්වතියක වූ වෛද්‍යවරියකගේ මනඃකල්පිත කතා පුවතක් අලලා කැඩපත අතින් විද්‍යා ප්‍රබන්ධ ලියවෙද්දී, දශක දෙකක කාලයක අවෑමෙන් පසු මගේ අතින් ' අතීත පෙම්වතාගේ මරණ පරීක්ෂණය සිදු කරන වෛද්‍ය පෙම්වතියක" ගැන කවි පන්තියක් ලියවී තිබිණ. කැඩපත, ඔහුගේ පැරණි මතක සේයා රූ හයක් පමණක් අවසානයේ ඉතිරි කර ගනිද්දී, මා විසින් සේයා රූ පහක් ඉතිරි කරගෙන තිබිණ. අසූව දශකයේ අනිවාර්ය අංගයක් වූ ලිපි සබඳතා සේම, ඩිජිටල් යුගයේ ගලාගිය වත්මන් කතාවේදී ද, ඊනියා ඩිජිටල් යුගය පයිසකයකට මායිම් නොකරමින් කඩදාසියේ කුරුටු ගෑ ලිපි සබඳතා පවත්වා ගනිමින් අතීත-වර්තමාන අහඹු ගැලපීම් අතර බැමි තර වී තිබිණ.



"කැඩපත" වසර 1990 කාලයේ දිනයක මෙසේ ලියා තිබිණ.

"එක දවසක අපේ කථානායකයා තනි සෙරෙප්පුවක් පැළැඳ ගෙදර ආවේය. ඉතිරි සෙරෙප්පුව කොහේදී හෝ නැතිවී තිබිණි. එය කොහේදී නැතිවිණිද කොයි තරම් දුර සෙරෙප්පුවක් නැතිව ආවේද ඔහුට හැඟීමක් නොවීය.

එදින රාත්‍රියේ ඔහු බොහෝ හැඬුවේය. උදෑසන වන විට කොට්ටය වතුර වලක ඔබ්බා ගත්තාක් මෙන් තෙත්ව තිබිණි. ඔහු ඇහේ කඳුළු නැති වන තුරුම හැඬුවේය. 

උදෑසන ඔහු තම හදවත ගලවා බෞද්ධාලෝක මාවතේ වළ දැමුවේය. ඉන්පසුව ඔහු මිය ගියේය.
ලෝකයේ නිර්මාණාත්මකම රොබෝවරයා බෞද්ධාලෝක මාවතේ එක අන්තයකින් උපත ලැබුවේය."
විසිතුන් වසරකට පසුව ඉතිහාසය පුනරුක්ති වද්දී, මේ බ්ලොග් සටහනටත්, වෙනත් බ්ලොග හරහා බ්ලොග් අවකාශයට එකතු කළ සටහන්වලටත්  තිත තැබීමට තීරණය කර බොහෝ කලක් වන නමුත්, නුදුරු අතීතයකදී කැඩපත මා හා බෙදා හදාගත් කතාව මීට එක් නොකරන්නට, එය අසම්පූර්ණ බව මගේ හැඟීම විය. එම සිතුවිල්ල විසින් මඩිනා ලද, නැවත කිසි දිනක සාකච්ඡා නොකිරීමට සිටි සිතිල්ල පසෙක ලා මෙම සටහන අකුරු කර අමතක කර දැමීමට මම කල්පනා කලෙමි. 

එහෙයින්,
"මල් ගීය" යන්න ටැග්-ගත වන අවසාන බ්ලොග් සටහන මෙය බව ද සටහන් තබමින්, "කැඩපත"ගේ කියමනක් සමගින් මෙම ලියමන අවසන් කරමි. කසුන් කල්හාරගේ "අතීතයේ මා පෙම්බැඳි ලියන්ටයි" ගීතය, අරුත්සුන් සුන්දර පුස්සක් යැයි මා පවසන්නේ ඇයිදැයි කෙනෙකු අසන්නේ නම්, මට ද ලබා දිය හැකි පිළිතුර ද මෙයයි.




"පරාජිත ආදර සම්බන්ධතා යනු දේවාල තනා භක්තියෙන් වැඳුම් පිදුම් කළ යුතු දේවල් නොව පිලිකා සෛල මෙන් ජීවිතයෙන් ඉවත් කොට නිදහස් විය යුතු ඒවායි."




3 comments:

  1. The Unsolved Past always finds you again.. whether it's Love or hatred.....

    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න... ආ....රා...ධ....නා....

    ReplyDelete
  2. This touches my heart so much

    ReplyDelete

මලක් හරි ගලක් හරි දමල ගහල යන්න, ඒක මට හයියක්.

Related Posts Plugin for WordPress, Blogger...